මුදලට යට කරන කාන්තාවගේ හෙට දවස

– ලලිතා රංජනී දේද්දුවකුමාර –

– ප්‍රධාන සංවිධායක – නිමි භාණ්ඩ ඇඟළුම්  රෙදි පිළි සේවක සංගමය.

වර්තමානයේ සේවා ස්ථානයේදී විශේෂයෙන් පෞද්ගලික අංශය තුළ කාන්තාවන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුව තමයි ඔවුන්ට සමාජයේ හිමිවිය යුතු නිසි පිළිගැනීම නොමැතිකම. මම නියෝජනය කරන නිමි භාණ්ඩ හා ඇම්ඟළුම් ක්ෂේත්‍රය ගත්තහම කාන්තා නියෝජනය වැඩියි. ඔවුන් මුදල් ඉපයීමේ පරමාර්ථය මත පමණක් සිය සේවය ලබා දුන්නත් රටේ ආර්ථිකයට  ඇඟළුම් සේවිකාවකගෙන් සිදුවෙන මෙහෙවර ගැන අවබෝධයක් නැහැ. ඒ වගේම සේවා ස්ථානයේදී තමන්ට හිමි අයිතිවාසිකම් හා ක්ෂේත්‍රයට හිමි අයිතිවාසිකම්,සේවකයින් වෙනුවෙන් ස්ථාපිතකර ඇති කම්කරු නීති ගැන නිසි අවබෝධයක් සේවකයින්ට නැහැ. එක විශාල ගැටළුවක්.

එවගේම කාන්තාවන්ට සේවා ස්ථානවල නිසි සෞඛ්‍ය හා සනිපාරක්ෂක පහසුකම් නෑ. පෝෂදායී ආහාර වේලක්, පහසුකම් ඇති නවාතැන්, නිසි ප්‍රවාහන පහසුකම් අවමයෙන් තමයි ඔවුන්ට ලැබෙන්නේ. නමුත් ශ්‍රමය දරුණු ලෙස සූරාකෑමට ලක්වෙනවා. ජීවත්වීමට සුදුසු තරමේ වැටුපක් නෑ. ඔවුන්ට හිමි ප්‍රසූත හිමිකම් ලැබෙන්නේ නෑ. ලිංගික හිංසනයට ලක්වීම්, මානව කූට්ටනය වර්තමානය වනවිට බරපතල ලෙස වැඩි වී තිබෙනවා. ජීවත්වීමට සරිලන වැටුපක් ලබා නොදී ඔවුන්ට නිෂ්පාදන ඉලල්ක්ක ලබා දෙමින් වැඩි වැටුපක් සොයා ගැනීමට හැකි බව මවාපාමීන් බොහෝ ආයතනවල සේවකයින්ගේ සේවය සූරා ගෙන කනවා. විශේෂයෙන් ඇඟළුම් ආයතන ගත්තහම විවිදාකාරයේ ඉලක්ක ලබා දීලා ඒ ඉලක්ක වෙත ගමන් කරන්න සේවකයින් පොළඹවනවා. මේ හේතුවෙන් ඔවුන් දැරිය නොහැකි තරම් මානසික පීඩනයෙන් ශ්‍රමය ලබා දීමට උත්සාහ කිරීම නිසා නොදැනිම ඔවුන්ගේ සෞඛ්‍ය පිරිහෙනවා. මානසික වියවුල් ඇති වීමත් සමඟ ඇතැම් අය අහිතකර දේට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවයක් ද ඉන් ගොඩ නැගෙනවා. එය අයහපත්.

මේ ගැටළු විසඳීමට මුලික වශයෙන් සේවා ආයතන මට්ටමින් ව්‍යවස්ථාපිත නිති රීති ගැනත් ජාත්‍යන්තරව පිළිගත් නීති ගැනත් සේවකයින්ට දැනුම, අවබෝධය ලබා දිය යුතුයි. විශේෂයෙන් ආයතනය තුළ සේවක අයිතීන් දැන ගැනීමේ ක්‍රමවේදයක් ඇතිකළ යුතුයි. යම් ගැටළුවකදී ඒ ගැන කියන්න ඊට විසඳුම් ලබා ගැනීමට යම් පුද්ගලයෙකු හෝ අංශයක් තිබිය යුතුයි. ඉලක්ක ලබා දීමට වඩා සේවකයින්ට නිසි වැටුපක් ලබා දෙමින් සේවක නිදහස, තෘප්තිමත් රැකියාවක්, අයිතිවසිකම් සුරැකෙන, යහපත් සේවා වටපිටාවක් ඇති කිරීමයි කළ යුත්තේ.

විශේෂයෙන් මම විශ්වාස කරන්නේ වෘත්තීය සමිති සාමාජිකයින් විදිහට අපි කළ යුත්තේ සේවා ස්ථානයේදී කාන්තාවන් ඇතුළු සියළුම දෙනා මුහුණ දෙන ගැටළු පිළිබඳව එක්වී හඬ නැගිය යුතු  බවයි. වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ වසර 20ක තරම් කාලයක අත්දැකීම් තියෙන නිසා කාන්තාවන්ට සමාජයෙන්, සේවා ආයතන වලින් සිදුවෙන අසාධාරණකම් නිරන්තරයෙන් අත්දැකලා, අත්විඳලා තියෙනවා. එම ප්‍රශ්නවලට වෘත්තීය සමිති විදිහට හඬ නඟලා තියෙනවා. එහෙම දිනා ගත් අයිතීන් තියෙනවා. ඉතින් මෙවර කාන්තා දිනයට සමඟාමීව කළ යුතු වන්නේද කාන්තාවන් හිමි අයිතිවාසිකම් ඔවුන්ට හිමිකර ගැනීමට සියළු දෙනා ඒකරාශීව හඬක් නැඟිය යුතුයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435