මෑන්පවර් සටන ගැන රන්ජන් ජයලාල් කියන කතාව

රන්ජන් ජයලාල් – ජාතික සංවිධායක – මෑන්පවර් සේවකයින් ස්ථීර කරගැනීමේ ජාතික මධ්‍යස්ථානය

  • මෑන් පවර් සේවකයින් ස්ථීර කර ගැනීමේ සටනට ඔබත් නායකත්වය දුන්නු කෙනෙක්. විදුලිබල මණ්ඩලයේ මේ ප්‍රශ්නය දැන් විසඳිලාද?

අපි විදුලි සේවක සංගමය ලෙසත්, මෑන් පවර් සේවකයින්ස්ථීර කරගැනීමේ මේ ජාතික මධ්‍යස්ථානය ලෙසත් කටයුතු කරගෙන යනවා. විදුලිබල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් සම්බන්ධයෙන් කළ අරගලයේදී මේවන විට ලබාගත්තු ජයග්‍රහණ රැසක් තියෙනවා.‍ මෑන් පවර් සේවකයින් 6750 ක් ඉන්නවා. ඒකෙ කිසිම සේවකයෙක් ඉවත් නොකොට මෑන් පවර් සමාගම් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා. දැනට 2300 ට ආසන්න පිරිසකට ලංවිමයේ අනියම් පත්වීම් දුන්නා. ඒ ගිය අවුරුද්දෙ දෙසැම්බර් 01 සිට. ඒ අවුරුද්දෙ නොවැම්බර් 25 තමයි අපි මහ සමුළුවක් තියලා එවක ආණ්ඩුවට දැනෙන අභියෝගයක් කළේ. එතනදී තමයි එවක විදුලිබල අමාත්‍ය පවිත්‍රා ඇමතිනිය කතා කරලා මේ සේවකයින් ස්ථීර කරගන්නවා කියලා වැඩපිළිවෙලට අතගැහුවෙ. ඒ පත්වීම් දුන්නේ දුන්නේ 2015 ජනවාරි සිට ස්ථීර කිරීමට බලපැවැත්වෙන පරිදි. අලුත් ආණ්ඩුව ආවමත් ගත්ත තීන්දුව ක්‍රියාත්මක වුණා.මොකද දෙසැම්බර් මාසයේ අපේ විරෝධතා ව්‍යාපාරයකට මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි, රවී කරුණානායක මහත්තයයි ඇවිල්ලා බලහත්කාරයෙන් කථා පත්වලා පොරොන්දු වෙලා ගියා. ඉතිං ඒ අනුව ඒ අයට මේක කරඅරින්න බැරිවුණා. අනියම් පත්වීම් දුන්නු 2300ට අමතරව විදුලිබලමණ්ඩලයට අනුබද්ධ කොටස් හිමි ‘එනර්ජි ලංකා’ කියලා රාජ්‍ය සමාගමක් හැදුවා.1400 ක් පමණ මනු කියවන්නන් ඉතිරි කොට අනියම් පත්වීම් නොලැබූ ඉතිරි අය මෙම සමාගමට දැම්මා. එයාල දැම්මෙ මූලික සුදුසුකම් නැති නිසා බව තමයි කීවේ. උදාහරණයක් හැටියට ලිපිකරු ආදී විවිධ තනතුරු වලට ගන්න සපුරාලිය යුතු අවම අධ්‍යාපන සුදුසුකම් තියෙනවා. ඉතිං එකී අධ්‍යාපන සුදුසුකම් සපුරා ගන්නා තෙක් ‘එනර්ජි ලංකා’යටතේ ‍සේවය කරමින් ඒ අය ක්‍රමානුකූලව විදුලිබල මණ්ඩලයට අන්තර්ග්‍රහණය කරනවා. ඒත් ඒකටත් අපි විරුද්ධ වුණා.

  • සුදුසුකම් නැතිනම් සුදුසුකම් ලැබීමට කාලයක් දීමට ඇයි විරුද්ධ වුණේ?

මේ අය අනෙක් සේවකයින් හා සමානව අවුරුදු ගාණක් තිස්සේ වැඩ කළා නම් දැන් ඒ අයගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් වැඩක් නෑ. වෛද්‍යවරයෙක් මෑන්පවර් සමාගම් හරහා ගන්නවා නම් එයාට වෛද්‍ය උපාධිය තිබේද කියල බැලිය යුත්තේ බඳවා ගන්නා අවස්ථාවේදීමයි. ඒ ආකාරයට මේ අයගේ සුදුසුකම් බැලිය යුතුනම් බැලිය යුතුව තිබුණේ මෑන්පවර් සේවයට ගනිද්දීමයි. දැන් සුදුසුකම් පරීක්ෂා කරලා වැඩක් නෑ. උදාහරණයක් විදිහට විදුලිබල මණ්ඩලයේ සේවකයින් ලෙස විදුලි කණු සිටුවීමට, වළවල් හෑරීමට ගන්නවානම් ගණිතයට සම්මාන තිබිය යුතුයි. අනියම් පත්වීම් දෙද්දි සම්මානය බැලුවා. සම්මාන නැති අය එනර්ජි ලංකා එකට දැම්මා. ඉතිං මෑන් පවර් ගනිද්දි සම්මාන බලල නෑ. විදුලි සැර වැදෙද්දිත් සම්මාන තිබ්බද නැද්ද කියලා හොය හොයා බලල නෙවෙයි විදුලිසැර වදින්නේ. ඒ නිසා රාජකාරියේ ස්වරූපයවත්, වගකීමවත් ප්‍රමිතියවත් වෙනස් නෑ.

  • මෑන්පවර් හරහා බඳවා ගත් මනුකියවන්නන්ගේ තත්ත්වය මීට වෙනස්ද?

මනුකියවන්නන් ලෙස විදුලි බලමණ්ඩලයේ මෑන්පවර් සමාගම් මගින් ගත්තු අය 1400 ක් ඉන්නවා. ඉල්ලා සිටින අධ්‍යාපන සුදුසුකම් සපුරුපු අය ඒ අතරේ 811 ක් ඉන්නවා.ඒත් ආණ්ඩුවෙන් මේ අයට කොන්දේසියක් දැම්මා. ඒ අය කෑලි ක්‍රමයටයි වැඩ කරන්නේ.බිලකට රු.3යි නැත්නම් 5 යි. ඒ විදිහට කෑලි ක්‍රමයට වැඩකරන අයට පත්වීම් දෙන්න දෙන්න බෑ කියලා ආණ්ඩුවෙන් කොන්දේසියක් දැම්මා. මනුකියවන්නන් පිටින් බඳවා ගැනීමේදී ඒ තරම් සුදුසුකම් පරීක්ෂාවක් නෑ. අඩුම ගාණේ තාක්ෂණික සහතිකයක් වත් ඉල්ලන්නේ නෑ. වරුවයි වැඩ තියෙන්නේ. ඒ නිසා ඇමතිවරුන් තමන්ගේ ලැයිස්තුවෙන් මනුකියවන්නන්ගෙ පුරප්පාඩු පුරවන්න උත්සාහ කළා. අපි ඒකට ඉඩදුන්නේ නෑ. පසුගිය මැතිවරණ කාලයේ එනම් ජූලි 01 වෙනිදා පෝය දවස නොතකා මනුකියවන්නන් ලෙස 88 දෙනෙකුට පත්වීම් ලබාදීමට එවක ඇමති චම්පික විසින් විභාගයක් තිබ්බා. අපි මැතිවරණ කොමසාරිස් හම්බවෙලා කරුණු දක්වා ඒ අය ගැනීම නැවත්තුවා. පහුගියදා ඒ අය “විදුලිබල මණ්ඩලයේ රැකියා අයදුම්කළවුන්ගේ එකමුතුව”කියලා උද්ඝෝෂණයක් කළා. ඒක පිටිපස්සේ සිටින්නේ චම්පික ඇමති.ඒක අල්ලන් යන්නේ බොරුවටයි. එනම් ඇත්ත ප්‍රශ්නය යටගහන්නයි. විදුලිබල මණ්ඩලයේ අවුරුදු 7-8ක් මෑන්පවර් සේවකයින් හැටියට සේවය කළ මේ පිරිසට අනියම් පත්වීම් නෑ. එනර්ජි ලංකාත් නෑ.ඒ වෙනුවට පිටින්ම ඇමතිලාගේ ලැයිස්තුවෙන් ගන්නයි මේ උත්සාහය. ඒ අය තාමත් මෑන් පවර් සේවකයින්. ඒක මේ අයට අහෝසි කළේ නෑ. මෑන් පවර් සටනේ ලොකු බරක් ඇද්දෙත් මේ අය. මොකද ඒ අය ෆීල්ඩ් එකේ ඉන්නේ.ඒත් මේ සම්බන්ධයෙන් අපි නිහඬ නෑ.

  • මේවන විට මොනවගේ ක්‍රියා මාර්ගද ගනිමින් සිටින්නේ?

පසුගිය ඔක්තෝම්බර් 15 දා අපි උතුරුමැද පළාතේ හැමෝම කැකිරාවට එකතු කරලා දැනුවත් කළා. ‘ලංවිම මිනිස් බල එකමුතුව’ ලෙස ෆේස් බුක් පිටුවක අපේ කටයුතු පිළිබඳ ඇතුළත් කර තියෙනවා.කැමති අයට ඒකෙන් බලාගන්න පුළුවන්. පහුගිය 23 දා සබරගමුව පළාතේ අය එකතු කළා.24 දා ඌව පළාතේ එකතු කළා.31 මාතර යනවා. මේ එකතු කරන්නේ වෙන හේතුවකට නොව ජනාධිපතිවරයාට අපට දුන්නු ඇතැම් පොරොන්දු අමතකවී ඇති තත්ත්වයක් තුළ නැවත සිහිකැඳවීමේ සටනක් කළ යුතු නිසා. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයයේ නියෝජිතයින් ලෙස අපි පහුගියදා ජනාධිපතිතුමා හමුවුණා. එතුමා එතනදී අපි මතක් කළ කරුණු සම්බන්ධයෙන් හිටියේ මොකුත් නොදන්නා ගාණටයි. ඉතිං නිහඬ වෙන්න අපට බෑ. නොවැම්බර් 6,7,8 දිනවල අපි යාපනයේ ඉන්නේ. යාපනයේ සේවකයින් දකුණත් එක්ක සෑහෙන දුරස්ථ සම්බන්ධයක් තමයි පවත්වන්නේ. ඒ නිසා ඒ අය දැනුවත් කිරීමට අමතරව ඒ අයත් එක්ක අත්දැකීම් බෙදාගැනීමේ වැඩසටහන් රාශියකුත් අපි සංවිධානය කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් සී.අයි.ඩී වාර්තාව මේවන කොටත් ගිහින්. ඒ නිසාම අපේ වැඩසටහන ටිකක් ශක්තිමත් විත්තිය ඒ අය දන්නවා. දවස් 3ට ඉහතදී සියඹලාපිටිය ඇමතිතුමා රූපවාහිනී වැඩසටහනකදී ජනාධිපතිත් එක්ක සාකච්ඡා කරලා අනියම් පත්වීම් ලබාදුන්නු අය ස්ථීර කරනවා කියලා මතක් කළේ ඒකයි. එයා කීවේ සේවකයින් 5700 ක් කියලා.ඒත් 5700 ක් නෙවෙයි.6,700 ක් ඉන්නවා.එයාට නිශ්චිතව ගණන අමතකවෙලයි එහෙම කීවේ.

  • සියඹලාපිටිය ඇමතිතුමා එහෙම කියන්නේ බොරුවටද?

නෑ. ඒක ඇත්ත. දැනට දවස් කීපයකට කලින් විදුබල මණ්ඩල‍යේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඒ සම්බන්ධයෙන් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබ්බා. කොහොමත් එදා අනියම් සේවක පත්වීම් දුන්නු අයට නොවැම්බර් 01 ට අවුරුද්දයි. ඉතිං මේ වෙද්දි ඒ අයට අවුරුද්දතක් නිසා ඒ අය ස්ථීර කළ යුතුයි. ඒ අතරේ දේශපාලන සබඳතා ඇති අයට ස්ථීර පත්වීම් නොදුන්නා නෙවෙයි. ඒකටත් අපි විරුද්ධ වුණා. කොහොම වුණත් 2015 අයවැය ඉලක්ක කරගෙන අපි ක්‍රියාමාර්ගයකට යන බව දන්නා නිසාම අනියම් සේවකයින් නොවන අනෙක් අයටත් සාධාරණ විසඳුමක් දෙන බව කීවා. ඒ කියන්නේ ස්ථීර පත්වීම් දීමෙන් අනතුරුව අයපත්කරුවන් ලෙස බඳවා ගන්නා අයට සුදුසුකම් නැතිනම් කම්කරු තනතුරකට හෝ අනියුක්ත කර බඳවා ගන්න බව යි.
අඛණ්ඩ ක්‍රියාමාර්ග වලට යනවා.කොහොමත් ආණ්ඩුවට මේ ප්‍රශ්නයෙන් ගැලවීමක් නෑ. එහෙම ගැලවෙන්න අපි ඉඩදෙන්නෙත් නෑ.

  • මෑන් පවර් ජාතික මධ්‍යස්ථානයේ විදුලිබල සේවකයින් හැර වෙනත් ආයතනවල සේවකයින් වෙනුවෙන් වැඩකරන්නේ කොහොමද?

මෑන්පවර් ජාතික මධ්‍යස්ථානයට අනෙකුත් රාජ්‍ය ආයතනවල මෑන් පවර් සේවකයින් එකතු කර කටයුතු කරනවා.එහෙම තියෙද්දී පහුගිය 30 දා දවල් 12 වෙද්දි වයඹ සංස්කෘතික ත්‍රිකෝණයේ 900 ට ආසන්න පිරිසක් දොට්ට දැම්මා. ඒ අය විවිධ ව්‍යාපෘතිවල වැඩ කළ අය. දැන් ඒකට අකිල විරාජ්ගේ කට්ටියක් ගන්න යනවා. දැන් ඒ අයත් ක්‍රියාමාර්ගයකට යමු කියලා අපට ආරාධනා කරනවා. ඒත් අපි ඒ ආරාධනාව එක හෙළාම පිළිගන්න සූදානම් නෑ. මොකද ඒ අය පහුගිය කාලයේ එක එක නායකයින් පස්සේ ගිහින් පාලකයින්ගේ උගුල්වලට අහුවෙලා රැවටීමට ලක්වුණු අය. මොකක් හරි පොරොන්දුවක් දුන්නු ගමන් සටන දියාරු කරනවා. පාවාදෙනවා.අපි මැදිහත්වෙලා සටන ගෙනිච්චොත් අන්තිමට අපේ සායමත් යනවා. ඒ නිසා අපි ඒ අයට දැනට කියලා තියෙන්නේ අපි සාකච්ඡා වට කිහිපයක් පවත්වා අපිත් එක්ක මුහුවෙලා දිගටම වැඩකරමු කියලයි. එනම් ටික කලකින් ක්‍රියාමාර්ග තෝරමු කියලයි.

හම්බන්තොට වරායේ මෑන් පවර් අයත් ස්ථීර කරලා නෑ. එතනත් ප්‍රශ්නය ඒ විදිහමයි. ටෙලිකොම් එකේ මෑන් පවර් සේවකයින්ගෙන් බහුතරය ඉන්නේ අපිත් එක්ක නෙවෙයි.රාජිත සේනාරත්නගේ පුතත් එක්කයි. අපිත් එක්ක ඉන්නේ සුළු පිරිසක්. එහෙම ඉඳලත් ඒ අයගේ ප්‍රශ්නය විසඳිලා නෑ. ඒ අයට අනියම් පත්වීමක් වත් නෑ. මොකද ඒ අය ශක්තිමත් නෑ. අපි විදුබල මණ්ඩලයේ අය ශක්තිමත්. ඒකයි පාලකයින්ට අපට ඇහුන්කන්නොදී ඉන්න බැරිවෙලා තියෙන්නේ.

ජලසම්පාදන සේවකයිනුත් ඉන්නවා. අපි ඒ අයත් එක්කත් වැඩකරගෙන යනවා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙත් පහල කම්කරු ශ්‍රේණියල ඉන්න සේවක පිරිසක් ඉන්නවා. මේ අය ආතක් පාතක් නැතිවයි ඉන්නේ. මොකද කොහොමත් ඒ අය නිශ්චිත වෘත්තිමය තත්ත්වයක ස්ථානාගත කරලා තිබිලාම නෑ.  ඒත් ඒ ප්‍රශ්න ගැන බැලිය යුතුයි. මේ ආණ්ඩුව බලයට පත්වෙද්දිම ඒ අය ගෙදර යැව්වා. මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවෙත් එහෙම අය ඉන්නවා. ඒ අය එකතු කරගනිමින් ඉන්නවා.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (3)

  1. Sampath says:

    ජනතා විමුක්ති පෙරමුණේ රන්ජන් ජයලාල් සහෝදරයට තිබෙන අවබෝදය මද බව තේරෙන්නේ, ටෙලෙකොම් සමාගමේ වෘර්තිය සමිති ඔවුන් තරම් ශක්තිමත් නැති බව කියමින් ඔවුන් සියලු මෑන් පවර් සේවකයින් එනර්ජි ලංකා සමාගම දිනා ගත් බව පම්පෝරි ගහන විටදීය. ටෙලිකොම් වෘර්තිය සමිති ඒක කලේ 2006 දීය. එතකොට රන්ජන් ජයලාල් ලා කොහෙද හිටියේ. අනිත් කාරනාව ඔවුන් හිතන් ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ හැරුනම වෙනත් කිසිදු වෘර්තිය සමිතියකට කම්කරු අයිතිවාසිකම් දිනා ගන්න බැහැ කියල. ඒ නිසා ඔවුන් අනෙක් සියලු බලවේග දේශපාලන පක්ෂවලට පාවා දෙන්න කුහක උත්සහයක යෙදෙන එක අපි හෙලා දකිනවා.

    (0)(2)



    0



    0
    • Kanishka says:

      ටෙලිකොම් මෑන්පවර් සමිති ශක්තිමත් නිසාද රාජිතගේ මෝඩ පුතා පස්සේ දුවන්නේ? අපේ ලංවිම සටනකදී අස් කරපු කිසි කෙනෙක් අපි තනිකරලා නැහැ

      (1)(0)



      0



      0
  2. Author says:

    අයපත් කරුවන් දැන් ඉන්නේ ටිකක් පසු බෑමෙන් api සටනට දිගටම අපි කර ගහනවා . රවින්ද්‍ර ඓය ඇතළු අපි ඕනෑම දෙකට රෙඩි රාජන් සහෝදර යත් අක්ක්ක අපි

    (2)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435