මිනිස්සුන්ට පඩිය ෂුවර් නැහැ

රජය මේ වන විට යම්තාක් දුරකට රට විවෘත කරල තියනවා. මෙය ඔබ දකින්නේ කොහොමද?

මෙහි කොටස් දෙකක් තිබෙනවා. එකක් කොරෝනා අර්බුදයෙන් ජනතාව බේරාගන්න එක. අනිත් එක ආර්ථික අර්බුදයෙන් ජනතාව බේරාගන්න එක.

රට විවෘත කිරීම මම ඝෘණාත්මකව දකින්නෙ නැහැ. එය කළයුතු දෙයක්. ඒ වගේම රට විවෘත කිරීමේදී අහඹු ලෙස පී. සී. ආර්. පරීක්ෂණ සිදු කළ යුතුයි. ඒ වගේම සියලුම පුරවැසියන්ට ස්වෙච්ඡාවෙන් පී. සී. ආර්. පරීක්ෂණ කර ගැනීමට අවස්ථාව උදාකර දිය යුතුයි. ඒ අවස්ථාව ජනතාව වෙත ලබා නොදී රට විවෘත කිරීම පිළිබඳව මට විවේචනයක් තියනවා.

රජය මේ වන විට රට ආර්ථිකමය වශයෙන් රට ගොඩ ගැනීම සඳහා ක්‍රියාත්මක කරමින් පවතින වැඩ පිළිවෙළ පිළිබඳ අදහස කුමක්ද?

ඒ පිළිබඳව මම කිසිසේත්ම සෑහීමට පත්වන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ මේකට යෙදවීම සම්බන්ධව අපේ විවේචනයක් තියනවා. ඔහු රජයේ කිසිදු නිලයක් දරන්නේ නැති, ඒ වගේම දේශපාලන පක්ෂයක ජාතික සංවිධායකවරයෙක් හැටියට, රටේ පාර්ලිමේන්තුවකුත් නොමැති අවස්ථාවේ ආර්ථිකය කළමනාකරණය කරන්න කරන්න රටේ විධායකය විසින් තමන්ගේ පක්ෂයේ ජාතික සංවිධායකවරයාට අවස්ථාව ලබාදීම වැරදියි. මොකද ඔහු මේ වෙලාවෙ කල්පනා කරන්නෙ කොහොමද ඡන්ද ව්‍යාපාරය කරන්නෙ කියලා. ඔහුගේ එකම අරමුණ ඒක. එයට හොඳම උදාහරණය රුපියල් පන්දහස බෙදා දීම. ඔවුන් උත්සාහ කළේ තමන්ගෙ පාක්ෂිකයන්ට වැඩි වශයෙන් රුපියල් පන්දහස බෙදල ඒක තමන්ට මැතිවරණය සඳහා උපක්‍රමයක් කරගන්න.

අද වෙනකම් ආණ්ඩුව කියල නෑ මේ පන්දහසේ දීමනාව කීදෙනෙක්ට දුන්නද කියල. එක එක අය එක එක ගණන් කියනවා. මම ගිය රූපවාහිනී විවාදයකදී කෙහෙලිය රඹුක්වැල්ල ලිපි ලේඛන පෙන්නල කීව පවුල් ලක්ෂ හැත්තෑ අටකට රුපියල් පන්දහස දුන්න කියලා. හැබැයි සංඛ්‍යා ලේඛනවලට අනුව ලංකාවෙතෑ අටකට ර් ගෘහස්තයන් තියෙන්නෙ ලක්ෂ පනස් දෙකයි. එතකොට කොහොමද මෙයාල පවුල් ලක්ෂ හැත්තෑ අටකට රුපියල් පන්දහස දුන්නෙ. මේ රුපියල් පන්දහස ලබාදීම තනිකරම ආණ්ඩුව තමන්ගේ දේශපාලන සුදුවක් කරගත්ත. මම දන්න අපේ ආසනයේ ගෙවල් තියනව එක ගෙදර හත් දෙනාට රුපිය පන්දාහ දුන්නා.

පන්දාහ අහසින් පාත් වුණා නෙවේ. පන්දාහට ලොජික් එක දුන්නෙ හර්ෂ ද සිල්වා. ඒ ලොජික් එක තමයි මැරෙන්නෙ නැතුව මනුස්සයෙකුට ජීවත් වෙන්න, මාසයකට කිලෝ කැලරි දෙදාස් තිහක් ගන්න රුපියල් පන්දහසක් ඕනෙ. ආණ්ඩුවට රුපියල් පන්දහස දෙන්න වෙන ලොජික් එකක් තිබ්බෙ නෑ. එහෙනම් එයාලට රුපියල් දෙදාස් පන්සීයක් දෙන්න තිබ්බනෙ, නැත්තම් හත්දහස් පන්සීයක් දෙන්න තිබ්බනෙ. හැබැයි මගෙ ක්‍රමවේදයට අනුව පවුලක හතරදෙනෙක් ඉන්නව නම් සතියකට හතර සැරයක් පන්දහස බැගින් දිය යුතුයි.

මම දීර්ඝ වශයෙන් ජන සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුවේ දත්ත අනුව පෙන්නුවා, ලංකාවේ ගෘහස්තවලින් පල්ලෙහාම දශම පහ, ඒ කියන්නෙ ලංකාවෙ දුප්පත්ම පිරිසෙන් යට ඉඳල සීයට දහයවල් පහක්, සීයට පනහකට මාසයකට අවමය රුපියල් දහත් දහස් පන්සීයක හිඟයක් තියනව. මේ දාහත්දහස් පන්සීය හැදෙන්නෙ රැකියාව නැතිවීමේ හෝ ආදායම නැතිවීමේ අවදානම සලකා. සමහරුන්ගෙ මේ අවදානම සීයට සීයයි. සමහරුන්ගෙ සීයට පහයි, දහයයි. ඒ අවදානමට සාපේක්ෂව මාසික ආදායමේ අඩුවීම ගණනය කරන්න පුළුවන්. ඒ වගේම වියදම ගොඩක් සල්ලි තියන කට්ටියට ගොඩක් වියදම් කපන්න පුළුවන්. හැබැයි දුප්පත්කමේ අඩියෙ ජීවත්වෙන කට්ටියට කිසිම වියදමක් කපන්න බෑ. ඒ දෙක තුළනය කරල තමයි අපි මේ ගාණ හදල තියෙන්නෙ.

කොහොම වුණත් ආණ්ඩුව රුපියල් පන්දහස බැගින් බෙදාගෙන ගියාට, පී. බී. ජයසුන්දර ජනාධිපති ලේකම්වරයා කියනව ආණ්ඩුවට සල්ලි නෑ රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් කොටසක් රජයට පරිත්‍යාග කරන්න කියල. ඊට පස්සෙ නැවත ආණ්ඩුව කියනවා තමන් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න සූදානම් කියල, මේ පරස්පරතාවන් කොහොමද දකින්නේ?

සල්ලි නෑ කියන්න ආණ්ඩුවක් මොකටද? රටම කවදාකවත් මුහුණ දීල නැති අර්බුදයකට මුහුණ දීල තියනකොට, පාර්ලිමේන්තුවත් ඕනෙ නෑ කියල පැත්තකට දාල තියනකොට, අපට බෑ මේවට සම්බන්ධ වෙන්නෙ. අපේ අදහසක් ඉදිරිපත් කරන්න බෑ, නීතියක් සම්මත කරන්න බෑ, අවශ්‍ය මුදල් ටික හොයල දෙන්න බෑ. උදාහරණයක් විදිහට පාර්ලිමේන්තුව තියනව නම් පුළුවන් අවශ්‍ය පනත් සංශෝධනය කරලා ණය සීමාව ඉහළ දාල, කම්කරු නීති වෙනස් කරලා, රජයට තියන ප්‍රමුඛතාවන් වෙනස් කරල, වෙන තැන්වල තියන මුදල් ගන්න පුළුවන් පාර්ලිමේන්තුවට විතරයි. ඒව ඔක්කොම ඕනෙ නෑ කියලනෙ බැසිල් දැන් තනියම කරන්නෙ, ඔහු පාර්ලිමේතුව නියෝජනය කරන්න අවම සුදුසුකම්වත් නැති ද්විත්ව පුරවැසියෙක්. එතකොට බැසිල්ට නීතියක් පාස් කරන්න, කිසි දෙයක් කරන්න බෑ.

අනිත් එක මම පී. බී. ට අභියෝග කරනවා, කරුණාකර පෙන්නන්න ඔයා කොහොමද කියන්නෙ මැයි මාසෙ පඩි ගත්තෙ නැත්තම් රුපියල් බිලියන සීයක් ඉතුරු කරගන්න පුළුවන් කියල. අවම වශයෙන් රුපියල් බිලියන සීයක් නෙවේ පනහක්වත් ඉතුරු කරගන්න වෙන්නෙ නෑ, මොකද මේ රටේ රුපියල් බිලියන සීයක් පඩි දෙන්නෙ නෑ. ගිය අවුරුද්දටම පඩි ගෙවන්න ගිහිල්ල තියෙන්නෙ රුපියල් බිලියන හයසිය අසූවක් විතර. එකට අනුව මාසයකට පඩි ගෙවන්න යන්නෙ රුපියල් බිලියන පනහක් විතර. මේ හයසිය ගාණෙන් එකසිය අසූවක් පළාත් සභාවලට දෙන සල්ලි. ඊට පස්සෙ පොලීසියයි, ත්‍රිවිධ හමුදාවටයි සිවිල් ආරක්ෂකයන්ටයි ගෙවනව බිලියන දෙසිය හතළිස් පහක්. ඒ අනුව බිලියන දෙසිය විස්සක් වගේ තමයි රජයේ අනෙකුත් නිලධාරීන්ට ගෙවන්නෙ.

මෙයාලගෙ සැලැස්මට අනුව මූලික වශයෙන්ම වැඩිම කොටසක් කැපෙන්න නියමිතව තිබ්බෙ ත්‍රිවිධ හමුදාව, පොලීසියෙ සහ සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ. අපි මේ කාරණය මතු කරහම එයාල මේ ඊයෙ පෙරේද කියනව හමුදාවෙ සහ පොලීසියෙ නිලධාරීන්ට මේක අදාළ නෑ කියල. ආණ්ඩුව කොච්චර කීවත් මිනිස්සුන්ගෙ පඩි කපල මෙයාලට රුපියල් බිලියන විසිපහක්වත් හොයාගන්න බෑ.

මැතිවරණ පැවැත්වීම සම්බන්ධව මේ වෙද්දි අධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කරල තියනවා. ඒ අනුව කිසියම් ආකාරයකට අධිකරණය මැතිවරණය සඳහා දිනයක් නියම කරනු ලැබුවොත් පක්ෂයක් විදිහට මැතිවරණයකට සූදානම්ද?

ඔව්. පක්ෂයක් විදිහට අපි ඕනෙම වෙලාවක මැතිවරණයකට සූදානම්. හැබැයි සදාචාරාත්මකව මේ අවස්ථාවේ ඡන්ද ව්‍යාපාරයක් කරන්න බෑ. රට වෙනුවෙන් වැඩ කරනව කියල මේ වෙලාවෙ තමන්ගෙ ඡන්ද ලකුණ ඉස්සරහට දාගෙන වැඩ කරන එක බොරු ෂෝ. ඡන්දය තියනව කියල ඡන්ද කොමසාරිස්වරය කීවට පස්සෙ ඡන්දයට වැඩ කරන්න අපි සම්පූර්ණයෙන් සූදානම්. ඡන්ද කරනවාට වඩා මිනිස්සුන්ට ඕනෙ වෙලා තියෙන්නෙ කොහොමද එදාවේල හොයා ගන්නෙ, කොහොමද ක්‍රෙඩිට් කාඞ් එක ගෙවා ගන්නෙ, කොහොමද ලීසිං එක ගෙවා ගන්නෙ කියන එක. මිනිස්සුන්ට තමන්ගෙ පඩිය ෂුවර් නෑ. ■

රසික ගුණවර්ධන  – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සමඟ කළ සාකච්ඡාවක් (රාවය)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435