මැයි දිනය සමරන්න අද කම්කරු පන්තියක් නෑ..?

අනුරුද්ධ ප්‍රදීප් කර්නසුරිය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

* මෙවර මැයි දිනය හමුවේ කම්කරු පන්තිය මුහුණ දී ඇති අභියෝගය කුමක්ද ?

මැයි දිනය ලෝකය පුරාම දෙවිදීයකට සැමරෙනවා. 19 වන සියවසේ අගභාගයෙන් පසු ඇතිවු වර්ධනයන් සමග කම්කරුවා එහෙමත් නැත්නම් කර්මාන්ත ආශ්‍රිත වැඩකරන ජනයා කෙරෙහි අවධානය යොමුකරන එක එකක්. ඒ කියන්නේ කම්කරු අයිතිවාසිකම් ගැන අරගල කරන අර්ථයෙන් කරන මැයි දිනය. ඒත් ලංකාව වගේ රටවල තියෙන්නේ දේශපාලන පක්ෂවල බලය මුල්කරගත්තු සැමරීම්. මේක සෘජුවම වැඩකරන පංතිය හෝ කම්කරු ජනයා සම්බන්ධයෙන් අදාළ නෑ. තමන්ට කොතරම් මහජන අවකාශයක් තියෙනවද කියන එක ප්‍රදර්ශනාත්මක පෙන්වන තැනක්. මාක්ස්වාදය පදනම් කරගන්නා බව කියන සංවිධාන පවා පක්ෂයේ ශක්තිය වර්ධනය වීම පෙන්නුම් කිරීමට මිසක් කම්කරු අයිතීන් ගැන අවධානයෙන් මැයි දින රැළි හෝ පෙළපාලි යන බවක් පේන්න නෑ. කවුරු හරි මේක එතෙන්ට ගන්න හිතනවානම් ඒක අභියෝගයක්.

 * ඔබ නියෝජනය කරන සාමාජිකත්වයට මෙම අභියෝගය බලපා ඇත්තේ කුමන ආකාරයටද?

මං නියෝජනය කරන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාව. ඒ වගේම අනෙක් වෘත්තීය සමිතිත් මං වගේම කාණ්ඩයක් තමා නියෝජනය කරන්නේ. එහෙත් කම්කරු පංතිය කියන එකයි, වෘත්තීය සමිතිවල ඉල්ලීම් කියන එකයි ගැටෙන ස්වරූපයක් තියෙනවා. අපේ ආචාර්යවරු වුණත් තමන්ට විශේෂිතවූ ඉල්ලීම් දිනාගන්නයි අරගල කළේ. තමන්ගෙ තත්ත්වය අනික් අයට සාපේක්ෂව ඉහළ නංවා ගැනීමටයි වෘත්තීය සමිති ක්‍රියා කරන්නේ. ඒත් මැයි දින අරුත ගත්තොත් ඒකෙ තියෙන්නෙ සමස්ත කම්කරු පංතිය ගැනයි. ඒ නිසා මේ දෙක අතර ගැටුමක් තියෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ වරාය, විදුලිබල මණ්ඩලය, මහබැංකුව වගේ වරප්‍රසාද ආයතන තියෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ රියදුරෙක් ඉන්නවනම් ඒ කෙනෙකුගෙ මූලික වැටුප දල වශයෙන් 75,000-80,000ක් වෙනවා. ඒ පාරවල්වලම ඒ වාහනයම ධාවනය කරන තැපැල් දෙපාර්තමේන්තුවේ රියදුරෙක් සිටීනම් ඔහුගේ වැටුප රු. 25,000ක් විතර වෙන්න පුළුවන්. මේ පරතරය අවුලක්. ඒ නිසා විදුලිබල මණ්ඩලයේ රියදුරන්ගේ වෘත්තීය සමිතියක් තිබුණොත් එයාලට පොදුවේ රියදුරන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න හෝ අරගල කරන්න ගියොත් තමන්නගේ වැටුප හෝ පරප්‍රසාද කප්පාදු කරගන්න වෙන්න පුළුවන්. ඒක කරන්න වෘත්තීය සමිති නායකයින් හෝ ක්‍රියාධරයින් කිසිසේත්ම සූදානම් නෑ.

* අපේ රටේ වෘත්තීය සමිති ගැන ඔබේ තක්සේරුව කුමක්ද?

මුලින් කීවා වගේ ඒ ඒ අයට තියෙන්නේ ඒ ඒ වෘත්තීය තත්ත්වයන් හා වරප්‍රසාද මත බැඳුණු න්‍යායපත්‍රයන්. පොදු ඒකක් නෑ. ඒහෙම ඒකකට යන්නත් බෑ.

 * කම්කරු පන්තියට ඇත්තටම මැයි දිනය සැමරීමේ අවශ්‍යතාවයක් තිබෙනවාද ?

අද වන විට පැරණි අර්ථයෙන් එහෙමත් නැත්නම් මාක්ස්වාදී අර්ථයෙන් කම්කරු පංතියක් නෑ . ඒක ගැන විවාදයක් නෑ. මිනිසුන් තමාව ඒ ප්‍රාග්ධන සම්බන්ධතාව තුළ හඳුනාගන්නෙ නෑ. කම්කරුවෝ ඉන්න පුළුවන්. ඒත් කම්කරු පංතියක් නෑ. කම්කරුවෝ හිටියට ඔවුන් පංතිමය හැඟීමකින් ඒකරාශී වී නෑ කියන ඒකයි එකේ තේරුම.

 * මෙවර සමරන්න හදන්නෙත් තවත් එක සාම්ප්‍රදායික මැයි දිනයක්ද?

මැයි දිනයට වැදගත්කමක් එකතු වන්නේ දේශපාලන පෙරළියකට රට යනවානම් වෙන්වෙලා සිටින බලවේගවල සාපේක්ෂ ශක්තිය උරගා බැලීෙම් අර්ථෙයන් විතරයි. උදාහරණයක් විදිහට මං විශ්වාස කරන විදිහට 1993 මැයි දිනය තීරණාත්මකයි. ඒ් ලලිත් අැතුලත්මුදලි මිය ගිහින් ඒ වෛරය සමග බද්දවුණු මිනිස්සු ඒකරාශීවූ මැයි දිනයක්. ආවාසනාවකට ඒකෙදි හිටපු ජනාධිපතිවරයාත් මිය ගියා. ඒ සිදුවීම අතෑරියත් ඒ්ක රාජ්‍ය බලයට සෘජුව අභියෝග කළ මැයි දිනයක් . අද සිටින වාමාංශික පක්ෂ පවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නැතිනම් ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නවා. ඒක පිළිගන්නා විට මැතිවරණවලට තරඟ කරන විට බලය පෙන්වීමට මේක අදාළ කරගත යුතු වෙනවා.

* මෙවර මැයි දිනය හරහා ඔබ ඔබේ සාමාජිකත්වයටත් සමස්ත වැඩකරන පන්තියටත් ලබා දෙන්න උත්සාහකරන පණිවුඩය කුමක්ද?

කොහොමත් තියෙන්නේ හයිය පෙන්නන වැඩක් නිසා හයිය පෙන්නන්න  කියන එකයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. nissanka says:

    සුළු ධනේශ්වරයට marx නිවැරදි අර්ථ නිරුපනයක් දුන්නේ නැහැ

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435