මංගල යෝජනා සහ කාන්තා හිංසනය

ශ්‍රී ලංකාවේ ඇතැම් තරුණ, තරුණියන් ප්‍රේම සම්බන්ධතා මත විවාපත්වන අතර, තවත් සමහරුන් සිය අනාගත සහකරු හෝ සහකාරිය සොයාගනු ලබන්නේ දෙමාපියන් මාර්ගයෙනි. බොහෝ විට දෙමාපියෝ ඒ සඳහා පුවත්පත්වල මංගල දැන්වීම් පළකරති. මේ, මංගල දැන්වීම් මාර්ගයෙන් සිය අනාගත සහකරු සොයාගැනීමට උත්සහ කළ තරුණියක මුහුණ දුන් දුක්බර අත්දැකීමකි.

——————————————————————

වෘත්තියෙන් නීතිඥවරියක වන මම, 32 හැවිරිදි වියේ පසුවන නමුත් තවමත් අවිවාහකයෙකු වෙමි. මල්වාන ප්‍රදේශයේ කුඩා ගම්මානයක ජීවත් වන මගේ පවුලේ සාමාජිකයන් පස් දෙනෙකි.

ගැහැණු ළමුන් තිදෙනෙකු සිටි අප නිවස පිහිටියේ තරමක දුෂ්කර ප්‍රදේශයක වන අතර, මගේ දෙමාපියෝ සාමාන්‍ය රැකියාවල නිරත වූහ.

නගරය ආසන්නයේ දිවි ගෙවූව ද කිසි දිනක එහි ඇති සංකීර්ණභාවය ගැන මට වැඩි අවබෝධයක් නොතිබිණ.

පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වූ මට එහිදීත් හිතවත් මිතුරියක හෝ මිතුරෙකු මුණගැසුනේ ද නැත. මේ නිසා අධ්‍යාපන කටයුතු හමාර වූ සැණින් නිවස බලා පැමිණීමට මම පුරුදු වී සිටියෙමි.

පොත්පත්වලින් නීතිය ඉගෙන ගත් මම විභාගවලට හොඳින් මුහුණ දුන් නමුත්, එම රැකියාවේ නිරත වීමට යම් බියක් දැක්වීමි.

නීතිඥවරියක ලෙස අධිකරණය ඉදිරියේ තර්ක කිරීමට මට අවශ්‍ය නොවීය. යම් කාර්යාලීය රැකියාවක නිරත වීමේ අදිටනින් මම නීතිය උගත්තෙමි.

කෙසේනමුත්, නීතිඥවරියක් ලෙස දිව්රුම් දීමට නම් සය මසක කාලයක් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු යටතේ රැකියාව කළ යුතුය. ඒ අනුව, මම අළුත්කඩේ ප්‍රදේශයේ නීතිඥවරයෙකු යටතේ රැකියාවේ කළෙමි. නමුත්, නගරබද සමාජයේ පවතින බොහෝ අනතුරු උපක්‍රමශීලීව මඟහැර සිටීමේ හැකියාවක් හෝ දැනුමක් මට නොතිබිණ.

එබැවින් සය මසකට පසුව රැකියාවට සමුදුන් මම තවත් බොහෝ කාලයක් නිවසට වී සිටියෙමි. දැන් මම කාර්යාලයක සාමාන්‍ය රැකියාවක නිරත වන්නෙමි.

තරුණ විය පුරා මා හට කිසිදු ප්‍රේම සම්බන්ධයක් නොතිබිණි. නිවෙසට වී දෙමාපියන් යටතේ කල් ගෙවූව ද නිසි කලට විවාහ වීමේ අවශ්‍යතාවක් මට තදින්ම දැනිණි.

ඒ අනුව, දෙමාපියන් මා ගැන විස්තරයක් ජාතික පුවත්පත් මංගල දැන්වීම්වල පළ කළ අතර, එහි මගේ අධ්‍යාපන සුදුසුකම් ගැනත් ඇතුළත් කර තිබිණි.

එම දැන්වීමට විශාල ප්‍රතිචාරයක් ලැබිණ. ඒ අතර, ඉතා වයස්ගත මෙන්ම මට වඩා වයසින් බාල පුරුෂයින්ගේ විස්තර සහ කේන්දර පිටපත් ද ලැබී තිබිණි.

එම ලිපි ගොන්න අතරින් මට ගැළපෙන බව හැඟී ගිය කීපදෙනෙකුට පිළිතුරු යැවීමි.

ඒ අතරින් ප්‍රථමයෙන් මා දැකගැනීමට නිවසට පැමිණි පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකුට හෝ කිසිදු කැමැත්තක් ඇති නොවුණේ ඔවුන් පවසා සිටි වයස පවා මුසාවක් යැයි හැඟී ගිය බැවිනි.

තෙවෙනි පුද්ගලයා ගණකාධිවරයෙකු යැයි පැවසූ අතර, පෙර සූදානම් කරගත් පරිදි ඔහු මා දැකගැනීමට අප නිවසට පැමිණියේ සිය දෙමාපියන් ද සමගය.

ආහාර පාන සංග්‍රහවලින් පසු අප දෙදෙනාට කතා බහ කිරීමට අවස්ථාවක් ලබා දෙමින් දෙමාපියෝ නිවස තුළට ගියහ.

මා ගැන වැඩිදුර විස්තර අසා සිටි ඔහු, කතා කිරීමේ සැබෑම දක්ෂයෙකු සහ ප්‍රියමනාප පුද්ගලයෙකු ලෙස පෙනුණි.

“මම කැමතියි ඔයාගේ පපුවේ, ඉණේ ප්‍රමාණය දැනගන්න?,” දිනක් ඔහු එක්වරම මගෙන් ඇසීය.

“මොනවද ඔයා මේ අහන්නේ? ඔයා කොහොමද මගෙන් ඔය වගේ දේවල් අහන්නේ?”

35 හැවිදිරි ඔහු නැගූ ඒ පැනය නිසා මම බියටත්, ශෝකයටත් පත්වුණෙමි.

කෙසේනමුත්, මේ ගැන දෙමාපියන්ට නොපැවසීමට මම ඒ අවස්ථාවේ තීරණය කළෙමි.

අනාගත සහකරු සොයාගැනීම පිණිස එසේ විවිධ පුරුෂයන් හමුවන අවස්ථාවල වාචිකව පමණක් නොව ශාරීරික ලිංගික හිරිහැරවලට මුහුණ පෑමට ද මට සිදු විය. මේ සියල්ල සිදු වූයේ මගේ දෙමාපියන් සහ සොහොයුරියන් නිවස තුළ සිටියදීමය.

මංගල දැන්වීම් ඔස්සේ පැමිණි එක් පුද්ගලයෙකු පැවසුවේ ඔහු පෞද්ගලික ආයතනයක පරිපාලන අංශයේ රැකියාවක නියැලී සිටින බවකි.

 

එම අවස්ථාවේදී ද අපට කතා කිරීමට ඉඩහැර නැවතත් දෙමාපියෝ නිවස තුළට ගියහ. මාගේ අධ්‍යාපන මට්ටම හේතුවෙන් ඔවුහු මා කෙරෙහි දැඩි විශ්වාසයෙන් පසුවන අතර, ප්‍රශ්නවලින් මිදීමේ හැකියාවක් ද ඇතැයි සිතති.

නමුත්, සමාජ ගැටලු පිළිබඳ මා තුළ ඇති අනවබෝධය ඔවුහු නොදනිති.

“අපි ටිකක් නිදහසේ කතා කරන්න මිදුලට යමුද?” යැයි ඔහු යෝජනා කළ අතර, මම සැණෙකින් එයට කැමැත්ත පළ කළෙමි.

අප මිදුලේ තරමක් උසට වැඩී තිබූ වදුලක් තිබුණු අතර එය පිටුපසට ගිය පසු නිවසේ සිටින අයට එහි සිදුවන කිසිවක් පැහැදිලිව නොපෙනේ.

අපි දෙදෙනා සාමාන්‍ය කතා බහක යෙදෙමින් එම වදුල අසලට ගියෙමු.

සුහද කතාබහක නියැලී සිටි ඔහු එකවර මගේ පපු ප්‍රදේශය තදින් ස්පර්ශ කළේය.

එම අනපේක්ෂිත ක්‍රියාවෙන් මහත් බියට පත් වූ මම කඩිනමින් නිවස බලා ඇවිද ගියෙමි. නමුත් එම සිද්ධිය ද දෙමාපියන්ට හෝ සොහොයුරියන්ට නොපැවසීමට මම තීරණය කළෙමි.

පුවත්පත් මංගල දැන්වීම් ඔස්සේ පැමිණෙන පුද්ගලයන්ගෙන් එල්ල වන මෙම හිරිහැර ගැන පවුලේ අය දැනගතහොත්, ඔවුන් විවාහ යෝජනා සෙවීම නතර කරනු ඇතැයි මම බිය වුණෙමි.

නමුත් වෘත්තියෙන් නීතිඥවරියක වුවත් මට සිදු වූ හිංසනවලට එරෙහිව හඬ නගා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම ගැන මම අදටත් පසුතැවෙන්නෙමි.

කෙසේවෙතත්, වයසින් මුහුකුරා යන විට ලැබෙන අත්දැකීම් සමග සමාජය ගැන දැන් මා හට හොඳ අවබෝධයක් තිබේ.

විවාහ වීමට සුදුසු පුද්ගලයෙක් නොලැබීම හේතුවෙන් අදටත් තනිකඩ දිවියක් ගෙවන මා හට විවාහය පිළිබඳ ඇත්තේ නීරස හැඟීමකි.

දෙමාපියන් සහ සොහොයුරියන් සමග ගෙවන මෙම සැහැල්ලු දිවියට මම දැන් පුරුදු වී සිටින්නෙමි.

——————————————————————-

දෙමාපියන් සහ පවුලේ සාමාජිකයන් සිටිය දී ආරක්‍ෂිත යැයි හැඟෙන සිය නිවස තුළ දී පවා දරුවන් ලිංගික හිංසනවලට ලක් වීම ගැන බීබීසී සිංහල සේවය කළ විමසුමක දී ශ්‍රී ලාංකීය මව්වරුන් දෙදෙනෙකු මෙසේ සිය අදහස් පළ කළහ:

“මම විශ්වාස කරනවා මිනිත්තු කිහිපයකට කලින් දැන හඳුනගත් කෙනෙක් සමග තනියම කතා කරන්න ඉඩ දීම සුදුසු නැහැයි කියලා. අද සමාජයේ සිදුවීම් එක්ක බලනකොට තමන්ගෙ පවුලෙ කෙනෙක්වත් විශ්වාස කරන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නෙ. ඉතින් පුවත්පත් සහ අනෙකුත් ක්‍රම හරහා නොදන්නා පුද්ගලයෙක් සමග මේ විදිහට තනි කිරීමෙන් දරුවො අපයෝජනයට ලක් වෙන්න පුළුවන්,” යැයි සමාජ ක්‍රියාකාරිනියක වන සනාලි ද සිල්වා පැවසීය.

මූලාශ්‍රය – බිබිසි / සන්දේශය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435