මැදපෙරදිග ගිහින් අපා දුක් විඳි කාන්තාවෝ සිදුවූ හිරිහැර පිළිබඳව තොරතුරු හෙළි කරති

මැදපෙරදිග ගිහින් අපා දුක් විඳි කාන්තාවෝ සිදුවූ හිරිහැර පිළිබඳව තොරතුරු හෙළි කරති – විදේශ සේවා කාර්යාංශයේ නිලධාරීන්ගේ බාධා කිරීම් මැද

“ගෙවල් තුනක හිටිය 21 දෙනකුගෙ වැඩ කරන්න මට සිද්ධ වුණා. ඒ අතරේ ලෙඩ්ඩු දෙනෙක්ව බලාගත්තා. කොයි වෙලාවෙත් මට ගහනවා. කොනිත්තනවා. මම වින්දේ අපා දුකක්.”

මැදපෙරදිග රටවල රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක් වූ 80 දෙනකුට වැඩි ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ ඉකුත්දා (19දා) ආපසු කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට පැමිණියහ. කුවේට් සිට 28 දෙනකුද, සෞදි අරාබියෙන් 25 දෙනකුද, එමීර් රාජ්‍යයේ සිට 15 දෙනකුද, දෝහාකටාර් සහ ජෝර්දාන් සිට 12 දෙනකුද පැමිණි පිරිසට අයත්ය. අවුරුදු, මාස ගණනින් කළ සේවයට වැටුප් නොලැබූවන්ද, ඒජන්සිකරුවන්ගේ හා නිවෙස් හිමියන්ගේ පහර දීම්වලට ලක්වූවෝද ඒ අතර වූහ. පැමිණි වැඩි පිරිස කාන්තාවෝය. කුවේට් සිට පැමිණි පුණ්ඩලුඔය සෙල්ලයියා ලෙච්චමී මහත්මිය තමන් මුහුණ දුන් ප්‍රශ්න පිළිබඳ ‘මව්බිම’ට විස්තර කරමින් එසේ කීවාය.

ලෙච්චමී මහත්මිය මෙසේද කීවාය,

“මම පසුගිය ජනවාරි 8 වැනිදා සංචාරක වීසාවලින් කුවේට් රටට ගියා. එක ළඟ තියෙන නෑදෑ ගෙවල් තුනක වැඩ කරන්න සිද්ධ වුණා. සුළු අත්වැරැද්දක් වුණත් මට ගැහුවා. හරියකට කෑම බීම පවා දුන්නේ නෑ. ලෙඩ්ඩු දෙන්නකුව බලා ගත්තා. එක් අයෙක් මානසික රෝගියෙක්. මට ගෙදර අය කරපු හිරිහැර ඉවසන්න බැරිම තැන ගෙදරින් පැනලා තානාපති කාර්යාලයට ගියා.”

මෙම කාන්තාවගෙන් තවදුරටත් තොරතුරු ලබා ගනිමින් සිටියදී, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙක් හා නිලධාරිනියක් දිගින් දිගටම බාධා කර එය වැළැක්වූහ.

මැදපෙරදිග රටවල රැකියා සඳහා ගොස්, අසරණව ආපසු එන ශ්‍රමිකයන් පිළිබඳ එම කාර්යාංශය දක්වන අඩු සැලකිල්ල පිළිබඳව ‘මව්බිම’ වරින්වර වාර්තා කර තිබිණි.

මූලාශ්‍රය – මව්බිම

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435