බස් අස්සේ ගැස්සෙන සෘජු ස්ත්‍රී හිංසනයේ තිත්ත ඇත්ත

මා අසුන් ගත්තේ බස් රථයේ ජනේලයට ආසන්න කෙළවරේය. මේ ගමනේදී මගේ යාබද අසුන් ගන්නා තැනැත්තා පුරුෂ ලිංගිකයකු නම් අනිවාර්යයෙන්ම මා මගේ නින්දට සමු දිය යුතුය. ගාල්ල සිට කොළඹ බලා ගමන් ගන්නා දිගු දුර සේවා බස් රථයක වරක් මට යාබද අසුනේ හිඳගත් මගියා තරුණ පහේ කොල්ලෙකි. හිඳගත් මොහොතේ සිටම ඉදිරිපෙළ අසුනට හිස බර කරගත් ඔහු මා ඇතුළු සියලු මගීන්ට ඇඟවූයේ තමන් හොඳටම නිදි බවය.

පොදු මගී ප්‍රවාහන සේවාවේ උපරිම සේවය අත් විඳින අයකු ලෙස මා මෙම ලිපියෙන් සියලු පාර්ශ්වයන්ට සාධාරණය ඉටු කළ යුතුය. ඇත්ත තිත්ත වුණත් ඒ ඇත්ත නිසා යහපත් රියැදුරන්ගේ සිත් නොරිදවිය යුතුය. අවංක කොන්‍ෙදාස්තරවරුන් අමනාප නොවිය යුතුය. විනීත මගීන්ගේ උදහසට ලක් නොවිය යුතුය. මෙතැන් සිට ඔබට ලියන මම මගියෙක්මි. කිටි කිටියේ සෙනඟ පිරුණු බස් රථ අතර තෙරපෙන මගියෙක්මි. රැවුම් ගෙරවුම්, තාඩන පීඩන, ලාභ අලාභ, සැප දුක, සම සිතින් ඉවසා වදාළ මගියෙක්මි. පොදු මගී ප්‍රවාහන සේවාවට හදවතින්ම ආල කරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මගියෙක්මි.

ලංකාවේ අතිබහුතරය අප වැනි මගීහුය. පදික වේදිකාවේ බස් නැවතුමේ නිතර ගැවසෙන්නේ අපය. විල්ලූද ඇතිරූ මං මාවත් හරහා කහ ඉරි ඇඳුණේ අප වෙනුවෙන්ය. බස් නැවතුම්පොළ අපට ගෙදර වාගේය. අප කල් මැරුවේ බස් නැවතුම්පොළේය. බස් රථයක් නැතිව ඇස් දෙකෙන් කණාමැදිරි එළි පනින තුරු බලා සිටියේද බස් නැවතුමේය. වැස්ස තුරල් කරන තුරු සිටියේද බස් නැවතුමේය. මිතුරු හමුවට ආදරවන්තිය, ආදරවන්තයා හමුවට රැඳී සිටියේ ද බස් නැවතුමේය. ජීවිතයට මේ තරම් සමීප පොදු මගී ප්‍රවාහන සේවාවේ ගුණ‍ෙදාස් දැකීම කාටත් වඩා හොඳින් මගියකුට කළ හැකිය.

මා පමණක් සර්ව සාධාරණ මගියා සේ පෙනී සිටිමින් අනෙක් සියලුම පාර්ශ්ව වෙත ඇඟිල්ල දිගු කරන්නට නොහැකිය. බස් රථයක් පැමිණෙන තුරු කකුල් හිරිවැටෙනකල් බලා සිටිනා මගී අපි ඒ චෝදනාව පසුවට තබමු. හූවක දුරටත් රුපියල් 9ක් ගෙවන්නට සිදුවීමත් කවදාවත්ම නොදුටු ඉතිරි රුපියලක් පිළිබඳ ඛේදවාචකය අපි පසුවට තබමු. දුර ගමන් සේවාවේදී මෙලෙස කොන්‍ෙදාස්තරට සින්න වන ඉතිරි මුදල රුපියල් 5, 10 නොව රුපියල් 30 වන අවස්ථාද ඇති බව අපි මඳකට අමතක කරමු. ගමනේ හදිස්සිය ඇත්තේ අපට වුණත් මාර්ග නීති උල්ලංඝනය කරමින් ලොකු හදිසියකින් දුවන රියැදුරන්ගේ කතාව අපි පසුවට තබමු. මගියකු ලෙස මගේ පාර්ශ්වයෙන් එල්ල විය යුතු චෝදනා පසෙකලා යෝජනා කිහිපයක් ගෙන එන්නට මට සිතිනි.

සමාවෙන්න… මා මේ යෝජනා ගෙන එන්නේ ඔබටය. මාත් සමඟ උදේ හවස ගමනාගමනයේ යෙදෙන ඔබටය. පොදු මගී ප්‍රවාහන සේවාවේ බොහෝ ගැටලු පසුවට තබා මට ඔබත් සමඟ විස¼දාගත යුතු ගැටලුවක් තිබේ. මෙය මගියකුගෙන් මගීන් වෙත ඉදිරිපත් කරන ලියැවිල්ලකි. අප, අප අතර ඇති ප්‍රශ්න තේරුම් බේරුම් කර ගැනීමට දරන ප්‍රයත්නයකි.

පොදු මගී ප්‍රවාහන සේවාව මෙතරම්ම ආරවුල් සහිත තත්ත්වයකට පත් වීම සම්බන්ධයෙන් මගී අපද යම් ප්‍රමාණයකට වගකිව යුතුය. බස් රථයට ගොඩවූ තැන සිට බස් රථයෙන් බසින මොහොත දක්වාම අපට වැඩිපුරම ප්‍රශ්න තිබුණේ අපත් සමඟය. ගැහැනු පිරිමි කියා භේදයක් නැතිව අපි, අප නිසාම පීඩාවට පත්ව සිටිමු. කිරි දරුවා වඩාගෙන බස් රථයට ගොඩවන අම්මාටත්, අත්වාරුවක ආධාරයෙන් බස් රථයට ගොඩවන ආබාධිතයාටත්, වයස්ගත මහල්ලාටත්, පාසල් ශිෂ්‍යාවටත්, තරුණයාටත්, ටයි කෝට් ඇඳපු මහත්මයාටත් අරියාදු සිදු වුණේ අපෙන්මය. අනුන්ගේ ඇහේ රොඩ්ඩ සොයනවා වෙනුවට තමන්ගේ ඇඟේ පොල් පරාලය දකින්නට මේ උත්සාහය මඟපෙන්වීමක් වනු ඇතැයි සිතමි.

මා අසුන් ගත්තේ බස් රථයේ ජනේලයට ආසන්න කෙළවරේය. මේ ගමනේදී මගේ යාබද අසුන් ගන්නා තැනැත්තා පුරුෂ ලිංගිකයකු නම් අනිවාර්යයෙන්ම මා මගේ නින්දට සමු දිය යුතුය. ගාල්ල සිට කොළඹ බලා ගමන් ගන්නා දිගු දුර සේවා බස් රථයක වරක් මට යාබද අසුනේ හිඳගත් මගියා තරුණ පහේ කොල්ලෙකි. හිඳගත් මොහොතේ සිටම ඉදිරිපෙළ අසුනට හිස බර කරගත් ඔහු මා ඇතුළු සියලු මගීන්ට ඇඟවූයේ තමන් හොඳටම නිදි බවය. නමුත් ඔහුට අවශ්‍ය වූයේ නිදාගන්නා සේ පෙන්වා සිය පහත් ආශාවක් සම්පූර්ණ කර ගැනීමය. තවත් වරක් දෑත් බැඳගෙන මා අසල හුන් පුද්ගලයා මැදිවියේ අයෙකි. නමුත් ඔහුගේ දකුණු අතේ දබර ඇඟිල්ල ස්ත්‍රී පහසට ඉව අල්ලමින් අසාමාන්‍ය ලෙස සෘජුව තිබිණි. උකුල මත ගමන් මල්ල තබාගෙන සිටිනා ඉතාම ශික්ෂාකාමී තරුණයා පිළිබඳ පවා සැක ඉපදුණාට ‍ෙදාසක් කියන්නට බැරිය.

මොකද ඇතැම් විට මෙවැනි සාන්තුවරයන් පවා ගමන් මල්ලට මුවාවී අසාමාන්‍ය ලිංගික තෘප්තියකට මඟ පාදගන්නවා විය හැකිය. මේ නිසා ගැහැනු ළමයකුට වඩාත්ම සුදුසු ජනේලය අසලින් අසුන් නොගෙන සිටීමද…? නැත එතැන් පටන් ඇය සියලු පුරුෂ ප්‍රාණීන්ගේ ස්පර්ශයෙන් බේරී සිටීමට ප්‍රයත්න දැරිය යුතුය. කිටි කිටියේ සිරවුණු බස් රථයක වැඩිම වාසි ඇත්තේ එලෙස පහත් ආශාවන් සම්පූර්ණ කර ගන්නා පුරුෂ පාර්ශ්වයටය. වාරියපොළදී තරුණියක ප්‍රසිද්ධියේම පුරුෂයකුට පහර දෙන්නේ මෙලෙස හටගන්නා ආවේගයේ ප්‍රතිඵලයක් ලෙස විය යුතුය. බොහෝ විට පුරුෂ පාර්ශ්වය සිතනවා ඇත්තේ බස් රථයක් වැනි පොදු ස්ථානයකදී කාන්තාවන්ගේ හඬ වියැකී ඇතැයි කියාය. ලැජ්ජාවට ඔවුන් කිසිත් නො‍ෙදාඩා ඉවසා වදාරනු ඇතැයි කියාය. සත්තකින්ම එලෙස කෑ ගසන හෝ කෝපය පෙන්වන ස්ත්‍රී පාර්ශ්වයට සමාජයෙන්ද විඳින්නට සිදු වූයේ දෝෂාරෝපණ පමණි. අපේ සමාජය හිංසකයා ආරක්ෂා කළේ ඒපරිද්දෙනි.

කාන්තාවන්ට හිංසා කරන මෙවැනි ජැක් ගසන්නෝ කොයි බස් රථයකත් අඩුම තරමේ දෙතුන් දෙනෙක් හෝ සිටිති. මේ සියල්ල ඉවසා සිටින ස්ත්‍රී පාර්ශ්වය අතර ප්‍රසිද්ධියේම එවැනි පුද්ගලයන්ට බැන වදින ස්ත්‍රීන්ද නැතිවා නොවේ. ඉඳහිට සමාජය ඉදිරියේ විවේචනයට ලක් වන්නේ, හාස්‍යයට ලක් වන්නේ එලෙස ඉදිරිපත් වූ ස්ත්‍රීන්ය. වාරියපොළ තරුණියද එසේමය. මගේ හිතවතකු දිනක් පැවැසූ කතාවක පුරුෂාධිපත්‍යයේ බල පරාක්‍රමය යහමින් මුසුවී තිබිණි. බස් රථයේදී අනවශ්‍ය හිරිහැරයකට ලක්වූ තරුණියක් අදාළ පුරුෂයාට ප්‍රසිද්ධියේම දෙහි කපා තිබිණි. ඊට සහායට තවත් ගැහැනු දෙතුන් දෙනකුම සිට ඇත. අශ්ලීල තරුණයා බස් රථයෙන් බසිනා තැනටම කාන්තා බලය තීව්‍ර වී ඇත. නමුත් මේ සටනේ අවසානය වත්මන් දේශපාලනය තරමටම නොසිතූ නොපැතූ එකක් විය. බසයේ ගමන්ගත් සෙසු සියලු පුරුෂයෝ අතරමඟ බසින්නට සිදුවූ තමන්ගේ වර්ගයේම සගයා වෙනුවෙන් පෙනී සිටියෝ. ඒ පෙනී සිටීම කෙතරම් ප්‍රබල වීද යත් ඊට සුළු මොහොතකට පෙර හිංසනයට ලක්වූ කාන්තාවටත් ඇය වෙනුවෙන් පෙනී සිටි කාන්තාවන්ටත් බස් රථයෙන් බසින්නට සිදුවන තරමටම විරෝධය පළ කළෝය. ජීවත් වන වර්තමානයයි. මේ නිසා කාන්තා මගීන් වන අප හිංසනයෙන් බේරී සිටිය යුත්තේ ඉතා සූක්‍ෂ්මවය.

ඉතිහාසයේ වරක් දෙවරක් නොව කීපවරක්ම සිදුවූ වැරැද්ද නිසා හිංසනයට ලක්වූ කාන්තා පාර්ශ්වය බස් රථයට ගොඩවන්නේම සැක සංකා ඇතිවය. මේ ආකල්පය නිසා අපහසුතාවට, අගෞරවයට පත් වන පුරුෂ පාර්ශ්වය පිළිබඳවද නොලියා බැරිය. බස් රථයේදී නිරන්තරවම ස්ත්‍රී පාර්ශ්වයේ සැකයට බඳුන් වන මහත්මාවරුන් පිළිබඳ වරක් දේශපාලන විද්‍යාව පිළිබඳ ජනප්‍රිය කථිකාචාර්යවරයෙක් පැවැසීය. ඒ දේශනයට සවන් දුන් ශිෂ්‍යාවක ලෙස අසරණ පිරිමි ගැනද සටහන් තැබිය යුතුය. බස් රථයට ගොඩවූ මොහොතේ සිටම සමස්ත පුරුෂ වර්ගයා කෙරෙහිම මගී අප තුළ ඇත්තේ සැකයකි. මේ සැකය ඉතා අසාධාරණ ලෙස බසයට ගොඩවන සෑම වර්ගයකම පුරුෂයන්ට බලපාන්නේය. අපට පිටුපසින් සිටගන්නා පුද්ගලයා කවර තරාතිරමක දැයි අපි නොදනිමු. කවුරුන් වුවත් ඒ සෑම කෙනකුටම ආත්ම ගරුත්වයක් ඇත. ඔවුන් ගොඩනඟාගත් පෞරුෂයක් ඇත. අප බලන එක බැල්මෙන් පවා හානි වන්නේ එම පුද්ගලයන්ගේ ගරුත්වයටය. ආසන්නයේ පුරුෂයකු සිටින බව හැඟුණු වහා ස්ත්‍රී අපි අපේ ඇඳුමේ අඩුපාඩු සකසා ගන්නට උත්සුක වෙමු. උත්සාහයම අප අසල සිටින මහත්මයාට කරන්නේ බලවත් අපහාසයකි. සමහර ඇඳුම් විලාසිතා නිසා අපහසුතාවට පත්වන්නේ ඇඳුම ඇඳ සිටින අපටත් වඩා පුරුෂ පාර්ශ්වය බව අමතක නොකළ යුතුය. බස් රථයේදී කිසියම් අකටයුත්තක් සිදු වුණා නම් ඊට සුදුසුම ප්‍රතික්‍රියාව දැක්වීම වෙනස් කාර්යයකි. නමුත් සමස්ත පිරිමි සංහතිය කෙරෙහිම උපන් විචිකිච්ඡාවෙන් බස් රථයේ ගමන් කරනවා නම් එය ස්ත්‍රී මගී ජනතාව කරන බරපතළ වැරැද්දකි.

බසය යනු අපට ඇති පොදු මගී ප්‍රවාහන සේවාවන් අතුරින් ජනප්‍රියම සේවාවයි. මෙම සේවාවේ වැඩිම ප්‍රයෝජන භුක්ති විඳින්නේ ආර්ථික අතින් බොහෝ අපහසුතා ඇති තුන්වැනි පන්තියේ මගී ජනතාවය. මේ තිබෙන සියලු ප්‍රශ්න අප අපම බේරා ගත හැකි අපේ ප්‍රශ්නය. කොන්‍ෙදාස්තර මහතා ගිරිය පුප්පාගෙන කෑගැසුවත් අපි පා පුවරුවෙන් අඩියක් වත් නොසෙල්වෙමු. ඉතුරු රුපියලට බැන අඬගසනවා විනා අපි මාරු කාසි ලබාදී කොන්‍ෙදාස්තර මහතාට සහය නොදක්වමු. අතුරු සිදුරු නැතිව පිරී ගිය බස් රථයට නැඟීමත් බැසීමත් යන දෙකම කළ හැක්කේ මගී ජනතාවගේ සහයෝගය ලැබෙනවා නම් පමණි. නමුත් මේ අවස්ථා දෙකම බස් මගියාට අභියෝගයකි. අපේම මිනිසුන් ගස් ගල් සේ නොසෙල්වී සිටියදී කාය බල ශක්තියෙන්ම පමණක් නියමිත නැවතුමේදී බසයෙන් එළියට බැසීමට අපට සිදුවේ.

මෙලෙස වන්නේ බසයට නැඟුණු මොහොතේ පටන් අප අමුතු අභිමතයකින් පසුවීමට උත්සාහ දැරීම නිසයි. බසයේදී අපි අපේ සියලු විලාසිතා රැක ගැනීමට උත්සාහ ගනිමු. ඔය අතරේ වඩා පරෙස්සමට අනෙකාට හානි නොවන සේ මේ සේවාව ලබා ගැනීමට අංශුමාත්‍රයක හෝ වුවමනාවක් නැති පිරිස්ද සිටිති. බස් රථයේදී අපි සියල්ලෝම එකම අච්චුවේ මගීන්ය. නමුත් අපි හිටියේ අපේ ලෝකවලය. මේ සේවාව ලබා ගැනීමට මුදල් ගෙවිය යුතු බව පවා අපිට සිහි වන්නේ බසයට ගොඩවූ පසුවය. එලෙස ඇති වන ප්‍රමාදය නිසා කොන්‍ෙදාස්තර මහතාගේ ආතතිය ඉහළ නැංවෙන්නේය. එය පෙරළා එළියට එන්නේ ආවේගයක් ලෙසය. මගියකු මගියකුට චෝදනා කිරීම කෙතරම් යෝග්‍ය දැයි මම නොදනිමි. මේ බස් සේවාවේ විස¼දා ගත යුතු ආරවුල් බොහෝ ඇත. ඒ සියලු ප්‍රශ්න දෙවනුවට තබා මගී අප අපේ ප්‍රශ්න විස¼දාගෙන සිටිය යුතුය. කාන්තාවගේ ආරක්ෂාවට ආරක්ෂක අංශයක් පත් කළ යුතු තරමට බස් රථය තුළදී ස්ත්‍රී හිංසනය වැඩි වෙලාය. ඒ අපේ වරදින්ය. වහාම මේ සේවාව ලබා ගන්නා ඔබත් මමත් හිංසනය පිටු දැකිය යුතුය. බස් රථය තුළ සිදු වන ස්ත්‍රී හිංසනයට තිත තැබිය හැක්කේ කාන්තා සමිතිවලට හෝ මානව හිමිකම් සංවිධානවලට නොවේ. එය අපේ වගකීමකි. අපේ කාර්යභාරයකි. අපි පළමුව අපේ වැරැදි හදාගනිමු. දෙවනුව මේ සේවාව එපාවන තරමට මගී අපිට හිරිහැර කරන සෙසු පාර්ශ්ව වෙත බය නැතිව ඇඟිල්ල දිගු කරමු.

සටහන – වාසනා සුරංගිකා විතානගේ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435