‘මිනිත්තුවට 15ක් පාඩුයි’ – බොඩිලයින් ආයතනය ප්‍රතිචාර දක්වයි!

අප වෙබ් අඩවියේ 2015 අගෝස්තු 19 දින පළ කළ “මිනිත්තුවට 15 ක් පාඩුයි” ලිපිය පිළිබඳව බොඩි ලයින් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි  සංජය දිසානායක මහතා විසින් අප වෙත ඒවා ඇති ලිපියේ  සමස්ත අන්තර්ගතය කිසිදු සංස්කරණයකින් හෝ සංශෝධනයකින් තොරව පාඨකයන්ගේ අවධානය පිණිස පහතින් පළකෙරේ.

 

වැඩබිම වෙබ් අඩවිය

මහත්මයාණනි,

2015 අගෝස්තු 29 දාතමින් යුතුව “වැඩබිම වෙබ් අඩවියෙහි පළකොට ඇති “මිනිත්තුවට 15 ක් පාඩුයි” ලිපිය හා බැඳේ.

ඉහත කී ලිපිය මගින් ඔබ විසින්,

  •  රත්නපුරයේ බොඩිලයින් ඇඟලුම් ආයතනයේ ගේට්ටුවේ, “ඔබ විනාඩියක්වත් අපතේ යවන්න එපා. ඔබ අපතේ යවන හැම විනාඩියකටම ආයතනයට විනාඩි 15 ක් පාඩුයි” යනුවෙන් පාඨයක් ප්‍රදර්ශනය කොට ඇති බවටත්
  •  සේවකයන්ගේ ශ්‍රමය අයුතු ලෙස සූරා කෑමට ක්‍රියා කරන බවටත්

කරුණු සඳහන් කොට ඇත.

නිසි විග්‍රහයකින් තොරව ඔබේ ලිපියේ සඳහන් කොට ඇති එකී කරුණු, හොරණ ගුරුගොඩ රත්නපුර පාර පිහිටි සීමාසහිත බොඩිලයින් පුද්ගලික සමාගම වන අප ආයතනයේ කීර්ති නාමය කෙරෙහි අයහපත් අන්දමින් බලපා ඇති අතර විශේෂයෙන් එකී ලිපියෙහි “රත්නපුරයේ බොඩිලයින් ආයතනයේ” ලෙස සඳහන් සඳහන් කිරීමෙන් ඔබ අදහස් කොට ඇත්තේ අප ආයතනය නම්, ඒ සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු වෙත ඔබගේ විශේෂ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

  •  අප ආයතනයේ ප්‍රධාන ශාඛාව වන හොරණ ගුරුගොඩ රත්නපුර පාර පිහිටි සීමාසහිත බොඩිලයින් පුද්ගලික සමාගම වන අප ආයතනයේ හෝ පිඹුර, අඟලවත්ත, බලන්ගොඩ නගරයන්හි පිහිටි කිසිදු බොඩිලයින් ශාඛාවක ගේට්ටුවෙහි ඔබ විසින් සඳහන් කොට ඇති ආකාරයේ ‘මිනිත්තුවට 15 ක් පාඩුයි’ යනුවෙන් ප්‍රකාශයක් සඳහන්කොට නැති බවත් /සඳහන්ව නොතිබූ බවත්1992 වසරේ ආරම්භ කෙරුණු බොඩිලයින් ආයතනය රටේ ප්‍රධානතම ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ලෙස ආර්ථිකයට මහත් දායකත්වයක් ලබාදෙමින් සෑම අවස්ථාවකදීම තම සේවක සාමාජික සාමාජිකාවන්ගේ සුබ සිද්ධිය කෙරෙහි ප්‍රමුඛ අවධානයක් දෙමින් කටයුතු කරන බවත් සහ ඒ පිළිබඳව ඉහල කිර්ති නාමයක් උසුලන බවත්
  • සේවක වැටුප් සහ වරප්‍රසාද සම්බන්ධයෙන් අවම නීතිමය නිර්දේශයන්ට පමණක් සීමා නොවී වැඩි ප්‍රතිලාබයක් සේවක සාමාජික සාමාජිකාවන්ට ලබා දීමට කටයුතු කරන බවත්
  • සාමාජික සාමාජිකාවන්ට පමණක් නොව ඉන් ඔබ්බට ගොස් ඔවුන්ගේ පවුල් වල දු දරුවන් සහ සාමාජික සාමාජිකාවන් සඳහාද එමෙන්ම පන්සල, පාසල සහ රෝහල වැනි සාමාජික ආයතනයන් සඳහාද අතිවිශාල දායකත්වයක් ලබාදෙන ආයතනයක් බවත්

ඒ අනුව ‘රත්නපුරයේ බොඩිලයින් ඇඟලුම් ආයතනයේ’ ලෙස සඳහන් කිරීමෙන් ඔබ අදහස් කොට ඇත්තේ අප ආයතනය නම්, ඔබගේ 2015 අගෝස්තු 29 ලෙස දිනැති ලිපියේ සඳහන් කරුණු හැකිතරම් ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගන්නා මෙන් ඔබ වෙත කාරුණිකව දන්වා සිටිමු.

ඔබගේ 2015 අගෝස්තු 29 ලෙස දිනැති ලිපිය මගින්, රත්නපුරයේ බොඩිලයින් ලෙස සඳහන් කිරීමෙන් ඔබ අදහස් කර ඇත්තේ අප ආයතනය හෝ අප ආයතනයේ ශාඛාවක් නොවන්නේ නම්, ඒ පිළිබඳ විධිමත් පැහැදිලි කිරීමක් කොට නිවැරදි කරුණු දැක්වීමක් සිදුකරන මෙන් වැඩිදුරටත් ඔබ වෙත දන්වා සිටිමු.

ස්තූතියි

මෙයට

බොඩිලයින් ආයතනය

සංජය දිසානායක

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී

වැඩබිම සටහන

බොඩි ලයින් ආයතනය විසින් ඒවා ඇති කරුණු පැහැදිලිකිරීමට හේතු වූ “මිනිත්තුවට 15 ක් පාඩුයි” නමැති ලිපය ජනරළ වෙබ් අඩවියෙන් උපුටා මුලාශ්‍ර සහිතව පාඨක විචාරය සඳහා පමණක් පළකළ ලිපියකි. “මිනිත්තුවට 15 ක් පාඩුයි” ලෙස පලවූ මුල් ලිපියේ හා ඉහත පලකර ඇති පැහැදිලි කිරීමේ ලිපියේ අන්තර්ගතයන් අදාළ ලේඛකයාගේ හා ආයතනයේ මතයන් මිස වැඩබිම වෙබ් අඩවියේ මතය පිළිබිඹු වීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.

වැඩබිම අන් අයගේ අදහස් පලකිරීමේ පුර්ණ අයිතියට ගරු කරන, දොස් නිදොස් කිරීම සඳහා ඉඩ සලසන, සංවාදය සඳහා මුල පුරන ප්‍රජාතන්ත්‍රවාදී සයිබර් අවකාශයක් පමණක් වන හෙයින් විවාදයට බඳුන් වන කිසිදු කරුණක් පිලිබදව විනිශ්චයක් පිළිබිඹු නොකරන බව කරුණාවෙන් සලකන්න. අප පළ කර ඇති  අන්තර්ගතයකින් කිසියම් පාර්ශවයකට සිත් තැවුලක් වන්නේ නම් ඒ පිළිබඳව අපගේ කණගාටුව පළකරමු. වැඩබිම වෙබ් අඩවියේ පලවන අන්තර්ගතයක් පිළිබඳව එකඟ නොවන ඕනෑම පාර්ශවයකගේ පිළිතුරු සැපයීමේ අයිතිය සම්පුර්ණයෙන් සුරැකීමට අප බැඳී සිටිමු.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435