මර්දනය කැන්දන ප්‍රති ත්‍රස්ත පනත පරාජය කළ යුතුමය!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act-PTA) එහි නමෙහිම වරහන් ඇතුළත දක්වා ඇත්තේ “තාවකාලික“ යනුවෙනි. එකී තාවකාලික පනත අවුරුදු හතළිහකට වැඩි කාලයත් තිස්සේ රටේ බලපැවැත්විණි. එපමණක් නොව ‘ත්‍රස්තවාදය වැළැක්වීම” නම් අලංකාරික වචනයට මුවාවී පැහැරගැනීම්, වධහිංසා කිරීම්, ලිංගික හිංසනයන්, අතුරුදහන් කිරීම්, මානව හිමිකම් උල්ලංඝණය කිරීම්, දේශපාලන පලිගැනීම්, දිගු කාලීනව රඳවා තබා ගැනීම් අනන්ත අප්‍රමාණ විය. නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් ඒ පිළිබඳව මෙසේ පවසයි.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුලින්ම ගෙනාවේ. කොටි පනත කියලා. 1979 දි. ඒ අවස්ථාවේදිත් අපි ඒකට විරුද්ධ වුණා. කොටි පනත කීව නිසා දකුණේ බහුතර සිංහල ජනයා ඒකට විරුද්ධ වුණේ නෑ. නමුත් දකුණේ ඉස්සරලාම අත්අඩංගුවට ගත්තේ විජය කුමාරතුංගයි, ෆීලික්ස් පෙරේරායි. සිංහල දේශපාලනඥයින්. ඒ අනුව පැහැදිලි වුණේ ආණ්ඩු විරෝධීන්ව මර්දනය කරන්න මේක ගෙනාව බව. ඒකම ඊට පස්සෙ “තාවකාලික විධිවිධාන පනත“ නමින් ගෙනාවා. ඊට පස්සෙ තමා‘ත්‍රස්තවාය වැළැක්වීමේ පනත“ කියලා ගෙනාවෙ. මොන නමින් ගෙනාවත් මේ හැම අවස්ථාවකදීම ගෙනාවෙ එකම පනතක් නිසා අපි එදා සිට ඒ සියලුම පනත්වලට විරුද්ධ වුණා. මොකද ඒවා ගෙනාවෙ ජනතා විරෝධයන් යටපත් කරන්නටයි. ඒ පනතට විකල්ප යයි කියමින් අලුතින් ගෙනවිත් ඇති “ප්‍රති ත්‍රස්ත පනත“ ගේන්නෙත් ඒකටම තමයි. ඒ නිසා අපි කියන්නේ දැනට තියෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත්, යෝජිත ප්‍රතිත්‍රස්ත පනතත් කියන දෙකම අහෝසි කළ යුතුයි“ හෙතෙම අවධාරණය කරයි.

ගෙවී ගිය හතළිස් වසරකට ආසන්න කාලය තුළ මානව හිමිකම් ක්‍රියාකාරීන්, සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යෙව්දීන්, කලාකරුවන් ආදී බොහෝ දෙනෙකුගේ භාෂණයේ ප්‍රකාශනයේ හා සිවිල් ක්‍රියාකාරකම් මර්දනය කිරීමත්, පුරවැසි නිදහස උදුරා ගැනීමටත් භාවිතා කරනු ලැබුවේ මෙම නීතියමය. ඒ නිසාම මෙම නීතිය ඉවත් කරන ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් සංවිධාන විසින් දැඩි ඉල්ලීමක් කරනු ලැබිණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය පවා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට විටෙන් විට කරුණු දක්වනු ලැබිණි. එහිදී ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් ‘‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත“ අත්‍යවශ්‍ය බවට ඇතැම් අන්තවාදීන් මෙන්ම ශ්‍රී ලංකා රජයද දැඩි ස්ථාවරයක සිටීම නිසා එය දිගින් දිගටම ශ්‍රී ලාංකේය සමාජය මත අභ්‍යාසවී සාමාන්‍යකරණය වී තිබිණි. යුද්ධය නිමාවී දශකයට ආසන්න කාලයක් ගෙවී ගිය තැනද, තව දුරටත් එම විධිවිධාන ඉදිරියට ගෙන යාමට එවැනිම පනතක් අවශ්‍ය වන්නේ ඇයි? ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් පවසන්නේ මෙවැන්නකි.

“2009න් පසුව ත්‍රස්තවාදය මුලිනුපුටා දැම්මා කීවා. ත්‍රස්තවාදයට යළි හිස එසවීමක් නෑ කියලා හමුදාපතිවරයා කියනවා. ආණ්ඩුවේ සියලුම ප්‍රධානීන් ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් නෑ කියලා අවධාරණය කරනවා. එහෙම තත්ත්වයක් තුළ නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක අවශ්‍යතාවක් නෑ. එහෙම නම් ප්‍රති ත්‍රස්ත පනතක් ඕන නෑ. ආණ්ඩුව විසින් පෙරට දමා තිබෙන පුද්ගලීකරණ ප්‍රතිපත්තිය, වෘත්තීය අයිතිවාසිකම් මර්දනය සඳහා ගෙනෙන අණ පනත්, ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී සැලසුම් වලට එරෙහිව ජනතාවගේ වීදි බැසීම වළක්වන්නයි මේ නීති ගෙනෙන්නේ. සමහර රාජ්‍ය නොවන සංවිධාන පවා මේක අනුමත කරමින් කරන ප්‍රකාශ නිකුත් කිරීම ගැන කනගාටුයි. ඔවුන් යූ.ඇන්.පී රජය දෙමළ ජනතාවගේ ප්‍රශ්වලට විසඳුම්දේවි යයි හිතනවා. එහෙම වෙන්නෙ නෑ. මහින්ද රාජපක්ෂ නමැති විපක්ෂ නායකකම නමට ඈදාගත් කෙනා කියන්නේ ඔවුන්ගේ ආණ්ඩුවක් තුළ ‘ප්‍රති ත්‍රස්ත පනත පරාජය කරනවා‘ කියලා. ඔවුන්ගේ ආණ්ඩුවක් ගෙනෙනතුරු නොවෙයි, මේ ආණ්ඩුව තුළම මේ මොහොතේම මේක පරාජය කළ යුතුයි. මොකද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න ට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් රාජපක්ෂලා මෙම පනත පරාජය කරාවි යයි විශ්වාස කරන්න ට බෑ. ඒ නිසා සියලුම බලවේග එකතු කරගෙන මේ මොහොතේ මෙම පනත පරාජය කිරීමට කටයුතු කළ යුතුමයි.“ ස්ටාලින් වැඩිදුරටත් කියා සිටියි.

මෙම යෝජිත ‘‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත“ට එරෙහිව සංවිධානාත්මකව ප්‍රතිචාර දැක්වීමට තරම් වෘත්තීය සමිති ක්‍රියාධරයින් හා බහුජන ක්‍රියාකාරීන් ඒ පිළිබඳ කෙතරම් සවිඥානකද යන්න අපගේ අවධානය යොමුවිය යුතුය. පසුගියදා නාරාහේන්පිට පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන රුකී ප්‍රනාන්දු දැක්වූයේ මෙවන් අදහසකි.

“ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආරම්භ කරන ලද්දේ අවුරුදු හතළිහකට ඉස්සර තාවකාලික විධිවිධානයක් විදිහටයි. ඒත් ඒක අවුරුදු හතළිහකට වඩා වැඩි කාලයක් භාවිතා කෙරුණා. සුළුතර ජන කොටස්වලට, ජනමාධ්‍යවේදීන්ට, මානව හිමිකම් ක්‍රියාධාරීන්ට අමිහිරි අත්දැකීමක්. මේක අවුරුදු තුන හමාරකට කලිනුත් අහෝසි කරන බවට වත්මන් රජය පොරොන්දුවෙලා තියෙද්දී තමා අලුත් එකක් ගෙනෙන්නෙ. මෙහි නිර්වචනයේම බොහෝ ගැටළු තියෙනවා. ජාතික ආරක්ෂාවට හානි කිරීම, ජන කොටසකට තර්ජනය කිරීම, රජය හෝ ජාත්‍යන්තර සංවිධානයකට එරෙහිව යමක් කිරීම හෝ නොකර සිටීමට බලපෑම් කිරීම“ ආදී වශයෙන් තමා ත්‍රස්තවාදය හඳුන්වලා තියෙන්නෙ. ඒ නිසාම රජයට එරෙහිව හෝ ජාත්‍යන්තර බලපෑමකට එරෙහිව උද්ඝෝෂණය කිරීමක්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වුණත් ත්‍රස්තවාදී වරදක් ලෙස සලකා අත්අඩංගුවට ගන්නට පුළුවන්. සැකකරුවන්ට සාමාන්‍ය නීතිය යටතේ කිසිදු රැකවරණයක් ලැබෙන්නෙ නෑ. මෙහි 10 වැනි වගන්තියේ මෙහෙම තියෙනවා. ‘මහජනයාට තොරතුරු හිතමතාම හෝ නීත්‍යනුකූල නොවන ලෙස බෙදා හැරීම‘. මෙහිදී ‘නීත්‍යනුකූල නොවන‘ කියන්නේ මොකක්ද පැහැදිලි නෑ. ලීෆ්ලට් එකක්, පෝස්ටරයක් පවා මේ ගණයට දැමිය හැකියි. කවුද ඒක නිර්වචනය කරන්නෙ. කොහොමද නිර්වචනය කරන්නේ ? “ වරදක් සිදුකිරීමට පෙළඹවීමේ අරමුණෙන් සහ එම වරද සිදුකරනු ලැබීම පිළිබඳ බියවැද්දීමේ අරමුණෙන්, පනත යටතේ වරදක් සිදුකරන, සිදුකිරීමට කුමන්ත්‍රණය කරන, සූදානම් වන අනුබල දෙන හෝ තැත් කරන තැනැත්තෙකුට යම් තොරතුරු සැපයීමේ කාර්යයක් හෝ සැපයීමේ අරමුණෙන් යමක් කිරීම, නීති විරෝධී හෝ රහස් තොරතුරු රැස්කිරීම..“වරදක් කියලත් කියනවා. මෙතන සිටින මං යම් කෙනෙකුට තොරතුක් දුන හොත් මං එකී පුද්ගලයාට වැරැද්දක් කිරීම සඳහා තොරතුරු ලබාදුන් බවට පොලිස් නිලධාරියෙක් හිතනවානම් මාව මේ පනත යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන්. කොහොමද ඒක ඔප්පු කරන්නේ. ඒක පොලිස් නිලධාරියා තමා තීරණය කරන්නේ. අවනීතියත් විදිහට පාවිච්චි කළ හැති හොඳ ඉඩකඩක්. මෙතන තියෙනවා. මෙහි තවදුරටත් මෙසේ දැක්වෙනවා. “මහජන යහපත හෝ ජාතියේ සුබ සිද්ධිය පිණිස නොවන“ කවුද මේක අර්ථකථනය කරන්නේ. අදාළ පුද්ගලයාගේ අරමුණ අනුව හර්තාලයක් සංවිධානය කිරීම, පවා මේ යටතේ ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙන්න පුළුවන්. වෘත්තීය සමිති ක්‍රියාවක් වෙන්න පුළුවන්. අපේ රටේ හමුදාව, පොලීසිය, දේශපාලනඥයින් මේ නීතිය සද්භාවයෙන් පාවිච්චි කරාවි යයි විශ්වාස කරන්න පුළුවන්ද? මට නම් බෑ“ රුකී ප්‍රනාන්දු මහතා පවසන්නේ සත්‍යයකි.

රටේ ආරක්ෂක අංශ හෝ පොලීසිය පිළිබඳ ලාංකේය අත්දැකීම් ඉතා ඛේදජනක තත්ත්වයන්ය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ අනුදැනුම මත රත්ගම පොලීසියේ ඉහළ නිලධාරීන් කළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ මේ දිනවල යම් කතා බහක් මතුවී තිබේ. සාදයක් අවස්ථාවකදී තමාට මත්පැන් ලබා නොදීමෙන් කුපිත වූ ඇඹිලිපිටිය පොලීසියේ ප්‍රධානියෙකුද ටික කලකට ඉහතදී එක් දරු පියෙකු ඝාතනය කරන ලදී. අපරාධකරුවන් යයි කියන පුද්ගලයින් (සැකකරුවන්) හිතුමනාපෙට ඝාතනය කොට අධිකරණය නොමග යවා පොලීසිය විසින් ක්‍රියා කරමින් සිටින්නේ පවත්නා සාමන්‍ය නීතිය හා අපරාධ නීතිය යටතේය. එසේ තිබියදී මෙවන් අධි බලයක් පොලීසියට හා ආරක්ෂක අංශ වෙත ලබාදීම කෙතරම් අමිහිරි අත්දැකීමක් වනු ඇත්දැයි අනුමාන කිරීම පවා බිය ජනකය.

“ මෙයින් පොලීසියට, හමුදාවට මෙන්ම වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවටත් යම් ප්‍රදේශයක්, තහනම් ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කිරීමටත්, ඕනම සංවිධානයක්, තහනම් සංවිධානයක් බවට පත් කිරීමටත් බලය ලැබෙනවා. ඒ බලය ඇමතිවරයෙකුටත් තියෙනවා. ඊට කලින් අදාළ සැකකරුවන්ට හෝ සංවිධානයට කරුණු ඉදිරිපත් කරන්නට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ.“

තවමත් ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සක්‍රීය කළ හැකි ‘හදිසි නීති“ විධිවිධාන පවතී. එකී හදිසි නීතිය යටතේ දේශපාලන පක්ෂ හා සංවිධාන තහනම් කිරීමත්, එම තහනම් කිරීම නිසාම එකී සංවිධාන ආයුධ සන්නද්ධ ක්‍රියාදාමයන් කරා යොමුවීමේ ප්‍රවණතාවක් පැවති අතීත නිදසුන් බොහෝය. එහෙව් තත්ත්වයක් තිබියදී එවැනිම බලයක් පොලීසිය, ආරක්ෂක අංශ මතු නොව දේශපාලනඥයින්ට පවා හිමිවීම කෙතරම් බිහිසුණු ආරම්භයක් වනු ඇතිදැයි මොළය කළඳක් වුව පවත්නා ඕනෑම පුරවැසියෙකුට අවබෝධ කරගත හැකිය. තමා වුවද නිහඬව නොසිටින බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් මේවන විට වෘත්තීය සමිති, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, සිසුන් ගෙන් ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පතට දැඩි විරෝධයක් එල්ල වී තිබේ. වෘත්තීය සමිති ක්‍රියාධරයින් තවදුරටත් බලගැන්වීමේ වැදගත්කම අවධාරණය කරන ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ (CMU)ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පවසයි.

‘‘1979 දී ජේ ආර් ජයවර්ධන රජය සම්මත කල ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කොට නව පනතක් ගෙනඒමට මෙම රජය උත්සාහ දරන බව ඔබ දන්නවා ද ?. වසර 40 ක් මුළුල්ලේ ඊනියා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික) විධිවිධාන පනත යටතේ සිදුවූ බරපතළ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හා රටෙහි සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාකළ හැකිව තිබියදී බොහෝ වැරදි පිළිබඳව වඩාත් අමානුෂික හා අසාධාරණ ලෙස ක‍්‍රියා කිරීමටත් අහිංසක ජනතාව තලාපෙළා මර්දනය කිරීමටත් මේ පනත උපයෝගි කරගත් බව සනාථ වු හෙයින් ජාතික හා ජාත්‍යන්තර තලයේ විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් කරන ලද බලපෑම් හේතු කොටගෙන මෙම අපකීර්තිමත් පනත ඉවත්කර ගැනීමට ආණ්ඩුවට සිදුව ඇත. එම පනත ඉවත්කර ඊට වඩා දරුණු වෙනත් පනතක් මගින් මේ රටේ පීඩිත ජනකොටස්, විශේෂයෙන් කම්කරු ගොවි හා පොදුජනයා මර්දනයකර, වෙනස් හෝ විරුද්ධ මතවලට ඉඩ නොතබා ධනේශ්වරයේ රාජ්‍ය ආධිපත්‍යයට යටත්කොට තම අභිමතය පරිදි රට පාලනය කිරීමේ උවමනාව ඉටුකර ගැනීමට ආණ්ඩුව දැන් උත්සාහ දරමින් සිටී. “

නව පනත සම්මත වුවහොත් අපට සිදු වන්නේ කුමක්ද? ජයකොඩි මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වෙයි.
* පොලීසිය, හමුදාව හෝ වෙරළ ආරක්ෂක භටයන්හට සැකයැයි සිතන ඕනෑම පුද්ගලයෙකු වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගෙන සිරගත කළ හැකිය. සැකකිරීම සදහා නිශ්චිත හේතු අවශ්‍යය වන්නේ නැත.

* අත්අඩංගුවට ගත්තායින් පසුව පැය 48 ක් පොලිස් භාරයේ තබාගෙන ප‍්‍රශ්න කළ හැක. (සාමාන්‍ය නීතිය අනුව පැය 24ක් තුළ මහේස්ත‍්‍රාත් වරයෙකුට ඉදිරිපත් කළ යුතු නීතිය බලාත්මක නොවේ)

* ඒ අතර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට සැකකරු පොලිස්භාරයේ රඳවා තබා ගැනීමේ නියෝගයක් නිකුත් කළ හැක . ඒ අනුව මෙම නියෝගය සති 8 ක් දක්වා දිර්ඝ කිරීමට ඔහුට බලය ඇත.

* මේ අතරේ පරීක්ෂණය සඳහා බැංකු ගිණුම් හුවමාරු ගැන දැනගැනීමට හා සැකකරු හා වෙනත් අය අතරවු ඕනෑම අදහස් හා පණිවිඩ හුවමාරු කිරීම සියල්ලක්ම පාහේ පරික්ෂා කිරීමට පොලීසියට බලතල ඇත. මේ වැනි දේවල් කිරිමට නීතිමය අවසර ගතයුතු නැත.

මේ පනත යටතේ ජනතාවට පණවා ඇති තහනම් අතර පහත සඳහන් ඒවාද වේ.

1. අත්‍යාවශ්‍යය සේවා හෝ සැපයීම් සමග සම්බන්ධවන යම් තීරණාත්මක යටිතල පහසුකමකට හෝ ප‍්‍රවර්ධන පහසුකමකට අලාභ හානි සිදුකළායැයි යන චෝදනාව මත, පෙළපාළියාම, පිකටින් කිරීම, රැස්වීම් පැවැත්වීම, වැඩවර්ජන වල යෙදීම, මාධ්‍ය සාකච්ජා පැවැත්වීම, ප‍්‍රකාශන නිකුත් කිරිම, පෝස්ටර් ඇලවීම, පත‍්‍රිකා බෙදීම, අභ්‍යන්තර හෝ ප‍්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීම ආදිය ”ත‍්‍රස්ත ක‍්‍රියාවන්” ලෙස හැඳින්විය හැක. මෙය වෘත්තිය සමිති හෝ බහුජන සංවිධාන මෙල්ල කිරීමේ අරමුණින් ගෙනඑන බවට කිසිම සැකයක් නැත.

2. එවැනි චෝදනා ලබන පුද්ගලයන්ගේ හෝ සංවිධානවල ක්‍රියාකාරකම් තහනම් කිරීමට, බැංකු ගිණුම් භාවිතාකිරීම තහනම් කිරීමට, ආරක්ෂක ඇමතිවරයාට බලයදී ඇත .

3. මෙම පනත යටතේ පුද්ගලයන්ගේ හෝ පුද්ගලයින් සමුහයකට යම්කිසි ස්ථානයකට හෝ ප‍්‍රදේශයකට ඇතුළු වීමට හෝ එම ප‍්‍රදේශයන්වල ඇති සේවාවන් ලබා ගැනීමට හෝ වැළැක්වීමට ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට බලය ඇත. එසේ කිරිමට සාධාරණ සැකයක් නොව තොරතුරු ලැබුණායැයි කියන හේතුව ප‍්‍රමාණවත්ය.

4. රජයේ ක්‍රියාකාරකම්වලට බාධා පැමිණවීම, මහජනයාට අවහිරතා ඇතිකිරීම, භාණ්ඩවලට අලාභ හානිකිරීම, අත්‍යවශ්‍යය සේවාවන්වලට බාධා පැමිණවීම, ජනතාවගේ ආරක්ෂාව අවධානමට ලක් කිරීම යන කරුණුද ‘ත‍්‍රස්තවාදය’ ලෙස හඳුන්වාදී ඇත.

මෙහි ඉහත සඳහන්කර ඇත්තේ පෙර පැවැති ත‍්‍රස්තවාදී පනතෙහි අඩංගු නොවු හා අලූතෙන් හඳුන්වාදී ඇති සමහර ‘ත‍්‍රස්තවාදී’ නිර්වචනයන්ය.“

මේ අනුව නව පනත යටතේ පෙර පැවතියාටත් වැඩි මර්දනකාරී හා පැහැදිලි නොවන විධිවිධාන රාශියක් ඇතුළත් කරමින් එය සම්මත කර ගැනීමට ආණ්ඩුව විසින් පිඹුරුපත් සකසන බැව් අවිවාදිතය. දිගින් දිගටම වැඩ කරන ජනයා පීඩාවට පත් කරමින් ඔවුන් මත මර්දනයේ හස්තය වඩ වඩාත් දැඩි කිරීමට නියමිතය. කම්කරුවන් තලා පෙළා හාම්පුතුන් සනසන වැඩපිළිවෙළක් දියත් කෙරෙනු ඇත. ඊට එරෙහිව සංවිධානය වීමට තැත් කරන කුමන තරා තිරමක වෘත්තීය සමිති ක්‍රියාධරයෙකු හෝ මෙම පනත යටතේ අත්අඩංගුවට ගෙන නඩු නොඅසා වධ හිංසාවට භාජනය කිරීමට පොලීසිය, ආරක්ෂක අංශ, දේශපාලනඥයින්ට මෙමගින් හැකියාව ලැබෙනු ඇත. ඒ නිසාම ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ මුවාවෙන් වැඩකරන ජනයා ප්‍රමුඛ අසාධාරණයට එරෙහිවන කුමන හෝ පුරවැසියන් හිංසනයට ලක්කිරීමට හෝ තාඩන පීඩන කිරීමට සැරසෙන නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පරාජය කිරීමට පෙළ ගැසීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කටයුත්තකි. ලංකා වතු සේවා සංගමයේ සභාපති, සභාපති චතුර සමරසිංහ මහතා මෙසේ පවසයි.

“ප්‍රතිත්‍රස්ත පනතෙන් ආණ්ඩුවේ ආර්ථික අර්බුදය වසා ගැනීමට උත්සාහ කිරීමක් හැටියටයි අපි දකින්නේ. ආර්ථික පීඩනයට එරෙහිව රටේ වැඩකනර ජනයා, ගොවියෝ, සිසුන් සටන් කරද්දී එය මර්දනය කිරීමට ආණ්ඩුවට වැඩපිළිවෙළක් අවශ්‍යයි. අරගලකරුවන් ත්‍රස්තවාදීන් බවට පත් කිරීමට අවශ්‍යයයි. ත්‍රස්තවාදය කෙසේ වෙතත් පුරවැසියන් ත්‍රස්තවාදීන් බවට පත් කිරීමටයි මෙම පනත ගෙන එන්නෙ. මෙයින් වෘත්තීය සමිති ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම ඇණ හිටිනවා. මෙයින් අන්තර්ජාතික සම්මුතින්, උල්ලංඝණය කෙරෙනවා. ‘ජාත්‍යන්තර කම්කරු සංවිධානය‘ වැනි අවධාරණය කරන එක් රැස්වීමේ නිදහස, වෘත්තීය සමිති ක්‍රියාකාරකම් ආදිය අර්ථ ගැන්විය නොහැකි වෙනවා. කම්කරු නීති අණ පනත් වලින් ආවරණය කෙරෙන සියලුම ක්‍රියාකාරකම් අයිතිවාසිකම් මෙම පනත හරහා ක්‍රියාවෙ යෙදවීමට නොහැකි වෙනවා. මෙම පනතේ දැක්වෙන එක් නිදසුනක් කියන්නට පුළුවන්. පෞද්ගික හෝ පොදු දේපළකට අලාභ හානි කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා මෙහි දැක්වෙනවා. යම් කිසි වර්ජනයක්, වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරද්දී ඒ පෞද්ගලික ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලියට එහි ඵලදායිතාවට බලපෑමක් එල්ල වෙනවා. එහෙම නොවන වර්ජන හෝ අරගල ලෝකයේ කොහේවත් නෑ. මෙහිදී කම්කරු නායකයින්, ගොවියන්, සිසුන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් පමණක් නොව රටේ පාරක හදන මිනිස්සු පාරට ඇවමිත් විරෝධය පළ කළොත් පවා අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ නිසා රටේ සියලුම පුරවැසියන්ට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට හානියක්“

මෙම පනත ගෙන ඒමට වළිකන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කියන්නේ මෙමගින් පවත්නා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ පවතින අඩුපාඩු මගහැර ඊට විකල්පයක් ලෙස මෙය ගෙන එන බවයි. එහෙත් සත්‍යය එය නොවේ. අන්තර් සමාගම් සේවක සංගමයේ ලේකම් වසන්ත සමරසිංහ මෙසේ පවසයි.

“ප්‍රති ත්‍රස්ත පනත කියන්නේ ‘ත්‍රස්තවාය වැළැක්වීමේ පනත‘ අහෝසි කිරීම ඉලක්ක කරගත්තු පනතක්. හැබැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත් රටේ සාමාන්‍ය ජන ජීවිතය තුළ සාමාන්‍ය ක්‍රියාකාරකම් පවා මර්දනය කළ බව තමා අපේ අත්දැකීම. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හඳුන්වා තියෙන්නේ ක්‍රියාකාරකම් විස්සයි. යෝජිත ප්‍රති ත්‍රස්ත පනතෙන් එලෙස ක්‍රියාකාරකම් 50ක් හඳුන්වා තියෙනවා. තියෙන 20ක් වෙනුවට, ඒවා වළකන්න 50ක් ගෙනෙන එක මොන තරම් විහිළුවක්ද? මෙය පවත්නා පනතට වඩා නොසෑහෙන්න භයානකයි. මෙය සිවිල් ක්‍රියාකාරකම් ගේ ඇතුළට සීමා කරන්නට ගෙනෙන පනතක් ලෙස සැලකිය හැකියි. අපි මේකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. සියලුම බලවේග එකතු කරගෙන මෙම පනත පරාජය කිරීමට කටයුතු කරනවා.“

‘වැඩබිම‘ ලෙස රටේ වැඩකරන ජනයාට පැවසීමට ඇත්තේද එයමය. මෙය මුළුමනින්ම පරාජය කිරීමට නම් අප සැවෝම එක්විය යුතුය. ඒ වෙනුවෙන් වෙන කතා බහකට එළඹෙන අප්‍රේල් මස 09 වන දින පෙ.ව 10.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයට වෙත පැමිණෙන ලෙස අප ‘වැඩබිම‘ පාඨකයින්ට ගෞරවයෙන් යුතුව ආරාධනා කරන්නෙමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435