මැයි දිනය සහ අද ලෝකය – ආචාර්ය ටෙරන්ස් පුරසිංහ

මැයි දිනය හෙවත් ජාත්‍යන්තර කම්කරු දිනය සකල දේශ වාසී නිර්ධන පන්තිය විසින් සමරනු ලබන්නේ, 1886 මැයි මස පළවෙනි දින ඇමෙරිකා එක්සත් ජකපදයේ චිකාගෝ නගරයේ හේමාර්කට් චතුරශ‍්‍රයේදී පැය අටේ වැඩ දිනය පිළිබඳ අයිතිය ඉල්ලා පවත්වනලද කම්කරු පෙළපාලියකට එල්ල වූ පොලිස් වෙඩි පහරින් මියගිය සහ තුවාල ලැබූ සටන්කාමී කම්කරුවන් සිහිපත් කිරීම සඳහාය.

චිකාගෝ සිද්ධියට පෙර මෙන්ම ඉන් පසුවත්, වර්තමානයේ මෙන්ම අනාගතයේදීත් වැඩ කරන ජනතාවගේ අරගලය අඛණ්ඩව ක‍්‍රියාත්මක වීමේ යථාර්තය හඳුනාගත හැකිවන අතර, ශ‍්‍රම සූරාකෑමට එරෙහි වීම එම අරගලයේ පදනම වේ. ශ‍්‍රම සූරාකෑම පිළිබඳ සංකල්පය ඉදිරිපත් වූයේ මාක්ස්වාදය ඇසුරිනි. එය මාක්ස්වාදයේ මූලික සංකල්පයක් ලෙස හැදින්වීමෙහි වරදක් නොමැත. එහෙයින් 19 වෙනි ශතවර්ශය අගභාගයේ පටන් මාක්ස්වාදය ලෝක නිර්ධන පන්ති ව්‍යාපාරයෙහි ප‍්‍රධාන දේශපාලන මතවාදය බවට පත්විය.

අන්තර්ජාතික නිර්ධන පන්ති ව්‍යාපාරය විසින් අත්පත් කරගනු ලැබූ අග‍්‍රගන්‍ය ඓතිහාසික ජයග‍්‍රහණය වූයේ 1917 රුසියානු බෝල්ෂේවික් විප්ලවය තුළින් ලොව ප‍්‍රථම කම්කරු රාජ්‍ය බිහිවීමයි. එතැන් පටන් 1970 දශකය නිමවන තෙක්  ලෝක සමාජවාදී රාජ්‍ය පද්ධතිය ව්‍යාප්ත වීම හේතු කොට ගෙන මාක්ස්වාදය සමාජ-දේශපාලන මතවාදයක් වශයෙන් අන්තර්ජාතික නිර්ධන පන්ති ව්‍යාරයෙහි අධිපතිවාදී මතවාදය බවට පත් වී තිබුණි.

එහෙත් 1990 දශකය ආරම්භවන විට සෝවියට් සංගමය ප‍්‍රමුඛ නැගෙනහිර යුරෝපීය සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිඳ වැටීමත් සමග ගෝලීය ධනවාදය වර්ධනය වීමෙන් මාක්ස්වාදය පරයා නව ලිබරල්වාදය මතවාදී තලයේ ප‍්‍රමුඛත්වයට පත් වීමට පටන් ගැනුණි. එමගින් අන්තර්ජාතික නිර්ධන පන්ති ව්‍යාරයේ ශක්තිය ක‍්‍රමානුකූලව දුර්වල වී ගියේය. එසේ වුවද ධනේෂ්වර සමාජ ක‍්‍රමයෙහි පැවැත්ම අඛණ්ඩවම ශ‍්‍රම සූරාකෑම මත තීරණය වී තිබේ.

එහෙත් අන්තර් ජාතික නිර්ධන පන්ති ව්‍යාපාරය විප්ලවවාදී ගමන් මාර්ගයෙන් වියෝ වී ප‍්‍රතිසංස්කරණවාදී හා ජාතිකවාදී දිශාවකට නැඹුරු වී තිබේ. එම ප‍්‍රවනතාව සූරාකන පන්තියේ යහපතට ප‍්‍රබල ලෙස හේතු වී තිබේ. ශ‍්‍රී ලංකාවේ පන්ති ව්‍යාපාරයට අත් වී තිබෙන ඉරණමද මෙය වේ. මෙරටෙහි වැඩ කරණ ජනතාව මැයි දිනය සමරන්නේ මෙබඳු වාතාවරණයක් යටතේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435