මහජනයා මත බර පටවන රාජ්‍ය ණය

කාලයක්‌ තිස්‌සේම රටේම ඉමහත් අවධානයට ලක්‌ව ඇති බැඳුම්කර මගඩිය තවදුරටත් දේශපාලන චෝදනාවක්‌ නොව එය විගණකාධිපති වාර්තා, කෝප් වාර්තා සහ අවසාන වශයෙන් ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනකුගෙන් ද සමන්විත බැඳුම්කර මගඩි ජනාධිපති කොමිසමේ වාර්තාවලින් පවා තහවුරු වී ඇති දෙයකි. එදා කිසිදු වරදක්‌ වී නැති බව කියූ අය ද දැන් මෙහි වරදක්‌ වී ඇති බව පිළිගනී. එහෙත් අති මහත් බහුතර පොදු ජනතාව තුළ නම් මේ මගඩිය සම්බන්ධයෙන් පැහැදිලි විනිශ්චයක්‌ තිබේ. ඒ මහජන විනිශ්චයට අනුව ඔවුන්ට අවශ්‍ය කරන්නේ මීට වගකිවයුත්තන්ට දඬුවම් ලබාදී මහජනයාගෙන් කොල්ල කාගත් ධනය ඔවුන්ගෙන් නැවත ලබා ගැනීමයි.

සෑම රජයක්‌ම දේශීය සහ විදේශීය වශයෙන් ණය ගනී. එහෙත් රජය මේ ණය ගැනීමෙන් වගකීමට බැඳෙන්නේ මහජනතාවයි. එම ණය සඳහා රජයට ණය වාරික සහ පොලී ගෙවීමට සිදු වෙයි. රජයට ඒ සඳහා වැය කිරීමට සිදු වන්නේ රජය විසින් මහජනතාවගෙන්ම අය කරගන්න බදු ආදායමයි. එනම් රජය ගන්නා දේශීය සහ විදේශීය ණය මුදල්වල වගකීම මෙන්ම ඒවා නැවත ගෙවීමේ පිරිවැය දරන්නේත් මහජනතාවයි. ඒ නිසා රජය හැකිතාක්‌ ණය ගැනීමේදී ඒ වගකීම පැටවෙන මහජනතාවට අඩුම බරක්‌ පැටවෙන පරිදි එය කළ යුතු වෙයි. එසේම රාජ්‍ය ණය පොලී පිරිවැය හැකිතාක්‌ අඩු කර ගනිමින් මහජනතාව මත පැටවෙන රාජ්‍ය ණය පිරිවැය ද අවම වන පරිදි ණය ගත යුතු ද වෙයි. පසුගිය කාලයේ එසේ නොකිරීමේ විපාක අද දිනයේ සමස්‌ත ආර්ථිකයට සහ මහජනතාවට විඳින්නට සිදුව තිබේ. මේ නිසා රාජ්‍ය ණය ගැනීමේදී විශේෂයෙන් භාණ්‌ඩාගාර බැඳුම්කරවලට අදාළව එය කළ යුත්තේ කෙසේද යන්න ගැන රාජ්‍ය ණය වගකීමට බැඳෙන මහජනයා දැනුවත් කිරීමට මේ ලිපියෙන් අපි අදහස්‌ කරමු.

මුලින්ම මේ සඳහා භාණ්‌ඩාගාර බැඳුම්කර යනු මොනවාදැයි අපි හඳුනා ගනිමු. රාජ්‍ය වියදම් සඳහා මුදල් සැපයීමට හා ණය සුරැකුම් වෙළෙඳපොළ සංවර්ධනය කිරීමේ අරමුණින් රජයේ භාණ්‌ඩාගාරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තුමේන්තුව විසින් දෙසතියකට වරක්‌ වෙන්දේසි මාර්ගයෙන් නිකුත් කරනු ලබන දිගුකාලීන ණය සුරැකුම්පත් වශයෙන් භාණ්‌ඩාගාර බැඳුම්කර හඳුන්වා දිය හැකිය. අද වන විට වෙළඳපොළ යටිතල පහසුකම් වර්ධනය සහ තාක්‌ෂණයේ වර්ධනයත් සමගම නිර්ලේඛනගත අයුරින් බැඳුම්කර නිකුත් කිරීම සිදු කෙරේ. සියල්ල පරිගණක ගත කොට ඇති හෙයින් ඉතා කෙටි කාලයක්‌ තුළ ගනුදෙනු කිරීමේ හැකියාව ඇත. මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙය වීමේ වැදගත් උපකරණයක්‌ මෙන්ම අරමුදල් රැස්‌කර ගැනීමේ මූලාශ්‍රයක්‌ ලෙස ද බැඳුම්කර වෙළඳපොළ මූල්‍ය වෙළඳපොළ තුළ අද්විතීය ස්‌ථානයක්‌ හිමිකරගෙන ඇත. රජයේ අයවැය ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමේ අරමුණින් යුතුව 1997 දී හඳුන්වා දුන් භාණ්‌ඩාගාර බැඳුම්කර මේ වන විටත් වෙළෙඳපොළ තුළ ජනප්‍රියතාවක්‌ අත්පත්කොට ගෙන ඇත. මෙකී වැදගත්කම හේතු කොට ගෙන මෙම වෙළෙඳපොළ සංවර්ධනය කිරීමේ පියවර රාශියක්‌ මේ වන විට රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇත. ඒ අතරින් යටිතල පහසුකම් සංවර්ධනය ප්‍රාථමික හා ද්වීතීක වෙළෙඳපොළ සංවර්ධනය කිරීම ශක්‌තිමත් නීතිමය රාමුවක්‌ ගොඩනැඟීම වැදගත්වේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය සුරැකුම්පත් වෙළඳපොළේ ගනුදෙනු වන උපකරණ කිහිපයකි. ඒවා මෙසේයි.

  •  භාණ්‌ඩාගාර බිල්පත්
  •  භාණ්‌ඩාගාර බැඳුම්කර
  • රුපියල් සුරැකුම්පත්
  • ජාතිය ගොඩනැගීමේ බැඳුම්කර
  •  ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර

භාණ්‌ඩාගාර බැඳුම්කරයක ප්‍රධාන ලක්‌ෂණ කිහිපයක්‌ මෙසේය .

  •  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් නිකුත් කරන ලබයි.
  • භාණ්‌ඩාගාර බැඳුම්කර දිගුකාලීන රාජ්‍ය ණය සුරැකුම්පත් වර්ගයකි. මේවා වසර 2, 3, 4, 5, 6. 10, 15 , 20 සහ 30 යන පරිණත කාල වලින් මේ දක්‌වා නිකුත්කොට තිබේ.
  • ගනුදෙනු කිරීමේදී මුදල් වර්ගය ලෙස ශ්‍රී ලංකා රුපියල් භාවිතා කරනු ලබයි.
  • තරඟකාරී ලංසු සහිත වෙන්දේසියක්‌ මගින් නිකුත් කරනු ලබයි.
  • ප්‍රාථමික අලෙවිකරුවන් විසින් ලංසු තබනු ලැබේ.
  • අවම ලංසුව රුපියල් මිලියන පහ (රු. 5,000,000 ) ක්‌ වන අතර සියලුම ලංසු රුපියල් මිලියන එකේ (රු. 1,000,000) ගුණිතයෙන් විය යුතුය.
  • භාණ්‌ඩාගාර බැඳුම්කර සඳහා අර්ධ වාර්ෂිකව ස්‌ථාවර පොළී අනුපාතයක්‌ ගෙවනු ලැබේ.

නිදසුනක්‌ ලෙස ගත් කල පොලී අනුපාතය 12% ක්‌ යෑයි සිතමු. ඒ අනුව රු. 100 ක නාමික අගයක්‌ සඳහා වසරකට රුපියල් 12ක්‌ පොලී මුදල ලෙස ලැබෙන අතර මෙය ආයෝජකයා හට ගෙවනු ලබන්නේ රු. 6 බැගින් වූ වාරික දෙකකිනි.

  •  පොලී අනුපාතිකය වෙළෙඳපොළ බලවේග මත තීරණය වන අතර ආයෝජන ඒකකයක අවම වටිනාකම රුපියලක්‌ වේ.
  •  පරිණත කාලය අවසානයේ නාමික අගය ගෙවනු ලැබේ.

රජය විසින් ගෙවීමට නියමිත පොලිය හා නාමික අගය ගෙවීම පිළිබඳ අවිනිශ්චිතතාවක්‌ නොමැති වීම හේතුවෙන් භාණ්‌ඩාගාර බැඳුම්කර දිගුකාලීන අවදානම් විරහිත සුරැකුම්පත් ලෙස හඳුන්වනු ලබයි.

මේ බැඳුම්කර නිකුත් කර, සිදු කරන්නේ රජයට ණය ගැනීම වන බැවින් මෙහිදී රාජ්‍ය ණය කළමනාකරණය ගැන ද සාකච්ජා කිරීම වැදගත්ය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන නියෝජිත කටයුතු අතර එක්‌ ප්‍රධානතම කටයුත්තක්‌ වන්නේ රාජ්‍ය ණය කළමනාකරණයයි. මුදල් නීති පනතේ 113 වගන්තියට අනුව රාජ්‍ය ණය කළමනාකරණය හා සම්බන්ධ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, රජය වෙනුවෙන් ණය උපකරණ නිකුත් කිරීම සහ රජයේ දේශීය හා විදේශීය ණය සේවාකරණය සම්බන්ධ සියලු කටයුතු මෙහෙයවීම සිදු කරයි. මුදල් අමාත්‍යාංශය විසින් විදේශීය මූලාශ්‍ර වලින් ණය ලබා ගැනීම සම්බන්ධ කටයුතු මෙහෙයවනු ලැබේ. විචක්‌ෂණශීලී අවදානම් මට්‌ටමකට අනුරූපව අවම පිරිවැයක්‌ යටතේ රජයේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමත්, රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වැඩිදියුණු කිරීම හා ශක්‌තිමත් කිරීමත්, එහි කාර්යක්‌ෂමතාව වැඩි කිරීම හා ස්‌ර්ථායිතාව පවත්වාගෙන යාමත් රාජ්‍ය ණය කළමනාකරණයේ අරමුණු වේ. රාජ්‍ය ණය කළමනාකරණයේදී අනුගමනය කළ යුතු උපාය මාර්ගයන්, අරමුණු පිළිබඳව කිසියම් නීතියකින් පැහැදිලි ලෙස දක්‌වා නොමැති වුවද, රාජ්‍ය ණය කළමනාකරණය තුළින් පහත සඳහන් අරමුණු ඉටු කර ගැනීමට අදහස්‌ කරන බව පැහැදිලිය.

  1. දිගුකාලීන දෘෂ්ඨි කෝණයකින් බලන විට රාජ්‍ය ණය සඳහා වූ සෘජු හා වක්‍ර පිරිවැය අවම කිරීම.
  2. ණය සේවාකරණ පිරිවැයෙහි උච්ඡාවචනයන් මගහැරීම සහ එහි තුලිත ව්‍යාප්තියක්‌ සහතික කිරීම.
  3. ණය ගෙවීම් අධික ලෙස ඒකරාශී වීම වැලැක්‌වීම.
  4. ණය ප්‍රතිමූල්‍යකරණ අවදානම/නැවත නිකුත් කිරීමේ අවදානම අවම කිරීම.
  5. රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වයේ කාර්යක්‌ෂමතාව ප්‍රවර්ධනය කිරීම.
  6. රාජ්‍ය ණය සේවාකරණය 100% ක නිරවද්‍යතාවකින් යුක්‌තව නියමිත වේලාවට සිදු කිරීම.

මේ සඳහන් කළ කරුණු ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ ‘නියෝජිත කටයුතු’ යන ශීර්ෂය යටතේ රාජ්‍ය ණය කළමනාකරණය යන කොටසේ දක්‌වා තිබිණි. එහි සඳහන් වූ පරිදිම රාජ්‍ය ණය කළමනාකරණයේදී අනුගමනය කළ යුතු උපාය මාර්ග හා අරමුණු මොනවාද යන්න පැහැදිලිය. එය නීතියකින් දක්‌වා නොමැති වුවද මහ බැංකුව විසින් පිළිගත් එම උපායමාර්ග හා අරමුණු මොනවාද යන්න කාටත් පැහැදිලිය. මහ බැංකුව පිළිගත් එම උපාය මාර්ග හා අරමුණු තම වෙබ් අඩවිය මගින්ම ප්‍රසිද්ධියට පත්කර මහජනතාවට අනාවරණය කර තිබිණි. එසේ නම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජය වෙනුවෙන් ණය රැස්‌කිරීමේදී මේවා අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු බව පිළිගැනීමට සිදුවේ.

මෙහි පළමු කරුණ වන්නේ රාජ්‍ය ණය සඳහා Rජු හා වක්‍ර පිරිවැය අවම කිරීමට ක්‍රියා කළ යුතු බවයි. එහෙත් 2015.02.27 දින ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවේදී මෙන්ම 2016 මාර්තු 29 වැනිදා සිදු කළ බැඳුම්කර නිකුතුවේදී ද පොලී අනුපාත ඉහළ ගොස්‌ රජයට ගෙවීමට සිදු වූ පොලී පිරිවැය ඉහළ ගිය බව රහසක්‌ නොවේ. 2015 වසරේ නිකුතුවේදී බැඳුම්කර වටිනාකම මෙන් දස ගුණයක (රු. බිලියන 10 ක) වටිනාකමක්‌ දක්‌වා ලංසු පිළිගත්තේය. ඒ වැඩි වූ පොලී පිරිවැය ගෙවීමට සිදුවන්නේ මේ රටේ අතිමහත් බහුතර මහජනතාවටය. 2015 වසරේ දී සිදුවූ මහ බැංකුවේ මහ පරිමාණ බැඳුම්කර වංචාවෙන් පසුව ද තවත් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සිදු වූ බවත් එහිදී සිදුවූ පොලී අනුපාත ඉහළ යැම් හරහා මහජනතාවට අති විශාල පාඩුවක්‌ විඳීමට සිදුව ඇති බවත් මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් පෙන්වා දුන් කරුණකි. මේ බැඳුම්කර නිකුතුවලදී කෘත්‍රිම ලෙස පොලී අනුපාත ඉහළ නංවා මහ බැංකුව විසින් මුලින් ප්‍රසිද්ධ කළ වටිනාකම ඉක්‌මවා බැඳුම්කර ලංසු පිළිගැනීම නිසා මේ අක්‍රමිකතාව සිදු වූ බව ද ඔවුහු කීහ. මෙය හුදෙක්‌ම වෙළෙඳපොළ ක්‍රියාවලිය තුළ සිදුවූ පොලී අනුපාත තීරණය වීමක්‌ ලෙස පෙන්වා දෙමින් මුලදී මහ බැංකුව (එහි ඇතැම් නිලධාරීන්) විසින් මේ අක්‍රමිකතාව සාධාරණීය කිරීමට කටයුතු කළේය. එහෙත් මහ බැංකුවේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්‌ පසුව ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ දිවුරුම් පිට දුන් සාක්‌ෂි අනුව එය එසේ නොවන බව රටටම පැහැදිලි විය.

කාලයක්‌ තිස්‌සේම රටේම ඉමහත් අවධානයට ලක්‌ව ඇති බැඳුම්කර මගඩිය තවදුරටත් දේශපාලන චෝදනාවක්‌ නොව එය විගණකාධිපති වාර්තා, කෝප් වාර්තා සහ අවසාන වශයෙන් ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනකුගෙන් ද සමන්විත බැඳුම්කර මගඩි ජනාධිපති කොමිසමේ වාර්තාවලින් පවා තහවුරු වී ඇති දෙයකි. එදා කිසිදු වරදක්‌ වී නැති බව කියූ අය ද දැන් මෙහි වරදක්‌ වී ඇති බව පිළිගනී. එහෙත් අති මහත් බහුතර පොදු ජනතාව තුළ නම් මේ මගඩිය සම්බන්ධයෙන් පැහැදිලි විනිශ්චයක්‌ තිබේ. ඒ මහජන විනිශ්චයට අනුව ඔවුන්ට අවශ්‍ය කරන්නේ මීට වගකිවයුත්තන්ට දඬුවම් ලබාදී මහජනයාගෙන් කොල්ලකාගත් ධනය ඔවුන්ගෙන් නැවත ලබා ගැනීමයි. එසේ නම් මෙහි හොරා කවූද? මෙහි සිටින්නේ එක හොරෙක්‌ පමණක්‌ නොව හොරු රැලකි. හොරු නඩයකි. හොරකම Rජුවම කළ අය රකින දේශපාලන මහමොළකරුවන් ද මේ හොර නඩයේම කොටස්‌කරුවන්ය. මහජනයාගේ අපේක්‌ෂාව නම් මේ සියල්ලටම එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි. මේ අතර පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු පර්පෙචුවල් ට්‍රෂෙරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරු අත්අඩංගුවට ගත් බව අපි දනිමු, මෙතරම් කාලයක්‌ හරිහැටි නීතිය ක්‍රියාත්මක නොවී තිබුණු පසුබිමක්‌ තුළ ජනසමාජයේ ඇතැම් අය මේ අත්අඩංගුවට ගැනීම ගැන ද නොයෙක්‌ දේ කීහ. විවිධ අය විවිධ කතා කීවත් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන එක හොඳය. නීතිය ක්‍රියාත්මක වන්නේ දේශපාලන මහමොළකරුවන් නැතිව අනිත් අයට පමණද? ජනතාවට තිබෙන ප්‍රශ්නය එයයි. මේ සම්බන්ධයෙන් අපට කළ හැක්‌කේ ඉදිරි නීතිමය ක්‍රියාවලිය දෙස බලා සිටීමයි. නීතියෙන් මහජනයා අපේක්‌ෂා කරන පූර්ණ යුක්‌තිය ඉටු නොවුවත් මහජන අධිකරණයේ විනිශ්චයෙන් ගැලවෙන්නට කිසිවකුටත් නොහැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි. ඒ නිසා බැඳුම්කර මගඩියේ ඇතැම් වගකිවයුත්තන් ජනතා අධිකරණයෙන් දඬුවම් විඳීමට ද සූදානම් විය යුතුය. පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය එහි පියවරක්‌ පමණක්‌ විය හැකි බව ද අපි කියා සිටිමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත (මූලාශ්‍රය – දිවයින)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435