මාලේ හයිකාරයන්ට විකිණෙන අපේ රටේ කතුන්

* කාලයක්‌ ඉඳන් වෙන දෙයක්‌
* සමහරු ගියේ කැමැත්තෙන්
* කාන්තාවන් මාලදිවයිනට යවා ඇත්තේ  180,000 වැටුපක්‌ දෙන බවට පොරොන්දු පිට

ලාංකික කාන්තාවන් බොහෝ දෙනෙක්‌හට විදේශ ගතවීමේ වරම් හිමි වන්නේ නොරටුන්ට බැල මෙහෙවරකම් කිරීම පිණිසය. එය දශක කීපයක්‌ පුරා රටට ආවේණික පුරුද්දක්‌ වී ඇති අතර ඉන් මිදීම පිණිස නිසි ක්‍රියාමාර්ග ගැනීමට රටක්‌ ලෙස තවමත් අප අපොහොසත්ව ඇත. මේ වන විට එහිම දිගුවක්‌ ලෙස කලක පටන් මෙරට කාන්තාවන්ගේ “ඇඟමස” නොරටුන්ගේ කම්සැප පිණිස අලෙවි කරනු ලබන මිනිස්‌ ජාවාරමක්‌ සම්බන්ධ තොරතුරු වාර්තා වෙමින් පවතින අතර වාර්තා වී ඇති තොරතුරුවලට අනුව ජාවාරම සිදු වෙමින් පවතින්නේ මාලදිවයින මුල්කර ගනිමින්ය.

රැකියාවකට යෑවීමේ මුළාවෙන් මෙරට කාන්තාවක්‌ සල්ලාලයන්ගේ මනදොළ සැපිරීම පිණිස මාලදිවයිනට යෑවීමත් ඇය එම අවාසනාවන්ත ඉරණමින් මිදී නිදුකින් මෙරටට නැවත පැමිණීමත් සමඟ මෙතෙක්‌ කලක්‌ සිදු වෙමින් පැවති “නරුම” ගනුදෙනුවක්‌ පිළිබඳ කරුණු රටට අනාවරණය වන්නේ ඒ පිළිබඳ විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මියගේ සෘජු අවධානය යොමු වීමත් සමඟිනි.

ඉකුත් දිනක ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ නිලධාරියෙකුහට ලැබෙන කාන්තා දුරකථන ඇමතුමකින් කියෑවී ඇත්තේ ඇය රැකියාවක්‌ පිණිස තැරැව්කරුවෙකුගේ මාර්ගයෙන් මාලදිවයිනට ගිය බවත් තමන්ට එහිදී විඳීමට සිදුවූ අකරතැබ්බයක්‌ පිළිබඳවත් වූ තොරතුරු රැසක්‌ය. එය තරමක්‌ දිග හෙළිදරව්වක්‌ බැවින් වඩාත් නිවැරැදිව පැවසීමේ අරමුණින් මෙතැන් සිට සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු පෙළ ගස්‌වන්නේ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ අභ්‍යන්තර තොරතුරුවලින් හෙළිවූ කරුණු කාරණා මුල්කර ගනිමින්ය.

“මේ සිද්ධියට මුහුණ දුන්න කාන්තාව රැකියාවක්‌ පිණිස මාලදිවයිනට ගිහින් තියෙන්නේ මීට මාස දෙක තුනකට එපිට දවසක. බත්තරමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක්‌ තමයි මේ ගමනෙ අතරමැදිය විදියට කටයුතු කරල තියෙන්නෙ.

“වෙනත් පුද්ගලයකු හරහා සිදුවන හඳුනා ගැනීමක්‌ හරහා තමයි මේ කාන්තාව බත්තරමුල්ලෙ පුද්ගලයව හඳුනගෙන තිබෙන්නෙ. මෙයාව මාලදිවයිනට යවල තියෙන්නේ සැලුන් එකක රැකියාවක්‌ දෙන මුවාවෙන්. රුපියල් ලක්‌ෂ එකහමාරක පඩියක්‌ ගෙවන පොරොන්දුවට තමයි ඇය මාලදිවයිනට යන්නේ. නමුත් ඒ රටට ගියාට පස්‌සෙ තමයි මේ කාන්තාවට නොහිතපු සිදුවීමකට මුහුණ දෙන්න වෙන්නෙ. එහිදී ඇයට රැකියාව ලෙස තෝරගන්න වෙලා තිබෙන්නේ ඒ රටේ සල්ලිකාර සල්ලාලයන් සමඟ යහන්ගත වෙන එක. කොටින්ම කිව්වොත් ගණිකා වෘත්තියට තමයි ඇයව යොමුකරල තියෙන්නෙ. මේ කාන්තාව ඒකට අකමැති වෙනව. අන්තිමට එතැනින් පැනල යනව. ඒ ගිහින් නැවත ලංකාවට ඇවිත් තමයි ඇය අපට මේ පිළිබඳව විස්‌තර පැවසුවේ…”

ඇය විසින් පවසා සිටි විස්‌තරයට අනුව මෙම සිදුවීමේ සුලමුල සොයා ගැනීම පිsණිස නියුක්‌ති කාර්යාංශ නිලධාරීන් ක්‍රියාත්මකව ඇත්තේ ඉන් අනතුරුවය. ඒ සඳහා විදේශ සේවා නියුක්‌ති කාර්¨යාංශයට අනුයුක්‌ත පොලිස්‌ විශේෂ ඒකකයේ සහයද යොදා ගන්නා අතර විමර්ශන ආරම්භ වන්නේ එතැන් සිටය.

ජාවාරමේ සුලමුල හෙළිකර ගැනීම පිණිස එයට සම්බන්ධයක්‌ දක්‌වන කවුරුන් හෝ අත්අඩංගුවට ගත යුතුය. විමර්ශන නිලධාරීන් ඒ පිළිබඳ සැලකිලිමත් වීමේදී දුරකථන ඇමතුම ලබාදුන් කාන්තාව විසින් සඳහන් කර සිටි බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවා වෙත පොලිස්‌ ඇස යොමු වන්නේ කිසියම් හෝ තොරතුරක්‌ ඔහු ලවා ලබා ගැනීමේ අටියෙනි. විවිධ උපාය උපක්‍රම මගින් කාර්යාංශ නිලධාරීන් පළමුව සිදුකර ඇත්තේ ඔහු සමඟ මිත්‍රත්වයක්‌ ගොඩනඟා ගැනීමකි. ඒ සඳහා මාසයකට ආසන්න කාලයක්‌ ගතවී ඇති අතර එම කාලය අතරතුර විමර්ශන නිලධාරීන් සහ බත්තරමුල්ල පදිංචිකරුවා අතර දැඩි මිත්‍රත්වයක්‌ ඇතිවී තිබූ හෙයින් මෙහෙයුමේ ඊළඟ අදියර ක්‍රියාවට නංවන්නේ සැකකරුට කිසිම සැක සංකාවක්‌ නොහැඟෙන පරිද්දෙනි.

එහි ප්‍රතිඵලයක්‌ ලෙස දිනක්‌ විමර්ශන නිලධාරියෙක්‌ සැකකරු වෙත දුරකථන පණිවිඩයක්‌ ලබා දෙමින් පවසා ඇත්තේ තමන් දන්න හඳුනන කාන්තාවන් කීප දෙනෙක්‌ සිටින බවත්, හැකියාවක්‌ ඇත්නම් ඔවුන්ගෙන් කීප දෙනෙක්‌ විදේශ රැකියා සඳහා යොමුකර දෙන ලෙසත්ය. එයට පිළිතුරු ලෙස සැකකරු ප්‍රකාශ කර ඇත්තේ තමන් විදේශ රැකියා සඳහා යොමු කරන්නේ රූමත් තරුණියන් බැවින් පළමුව ඔවුන්ගේ ඡායාරූප “වයිබර්” මගින් තමන් වෙත ලැබෙන්න සලස්‌වන ලෙසය.

ඉතාමත් සූක්‍ෂම ලෙස සැකකරු කොටුකර ගැනීමේ මෙහෙයුමේ නිරත නිලධාරීන් ඒ සඳහා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සේවයේ නියුතු රූමත් නිලධාරිනියකගේ ඡායාරූපයක්‌ “වයිබර්” තාක්‍ෂණය ඔස්‌සේ සැකකරු වෙත ලැබෙන්නට සලස්‌වන්නේ ඉන් අනතුරුවය. එම ඡායාරූපය දකින සැකකරු එය සෑහීමකට පත්විය හැකි රූපයක්‌ බවත් එම තරුණිය සමඟ සම්මුඛ සාකච්ඡාවක්‌ පැවැත්විය යුතු බවත් තැරැව්කරුවකුගේ චරිතය රඟදක්‌වන මෙහෙයුමට සම්බන්ධ නිලධාරිවරයාට දැනුම් දෙන අතර ඒ සඳහා දිනයක්‌ සහ ස්‌ථානයක්‌ පිළිබඳවද කතාබහ කරගන්නේය.

ඒ වන විට මෙරට කාන්තාවන් ගණිකා වෘත්තිය සඳහා මාලදිවයිනට පිටත් කොට හරින මිනිස්‌ ජාවාරමේ ප්‍රධාන සැකකරුවකු ලෙස පූර්ව නිගමනවලට ලක්‌ව සිටි බත්තරමුල්ල පදිංචිකරු උපාය දූතිකාවක්‌ ලෙස රඟපෑමේ යෙදෙන කාර්යාංශ නිලධාරිනියව මුණගැසෙන දිනය උදා වන්නේ ඉන් අනතුරුවය.

කථිකා කරගත් පරිදි බත්තරමුල්ල දියත උයනට පැමිණෙන විමර්ශන නිලධාරීන් වෙනත් ස්‌ථානයකත්, උපාය දූතිකාව තවත් තැනකත් රැඳී සිට ඇත්තේ කුමන මොහොතක හෝ සිදුවන සැකකරුගේ පැමිණීම බලාපොරොත්තු වෙනි. මේ අතර වරින් වර දුරකථනය මගින් උපාය දූතිකාව අමතා ඇති සැකකරු පවසා ඇත්තේ ඇයට ලක්‌ෂ එකහමාරකට අධික වැටුපක්‌ හිමිවන බවත් ඒ සඳහා කළ යුත්තේ ඉසුරුමත් මාලදිවයින් ජාතිකයන් සමඟ යහන්ගත වීම පමණක්‌ බවත්ය.

රාත්‍රී 7.30 ට ආසන්න වීමත් සමඟ බත්තරමුල්ල දියත උයන වෙත සැප රියකින් පැමිණ ඇති සැකකරු උපාය දූතිකාව සහ තැරැව්කරු ලෙස රඟපාන නිලධාරීන් සමඟ කතාබස්‌ කිරීමෙන් අනතුරුව පවසා ඇත්තේ මඳක්‌ රෑ බෝවූ පසු මධු පානය කිරීම පිණිස වෙනත් ස්‌ථානයක පිහිටි අවන්හලක්‌ වෙත පැමිණෙන ලෙසය. මේ වන විට මාලදිවයිනට ගොස්‌ නිරත විය යුතු රැකියාව පිළිබඳවත්, ඒ සඳහා ලැබෙන වැටුප පිළිබඳවත් උපාය දූතිය සමඟ මුහුණට මුහුණ කතා කොට ඇති සැකකරු ඉන් අනතුරුව ඇයගේ විදේශ ගමන් බලපත්‍රය පරීක්‍ෂා කරන අතරතුර ඔහුට මුහුණදීමට සිදුව ඇත්තේ කිසිසේත් අපේක්‍ෂා නොකළ සිදුවීමකටය.

එතෙක්‌ වෙලා රැකවල් යොදා කුරුමානම ඉව කරමින් සිටි මෙහෙයුමට සම්බන්ධ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට කිසිවක්‌ සිතා ගැනීමටවත් නොහැකි පරිද්දෙන්ය. ඉන් අනතුරුව සැකකරුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ වී ඇති අතර එහිදී විමර්ශන නිලධාරීන්හට වැදගත් තොරතුරු රැසක්‌ දැන ගන්නට හැකිවී ඇත. එතැන් සිට සැකකරු විසින් එතෙක්‌ දිනක්‌ කරගෙන ආ මාලදිවයිනට ලාංකික කතුන් විකිණීමේ මිනිස්‌ ජාවාරම පිළිබඳ තොරතුරු එකක්‌ නෑර ප්‍රකාශ කර ඇත්තේ නීතියෙන් බේරී පලායැමට අන් මඟක්‌ නොවූ තැනය.

ඔහුගෙන් ලබාගත් තොරතුරු ඔස්‌සේ විමර්ශන නිලධාරින් ඉන් අනතුරුව පිටත්ව ගොස්‌ ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි රොබට්‌ ගුණවර්ධන මාවතේ පිහිටි ලැගුම් හලක්‌ පරීක්‍ෂා කිරීම පිණිසය. විමර්ශන නිලධාරීන් එහි කඩා පැනීමත් සමඟ ලැගුම්හලේ උන් එක්‌ කාන්තාවක්‌ පලාගොස්‌ ඇති අතර ලැගුම්හල් හිමිකරු පමණක්‌ අත්අඩංගුවට පත්වී ඇත. තවදුරටත් ලැගුම්හල පරීක්‍ෂා කිරීමේදී එහි තිබී සුරූපී කාන්තා ඡායාරූප රැසකුත්, ගුවන් ගමන් බලපත්‍ර කීපයකුත් විමර්ශන නිලධාරීන් විසින් සොයා ගන්නා අතර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ඇරැඹෙන්නේ ඉන් අනතුරුවය. එහිදී හෙළිවී ඇත්තේ මෙම ජාවාරමට සම්බන්ධ බංගලිදේශ ජාතිකයෙක්‌ද මෙරට ඇති බවත්, මෙරටින් පිටත්කොට හරින කාන්තාවන් එරට ප්‍රභූ පැළැන්තියට අලෙවි කිරීම සිදුවන්නේ ඔහුගේ මැදිහත් වීම මත බවත්ය.

තවදුරටත් සැකකරුවන් විසින් ප්‍රකාශ කර ඇති කාරණාවලට අනුව මෙතෙක්‌ දිනක්‌ ඔවුන් මෙම ජාවාරම සිදුකර ඇත්තේ සංචාරක වීසා මත මෙරට කාන්තාවන් මාලදිවයිනට පිටත්කොට යෑවීමෙන්ය. එහිදී ගුවන් තොටුපළ නිලධාරීන් පවා නොමඟ යවමින් එම කාන්තාවන් පිටත්කොට යවා ඇත්තේ අඹු සැමියන් යෑයි පවසමින් පිටස්‌තර පිරිමි පුද්ගලයන් සමඟය. තවත් විටෙක තමන් විවාහ කර ගැනීමට නියමිත කාන්තාව යෑයි පවසමින් පිටත්ව ගිය අවස්‌ථාවන්ද තිබී ඇත. ආරම්භයේදී මෙම ජාවාරමට ගොදුරුවූ කාන්තාවන්ට වෙනත් රැකියා ලබාදෙන බවට පොරොන්දු වී ගොස්‌ මාලදිවයිනට ගිය පසුව ඔවුන්ව සළෙළුන්ට අලෙවි කර ඇති අතර කල්යත්ම සත්‍ය තත්ත්වය පවසා මෙරට කාන්තාවන් එහි රැගෙන ගොස්‌ ඇත්තේ එයට එකඟ වන කාන්තාවන්ගේ කැමැත්ත පරිදිය.

විශේෂයෙන් මෙම ජාවාරමේ ගොදුරු බවට පත්ව ඇත්තේ ඈත පිටිසර ගම්වලින් රැකියාව පිණිස කොළඹ පැමිණි කාන්තාවන් වන අතර ඔවුන් මෙහිදී ඇතැමෙකුගේ කෙළිබඩු බවට පත්ව ජීවිතය වරද්දාගත් තැනැත්තියන්ය. මේ වන විට හෙළිවී ඇති තොරතුරුවලින් අනාවරණය වී ඇත්තේ සැකකරුවන් විසින් මේ වන විට මෙරට කාන්තාවන් 100 ක්‌ පමණ මෙලෙස මාලදිවයිනට පිටත්කොට යවා ඇති බවය.

විදේශ රැකියා පිළිබඳ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මියගේ සෘජු මැදිහත්වීම මත නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (නීති) කීර්ති මුතුකුමාරණ මහතාගේ උපදෙස්‌ පිට අමාත්‍යාංශ මාධ්‍ය ඒකකයේ මාධ්‍ය ලේකම් නලින් රාජපක්‌ෂ මහතා ඇතුළු කාර්යාංශ නිලධාරීන් පිරිසක්‌ සමඟින් එක්‌ව මෙම මෙහෙයුම සිදුකොට ඇත්තේ කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක අර්ජුන මාහින්කන්ද මහතාගේ උපදෙස්‌ පිට පොලිස්‌ පරීක්‍ෂක එස්‌. ඡේ. අබේධීර, උ.පො.ප. මංජුල ජයවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ විසින්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය 21 දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකොට ඇත. මේ වන විට ජාවාරමට සම්බන්ධ බංග්ලාදේශ ජාතිකයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් සිදුකරන අතර ඔහු අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම මිනිස්‌ ජාවාරමට සම්බන්ධ තවත් තොරතුරු රැසක්‌ හෙළිකර ගැනීමට පොලිසියට හැකිවනු ඇත.

රුවන් ජයවර්ධන

මූලාශ්‍රය – ඉරිදා දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435