මැයි දින නිවාඩුව අහෝසි කිරීමෙන් සිදුවූ අසාධාරණය ගැන ජනපතිට ලිපියක්

මැයි දින නිවාඩුව අහෝසි කිරීම සම්බන්ධයෙන් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් ඒ සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ සේවකයන්ට සිදුවූ අසාධාරණය සම්බන්යෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපිය සම්පූර්ණයෙන් පහතින් දැක්වේ.

මැයි දින නිවාඩුව අහෝසි කිරීමෙන් පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට සිදුවන අසාධාරණය සම්බන්ධයෙනි

මෙවර (2018) වෙසක් දිනය අපේ‍්‍රල් මස 29 වන දිනට යෙදීම හේතුවෙන්, අතිරේක නිවාඩුව තීන්දු කරනු ලැබූයේ අපේ‍්‍රල් මස 30 වන දිනටය. ඒ සමග 1956 දී ආණ්ඩුව ගන්නා ලද ප‍්‍රතිපත්තිමය තීන්දුව අනුව ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් සුපුරුදු පරිදි මැයි 01 වන දින රජයේ, බැංකු හා වෙළඳ නිවාඩුවක් ලෙස ප‍්‍රකාශ කරනු ලැබ තිබිණ.

අපේ‍්‍රල් පළමු සතියේදී මහ නායක හිමිවරුන්ගේ ඉල්ලීම අනුව යැයි වෙසක් සතියේ බෞද්ධ ආගමික කටයුතු වලට බාධා නොවන ලෙස මැයි 01 වන දින නිවාඩුව මැයි 07 වන දින ලබා දීමට ආණ්ඩුව තීන්දු කළේය. එහෙත් එම තීන්දුවෙහි මැයි දින රැළි හා පෙළපාලී අත්හිටුවීමේ හෝ තහනම් කිරීමේ කිසිදු ඇඟවීමක් නොවුනි. මේ අතර ජාත්‍යන්තර කම්කරු දිනය මැයි 01 වන දින පැවැත්වීමට වෘත්තීය සමිති විසින් පොදු තීන්දුවක් ගනු ලැබ ඇත.

එවැනි පසුබිමක, ස්වදේශ කටයුතු ඇමති විසින් පසුගිය අපේ‍්‍රල් 10 වන දින අංක 2066/17 දරණ විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් දන්වා තිබූයේ, ‘‘ජාතික වෙසක් සතිය’’ 2018 අපේ‍්‍රල් 26 දින සිට 2018 මැයි 02 වන දින දක්වා යෙදෙන බවය. වෙසක් සතියක් එළෙස තීන්දු කර ඇතැයි මීට පෙර කිසිදු නිල සඳහනක් කොතැනකවත් නොවුනි. කෙසේ නමුත් එය හේතුවක් ලෙස සඳහන් කරනු ලැබ එම ගැසට් නිවේදනයෙන් දන්වා ඇත්තේ ‘‘ලෝක කම්කරු දිනය වෙනුවෙන් 2018 මැයි 01 වන අගහරුවාදා දිනට යෙදී ඇති රජයේ හා බැංකු නිවාඩු දිනය අවලංගු කර ඒ වෙනුවට 2018 මැයි 07 වන සඳුදා දින රජයේ හා බැංකු නිවාඩු දිනයක් විය යුතු බවද මෙම නියමය මගින් ප‍්‍රකාශ කරමි’’ යන්න ය.

මෙම අති විශේෂ ගැසට් නිවේදනයෙන් නියම කරනු ලැබ ඇත්තේ මැයි 01 වන දිනට යෙදී තිබූ රජයේ, බැංකු හා වෙළඳ නිවාඩු අතුරින් 1971 අංක 29 දරණ නිවාඩු පනතෙහි පළමු හා දෙවන උප ලේඛණ මගින් තීන්දු කර ඇති රජයේ හා බැංකු නිවාඩු වෙනස් කිරීම පිළිබඳව පමණි. එළෙසින්ම එම ගැසට් නිවේදනයෙන් දන්වා ඇති අයුරු මැයි 07 වන දිනට නිවාඩු ලබා දී ඇත්තේ රජයේ හා බැංකු අංශ සඳහා පමණි.

සාප්පු හා කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනතේ 7(1) වගන්තියට අනුව එම පනතෙන් ආවරණය වන සේවකයින්ට ප‍්‍රසිද්ධ නිවාඩු දින ලබාදී ඇත්තේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් නිවාඩු පනතේ ප‍්‍රතිපාදන අනුව ප‍්‍රකාශයට පත් කරන ප‍්‍රසිද්ධ නිවාඩු දින අතුරින් කම්කරු අමාත්‍යවරයා විසින් ප‍්‍රකාශයට පත් කරනු ලබන දිනයන් වේ. මෙතෙක් කම්කරු අමාත්‍යවරයා විසින්  ප‍්‍රසිද්ධ නිවාඩු දින 08 ක් සාප්පු හා කාර්යාල සේවකයින්ට හිමි බව ප‍්‍රකාශයට පත් කර ඇති අතර, ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා  මැයි 01 දිනය නිවාඩු දිනයක් බවට ප‍්‍රකාශයට පත් කර ඇත. නීතිය අනුව එම දිනය කම්කරු අමාත්‍යවරයා විසින් අවසන් කිරීමක් හෝ වෙනස් කිරීමක් හෝ සිදුකර නැත. එම හේතුව මත සාප්පු හා කාර්යාල සේවක පනතෙන් ආවරණය වන සේවකයින්ට මැයි 01 දින ප‍්‍රසිද්ධ නිවාඩු දිනය නොවෙනස්ව පවතී. සාප්පු හා කාර්යාලපනතේ ප‍්‍රතිපාදන අනුව, ස්වදේශ කටයුතු අමාත්‍යවරයාට එම දිනය වෙනස් කිරීමේ හැකියාවක්ද නැත.

පඩි පාලක සභා ආඥා පනතේ 25 වන වගන්තිය අනුව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ප‍්‍රකාශයට පත් කරනු ලබන ප‍්‍රසිද්ධ නිවාඩු දින අතුරින් එක් එක් පඩි පාලක සභාවෙන් ආවරණය වන සේවකයින්ට හිමි වන ප‍්‍රසිද්ධ නිවාඩු දින ගණන තීරණය කිරීමේ හැකියාව ලබාදී ඇත්තේ එකී පඩි පාලක සභා වලට පමණි. ඒ අනුව සෑම පඩි පාලක සභාවක් විසින්ම මැයි දිනය සඳහා ප‍්‍රසිද්ධ නිවාඩු දිනය මැයි 01 ලෙස ප‍්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව පඩි පාලක සභා තීරණ වලින් ආවරණය වන සේවකයින්ට මෙවර මැයි දිනය වෙනුවෙන් ලැබෙන ප‍්‍රසිද්ධ නිවාඩුව මැයි මස 01 වන දිනය ලෙස නොවෙනස්ව පවතී. ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ප‍්‍රකාශයට පත්කරන ලද මැයි දින ප‍්‍රසිද්ධ නිවාඩු දිනය වෙනස් කිරීම, පඩි පාලක සභා විසින් ආවරණය වන සේවකයින් සඳහා එබැවින් අදාල නොවේ.

මෙය බරපතල සංකීර්ණ අවුලකට හේතු වනු ඇතැයි අපි අනතුරු අගවමු. එක අතකින් මැයි 01 දින සියල්ලන්ට තිබූ නිවාඩුව රජයේ හා බැංකු ක්ෂේත‍්‍ර සඳහා පමණක් අවලංගු කරනු ලැබ ඇත. එබැවින් වෙළඳ නිවාඩුව පෞද්ගලික අංශයට වලංගුව පවතියි. අනෙක් අතින් මැයි 07 වන දිනට ලබා දෙනු ලැබූ නිවාඩුව වෙළඳ නිවාඩුවක් නොවන හෙයින් එදින පෞද්ගලික අංශයට වැඩ කරන දිනයකි.

ඒ අතර, ආණ්ඩුවේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ සඳහා මාධ්‍ය මගින්ද විශාල ආවරණයක් ලබාදීම මත හාම්පුතුන් විසින් මැයි 01 වන දින වැඩ කරන දිනයක් ලෙස සළකනු ඇත. එසේ වුවහොත් පඩි පාලක සභා ආඥාපනත මගින් නිවාඩු දිනක සේවකයින්ට ලැබිය යුතු අතිකාල හා වෙනත් දීමනා ඔවුන්ට නොගෙවන්නට හාම්පුතුන් කටයුතු කිරීමේ සියලූ ඉඩකඩ ඇත. එවගේම, මැයි 07 වන දින රජයේ හා බැංකු සඳහා පමණක් නිවාඩු දින ලෙස ගැසට් පති‍්‍රකාවේ ඇති නියමය මත එදිනටද පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට සාමාන්‍ය දිනක මෙන් වැඩ කිරීමට සිදුවිය හැක.

ආණ්ඩුවේ තීන්දුව කි‍්‍රයාවට නැගීමේදී සිදුව ඇති මේ නෛතික අවුල හේතුවෙන් විශේෂයෙන් පෞද්ගලික අංශ සේවක සේවිකාවන්ට සිදුවිය හැකි අවාසිය හා වෙනස්කම වහා නිරවුල් කළ යුතුව ඇත. ඒ අනුව අවශ්‍ය පියවර නොපමාව ගන්නා මෙන් අපි මෙයින් ඉල්ලා සිටිමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435