මැදපෙරදිග අපේ ශ්‍රමිකයින්ට කුමක් සිදුවෙයිද?

අමෙරිකානු මැදිහත්වීම් හා ගල්ෆ් කලාපීය නොසන්සුන්තාවන් මැදපෙරදිග වාසය කරනු ලබන ශ්‍රී ලාංකේය සංක්‍රමණික ජනයා කෙරෙහි කෙසේ බලපානු ඇත්දැයි රජයේ අවධානය යොමුවිය යුතුය.  එය ශ්‍රී ලාංකිකයින් පමණක් නොව පොදුවේ එම කලාපයේ සේවය කරනු ලබන සියලුම සංක්‍රමණික ජනයාට එය අදාළය.  රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත්වීම් කළ හැක්කේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් වෙනුවෙන් පමණක් වන්නේ නම් ඒ සඳහා මේවන විට ගෙන ඇත්තේ කුමන ක්‍රියාමාර්ග දැයි අවධානයට ලක්විය යුතුය. එහෙත් තෙවන ලෝක යුද්ධයක මුව විට සිටින අවස්ථාවක වුවද, ලාංකේය සමාජය පවතින්නේ රහස් හඬපට වලට සවන්දීමෙන් ලද උද්දාමයෙනි. සිදුවිය හැකි මහා අනතුර වෙනුවෙන් පෙර සූදානමක් නැති තරම්ය.

කෙසේ වෙතත් ජනවාරි 6 වෙනි දින ශ්‍රී ලංකා විදෙස් අමාත්‍යාංශය විසින් පණිවිඩයක් නිකුත් කර තිබිණි.  “ඉරාන නායකයෙකු මරා දැමීමත් සමඟ මැද පෙරදිග ඇති වූ උණුසුම් තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි අවධානය යොමු වී තිබෙන“ බැව් එහි දැක්විණි. අනෙක් අතට  “මෙම සිදුවීම්වලට සම්බන්ධ සියලු පාර්ශව ඉතා ඉවසීමෙන් කටයුතු කර සාකච්ඡා මඟින් ගැටලු නිරාකරණය කරගෙන කලාපයේ සාමය සහ ආරක්ෂාව රැක ගන්න යැයි ඉල්ලීමක් කරන“ බැව්ද එහි වැඩිදුරටත් දැක්විණි. එසේම පර්සියානු ගල්ෆ් කලාපය තුළ මේ වන විට පවතින නොසන්සුන් තත්ත්වය හේතුවෙන් කොළඹ – ලන්ඩන් – කොළඹ ගුවන් මාර්ගයේ වෙනසක් සිදු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය බදාදා (ජනවාරි 08) නිවේදනය කරන ලදී.

ඒ අනුව ආරක්ෂක පියවරක් ලෙස, වහාම ක්‍රියාත්මක වන පරිදි ඉරානය සහ ඉරාකයට අයත් ගුවන් කලාපය මඟ හරිනු ඇත. එය වැදගත් තීරණයක් ලෙස අගය කළ හැකිය. එහෙත් එමගින් පමණක් සෑහීමකට පත්විය හැකි නොවේ. එම කලාපයේ සේවය කරන ලබන පිරිස්වලට ස්වකීය ආරක්ෂාව පිළිබඳ නිසි තක්සේරුවක් ඇත්දැයි සොයා බැලිය යුතුය.

“අපිට ලොකු ප්‍රශ්නයක් දැනෙන්නේ නැහැ. නමුත්, ගල්ෆ් කලාපයේ යුද්ධයක් පටන් ගනී කියලා ලොකු බයක් තියෙනවා. එහෙම වුණොත් අමාරුවෙන් සොයා ගත්ත මේ රස්සාව පවා නැති වෙන්න පුළුවන්. එය අවසානයේ බලපාන්නේ දුප්පත් අපේ පවුලේ ආර්ථිකයට,” සෞදි අරාබියේ රෝහලක හෙද සේවයේ නියුතු පුෂ්පා බණ්ඩාර නමැති අය බී.බී.සී පුවත් සේවයට පවසා තිබිණි.

“ඒ කලාපයේ රටක රැකියාව කරන නිසා මේ ඇතිවෙලා තිබෙන තත්ත්වය ගැන අදහස් ප්‍රකාශ කරන්න මට බයක් තිබෙනවා. කොහොමත් යුද්ධයක් නම් එපා” යැයි කටාර්හි කාර්මික ශිල්පියෙකු ලෙස රැකියාව කරන නම හෙළි කිරීමට අකමැති ශ්‍රී ලාංකිකයෙකු බීබීසී සේවයට පවසා තිබේ.

මේ අතර මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

පවතින තත්ත්වය හමුවේ සෞදි අරාබියේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින් සුපරීක්ෂාකාරී විය යුතු බව රියාද් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දැනුම්දීම වී තිබේ.ජනතාව බහුලව රැස්වන ස්ථාන මඟහරින ලෙස සහ අනවශ්‍ය ගමන් බිමන්වල නොයෙදෙන ලෙස ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇති තානාපති කාර්යාලය, විදෙස් ගමන් බලපත්‍රය සැමවිටම සූදානම් කර තමා සතුව තබාගත යුතු බව ද සිය නිවේදනයෙන් සඳහන් කර ඇත. නිවේදනවලට සීමා නොවී පවත්නා නොසන්සුන්තාව වර්ධනය වුවහොත් ජනතාය ආරක්ෂා කර ගැනීම සඳහා කුමන පියවර ගත හැකිදැයි අදාළ රාජ්‍යයන් සමග වහාම සාකච්ඡා කළ යුතුව ඇතත් තවමත් එවැනි සූදානමක් දකින්නට නොවීම කනගාටුදායකය.

කෙසේ වෙතත් එක් අතකට අවදානම ඇත්තේ ගල්ෆ් කලාපය තුළ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට පමණක් නොවේ. එය මෙරට සිටින අපටද වලංගුය. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකා එක්සත් ජනපදය මෙන්ම ඉරානය සමගද සමීප සබඳතා පවත්වනු ලබයි. ශ්‍රී ලංකාව යම් ආකාරයකට කලාපයේ යුද මධ්‍යස්ථානයක් ලෙස වඩා ප්‍රයෝජනවත් ස්ථානයක පිහිටා තිබේ. එක් අතකට සෝෆා, ඇක්සා ආදී ගිවිසුම් තුළින් අමෙරිකානු හමුදාවන්ට අවශ්‍ය වුවහොත් අප රටේ භූමිය පරිහරණය කිරීමට, යුද තොරතුරු හුවමාරුවට, යුද අභ්‍යාසයන්ට ඉඩදී තිබේ. මේවන විටත් අමෙරිකානු ප්‍රහාරක යානා දියාගෝගාසියාවේ ස්ථාන ගත කර ඇති අතර ඇතැම් යුද නැව් ඉන්දු-ලංකා මුහුදු තීරයට සමීපවෙමින් සිටින බවද වාර්තා වේ. එහෙත් තත්ත්වයක කුමකින් කුමක් වේදැයි අනැවැකි පළකිරීම අසීරු නමුත් ඕනෑම අවස්ථාවකට මුහුණදීමට පූර්ව සූදානමක සිටීම වැදගත් බව පමණක් කිව හැකිය.

පී. ඩබ්. මුතුකුඩආරච්චි – වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435