මැයි 01 කම්කරු දින සැමරුම වැඩකරන පන්තියේ බලය පෙන්වීමයි

එවක හෙද සේවාව මුහුණ දී සිටි බරපතල අභියෝග වලට පැවති හෙද සංගම් වලින් සාධාරණය ඉටු නොවීම හේතුවෙන් වෘත්තීය අයිතිවාසිකමි රැක ගැනීමේ ප‍්‍රධාන විකල්පය බවට පත්වෙමින් 1997 දී රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය ආරමිභ වූ අතර ලි. ප. අංක 6400 යටතේ ලියාපදිංචි කොට දකුණු පළාතේ සිට දිවයින පුරාම ව්‍යාප්ත විය. ආරමිභයේ 101 ක සාමාජිකත්වයකින් ඇරඹී අද වන විට 23500 ක පමණ සාමාජිකත්වයක් දක්වා වර්ධනය වෙමින්  හෙද සේවාව නියෝජනය කරන ප්‍රමුඛ වෘත්තීය සංගමය බවට පත්ව ඇත.

හෙද සේවාව සංවිධානය කිරීමට සමගාමීව සංගමය ආරම්භයේ සිට අනුගමනය කළ සාමූහිකත්ව සංකල්පය තුළ සෞඛ්‍ය සේවාවේ අනෙකුත් කණ්ඩායම්වල රාජ්‍ය හා අර්ධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය සමග එක්ව වැඩකරන පන්තියට පොදුවේ බලපාන ගැටළු වෙනුවෙන් සංවිධිත අරගලයන් හි නිරතවීම මගින් එතෙක් හුදෙකලා අරගලයන් හි නිරතව සිටි හෙද සේවාව වැඩකරන පන්තිය වෙත නිරාවරණය කිරීමටත් පන්ති හැඟීම වර්ධනය කිරීමටත් හැකිවිය. ගොඩනැගුණු බොහෝ සාමූහිකත්වයන් මෙහෙයවීමෙ වගකීම සංගමයට හිමිවීම ඊට එක් වූවන් අප කෙරෙහි තැබූ විශ්වාසය පිළිඹිඹු කරන්නක් විය.

මෙම සාමූහිකත්ව අරගල මගින් 2004 දී වෛද්‍ය සේවාවට සාපේක්‍ෂව ඇති වූ වැටුප් විෂමතා ඉවත්කර සමස්ථ සෞඛ්‍ය සේවාවේ වැටුප් 44‍% ඉහල නංවා ගැනීම, රාජ්‍ය සේවයේ සුපිරි පැලැන්තියක් නිර්මාණය කළ 01/2006 අසාධාරණ වැටුප් චක‍්‍රලේඛය මුළුමනින්ම වෙනස්කරවා ගැනීම,  සෞඛ්‍ය සේවාව තුල අසාධාරණ ලෙස ස්ථාපිත කිරීමට තැත්කල ඇඟිලි සලකුණු බලහත්කාරය වලක්වා ගැනීම, ජීවන වියදම් දීමනාව ඉහල නංවා ගැනීම, වැනි පොදු ගැටළු රාශියක් වැඩකරන පන්තියට වාසි සහගත වන අයුරින් ජයග‍්‍රහණය තෙක් ගෙනයාමට හැකිවීම අපගේ සාර්ථකත්වය පෙන්නුම් කිරීමකි.  එසේම පුද්ගලික අංශයේ අර්ථසාධක අරමුදල් මංකොල්ලයට එරෙහි වීම, ධීවරයන්ට ඉන්ධන සහනාධාරයක් දිනාගැනීම යන බහුජන සටන් සමග ඒකාත්මික වෙමින් ජයග‍්‍රාහී මාවතට ගෙන ඒම හා එහිදි සාහසික ලෙස මරා දැමූ රොෂේන් චානක හා ඇන්තනී සහෝදරවරුන් වෙනුවෙන් සාධාරණය ඉටුකර ගැනීම වැනි පුළුල් දායකත්වයන් ඉදිරියටත් වැඩකරන පන්තිය වෙනුවෙන් සිදුකිරීමට නොපැකිලව කටයුතු කරමු.

සංගමය රටේ ජනතාව මුහුණ දුන් කවර ආකාරයේ ස්වභාවික ආපදාවක දී හැකි උපරිම සහනයන් සැලසීය. වරින් වර ඇති වූ ගංවතුර හා නියගය හේතුවෙන් ආපදාවන්ට පත් වූ ජනතාවට හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පහසුකම් සැලසීම හා ද‍්‍රව්‍යමය ආධාර ලබාදෙමින් සහාය වීම,  2004 දී ඇති වූ සුනාමි ආපදාවෙන් විපතට පත් වූවන්ට හදිසි සෞඛ්‍ය පහසුකම් සැලසීමට දායක වීම, විශේෂයෙන්ම යුද්ධය පැවති උතුරු නැගෙනහිර පළාත් ද ඇතුළුව ආපදාවට පත් සෑම පළාතකම සෞඛ්‍ය කඳවුරු පැවැත්වීම, ද්‍රව්‍යමය ආධාර ලබා දීම, සෞඛ්‍ය සේවකයන්ගේ අර්ධ ලෙස හානි වූ නිවාස වෙනුවෙන් මූල්‍ය ආධාර ලබා දීම, හා පූර්ණ හානි වූ නිවාස වෙනුවෙන් නව නිවාස 10 ක් ගොඩ නැංවීම ඇතුළු බොහෝ සමාජ සුභසාධනයන් වෙනුවෙන් සංගමය ආරම්භයේ සිටම දායක වූ අතර ඉදිරියටත් දායකත්වය ලබා දීමට සූදානම්ය.

සංගමය හෙද සේවාවේ උන්නතිය වෙනුවෙන් බොහෝ මැදිහත්වීම් සිදුකර ඇත. උපාධිධාරී හෙද සේවාවක් බිහිකර ගැනීම වෙනුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ ආරම්භ කල හෙද උපාධි පාථමාලාවේ ගුණාත්මක බව පහල දැමීමට වෛද්‍ය සංගමය කල බලපෑම් වලට එරෙහිව හෙද උපාධිය ආරක්‍ෂා කර ගැනීම හා මේ වන විට හෙද සේවාව වෙනුවෙන්ම උපාධි පීඨයක් ආරම්භ කිරීමට හැකිවීම මහජන සෞඛ්‍ය හෙද සේවාව නැවත ඇති කර ගැනීම වැනි අතිමහත් වෘත්තීමය සංවර්ධනයන් රැසක්  සිදුකර ගැනීමට  සංගමයට හැකිව ඇත.

මැයි දිනය අභිමානයෙන් යුතුව සැමරීම සංගමය ආරම්භයේ සිටම සිදුකල අතර එහිදී වෘත්තීය සමිති හා බහුජන සංවිධාන සමග එක්ව සහයෝගිතා මැයි දින සැමරීම් සිදුකිරීම විශේෂත්වයක් ගනී. විශේෂයෙන් රජය විසින් ආරක්‍ෂක හේතූන් මත මැයි දිනය තහනම් කරත්දී එය නොතකා මැයි රැළිය පැවැත්වීම තුලින් වැඩකරන පන්තියේ බලය පෙන්නුම් කිරීමට සංගමයට හැකි විය.  එසේම වෘත්තීය සමිති අයිතීන් තහවුරු කෙරෙන ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ ප‍්‍රඥප්ති අංක 87 හා 98 මෙරට තුල බල ගැන්වීම හා රාජ්‍ය අංශයේ කම්කරු ආරවුල් බේරුම්කරන යාන්ත‍්‍රණයක් සැකසීම වෙනුවෙන් පුළුල් මැදිහත්වීම සිදුකිරීම තුල වැඩකරන පන්තියේ අයිතීන් වෙනුවෙන් සංගමය කල මැදිහත්වීම් පැහැදිළි වේ.

නව සියවසට පලල් දැක්මක් සහිත සංගමය එ් තුලින් බලාපොරොත්තු වන්නේ ශක්ති සම්පන්න “අදීන” ජනතා හිතවාදී අරගල සමග පරාර්ථවාදී හැඟීමෙන් පෙළගැසෙන ලාංකීය වැඩකරන පන්තියක් බිහිකර ගැනීම වේ.

නාලක හෙටිටිආරචිචි

ලේකම්

රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435