මැතිවරණ රාජකාරි කළ අධ්‍යාපන සේවකයන්ගේ දීමනා තවමත් නැහැ

01 ජුලි 2014 – wedabima.lk

 

පසුගිය දකුණු පළාත් සභා මැතිවරණයේ මැතිවරණ රාජකාරිවල නියළුණු අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු කරන දකුණු පළාතේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල මැතිවරණ රාජකාරි දීමනා මෙතෙක් ලබාදී නොමැති බව පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය පවසයි.

 

දකුණු පළාත් සභා මැතිවරණයේ රාජකාරිවල නිරත වූ අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් නොවන බොහෝ නිලධාරීන්ට මැතිවරණ රාජකාරි දීමනා ලැබී තිබියදී ජේ‍යෂ්ඨ ඡන්ද ස්ථානාධිපති, කනිෂ්ඨ ඡන්ද ස්ථානාධිපති, ඡන්ද ලිපිකරුවන්, ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරි, ඡන්ද ගණන් කිරීමේ නිලධාරී ආදී වගකීමක් සහිත රාජකාරිවල නිරත වූ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අදාළ නිලධාරීන්ගේ පමණක් දීමනා මෙතෙක් ලබාදී නැත්තේ ඇයි දැයි පොදු ගුරු සංගමය බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටී.

 

දකුණු පළාත් සභා මැතිවරණ පවත්වා මාස තුනකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇතත් දකුණු පළාතේ කලාප කාර්යාල එකොළහ තුළම මැතිවරණ රාජකාරි දීමනා මෙතෙක් ලබාදී නොමැත්තේ කලාප කාර්යාලවලට. එම මුදල් මෙතෙක් නොලැබීම නිසාද එසේ නොමැති නම් ලැබුණ මුදල් වෙනත් කටයුතුවලට යොදවා තිබීම නිසාද යන්න පිළිබඳ දකුණු පළාතේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නිරත නිලධාරීන්ට සැකයක් මතුව ඇති බවද පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති ඥානරත්න වීරකෝන් මහතා ‘මව්බිම’ට අදහස් දක්වමින් මෙසේද පැවැසීය.

 

මාර්තු 29 වැනිදා තමයි දකුණු පළාත් සභා මැතිවරණය පැවැත්වුණේ. මේ වන විට මැතිවරණය පවත්වලා මාස 03කට ආසන්නයි. නමුත් මෙතෙක් එම රාජකාරියට අදාළ ගෙවීම් පවා දීලා නැහැ. මේ සම්බන්ධයෙන් අදාළ රාජකාරියේ නිරත වූ නිලධාරීන් කලාප කාර්යාලවලින් විමසූ විට මෙතෙක් මුදල් ලැබී නොමැති බව තමයි පවසන්නේ. දකුණු පළාතේ කලාප කාර්යාල එකොළහේම තත්ත්වය මෙහෙමයි. නමුත් අපට සැකයක් තිබෙනවා මේ මුදල් කලාප කාර්යාලවලින් වෙනත් ගෙවීම් සඳහා යොදවා තිබේදැයි කියලා.

 

ඒ වගේම අනෙකුත් ක්‍ෂේත්‍රයන්ට අදාළව මැතිවරණ රාජකාරිවල නිරත වූ නිලධාරීන්ට අදාළ ගෙවීම් ගෙවා තිබියදී අධ්‍යාපන ක්‍ෂේත්‍රයට පමණක් මෙම මුදල් නොගෙවීම සම්බන්ධව වගකිව යුතු වන්නේ දකුණු පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රයට වගකිවයුතු දුර්වල පරිපාලනය හා එම පරිපාලනයට අදාළ නිලධාරීන්ය. ඒ නිලධාරීන් වහාම උනන්දු වෙලා මෙම ලබාගෙන විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු අනෙකුත් නිලධාරීන්ට ගෙවිය යුතු වෙනවා.

 

මේ සම්බන්ධයෙන් අපි මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ රෝහණ නානායක්කාර මහතාගෙන් කළ විමසීමේදී එතුමන් ප්‍රකාශ කෙළේ මැතිවරණ රාජකාරිවලින් මුදල් ඉල්ලා ඇතත් මෙතෙක් එම මුදල් නොලැබුණ බවත් මුදල් ලැබුණු වහාම අදාළ ගෙවීම් ඉතා ඉක්මනින්ම සිදු කිරීමට සූදානමින් පවතින බවයි.

 

මූලාශ්‍රය – මව්බිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435