‘මුහුදු ගිහිල්ලා පුළුවන් නං වරෙල්ලා’ ධීවර අපට කියන්නේ ඒකද ?

22 ජුනි 2014 – wedabima.lk

 

ශ්‍රී ලාංකික ධීවරයන් යළිත් සටන් ආරම්භ කර තිබේ. ඒ අසල්වාසීs ඉන්දියාව සමග නොවේ. තමන්ගේ රටේ ආණ්‌ඩුව සමගය. සටනට හේතුව “පරණ” ය. “පරණ ප්‍රශ්න” වෙනුවෙන් උද්ඝෝෂණ, සටන්, අපේ රටට හුරු පුරුදුය. එයින් කියෑවෙන්නේ පරණ ප්‍රශ්න අමතක කර දැහැමින් සෙමෙන් වාසය කළ යුතු බව නොවේ. ප්‍රශ්නයට හරි විසඳුමක්‌ සෙවීම ආණ්‌ඩුව අමතක කර ඇති බවය.

 

ධීවර උද්ඝෝෂණය සරලව දැක්‌විය හැක්‌කේ “තෙල් ප්‍රශ්නයක්‌” ලෙසය. එය මේ රටේ හැමෝටම තිබෙන තෙල් ප්‍රශන්ය තරම්ම බරපතළය. ප්‍රශ්නය ආරම්භ වන්නේ 2012 වර්ෂයේ පෙබරවාරි මාසයේය. ඒ දවසද අද මෙන්ම දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක්‌ දියත් කරන්නට ධීවරයෝ කටයුතු කළහ. මේ විරෝධතාවට හේතු වූයේ ඔවුනගේ ජීවනෝපාය සඳහා අත්‍යවශ්‍ය සාධකයක්‌ වූ, ඉන්ධන මිල පහත දමන ලෙස ඉල්ලමිනි. පෙබරවාරි 15 වැනිදා විරෝධතාව අවසන් කෙරුණේ ධීවර සහෝදරයකු වූ “ඇන්ටනී” වෙඩි පහරකින් අවසන් ගමන් යැමෙනි. වගකිව යුත්තන් මේ තත්ත්වය විග්‍රහ කළේ “දේශපාලන උසි ගැන්වීමක්‌” යන සාම්ප්‍රදායික, හාස්‍යජනක, මුග්ධ සාධක මත පිහිටාය. ප්‍රශ්නය අවසන් කරන්නට ඒ ෙඛ්දවාචකයත් සමගම ආණ්‌ඩුව විසඳුමක්‌ ගෙන ආවේය. ඒ ඉන්ධන “සහනාධාර” යකි.

 

මේ සහනාධාරයට අනුව බහුදින ධීවර යාත්‍රාවක්‌ සඳහා රුපියල් 31200 ක්‌ ද එක්‌දින ධීවර යාත්‍රාවකට රුපියල් 18000 ක්‌ද, කුඩා යාත්‍රා හා සාම්ප්‍රදායික යාත්‍රා සඳහා රුපියල් 9375 ක්‌ද ලබාදීමට තීරණය විය. මෙය ලබාදෙන බවට ප්‍රකාශ නිකුත් වීමත් සමගම ධීවර නියෝජිතයන් බොහෝ දෙනෙක්‌ ඒ දිනවලම ඊට විරෝධය දැක්‌වූහ. ඊට හේතුව වූයේ එය එතරම් ප්‍රායෝගික නොවන දේශපාලන උප්පරවැට්‌ටියක්‌ ලෙස බොහෝ දෙනෙක්‌ මෝඩයන් යෑයි සිතා සිටින ධීවරයන් කල්තියාම හඳුනාගත් බැවිනි. ඒ නිසා ඔවුන් ඉල්ලා සිටියේ පැරණි මිලටම ඉන්ධන ලබා දෙන ලෙසය. එය වුව ඔවුනට “බරක්‌” වූ නමුදු එම මිල තත්ත්වය තමන්ට කළමනාකරණය කරගත හැකි බව ඔවුන් පෙන්වා දුන්හ. එහෙත් ක්‍රියාත්මක වූයේ “සහනාධාර” ක්‍රමයයි. ධීවරයන් මුලදී සැක පහළ කළ පරිදිම මේ සහනාධාරය ලබා දුන්නේ වසරක කාලයක්‌ පමණි. එක්‌වරම එය අත්හිටුවා දැනට මාස දහහතරක කාලයක්‌ ගතවී ඇත. ධීවරයන් යළිත් සිය විරෝධතා ආරම්භ කිරීමට තීරණය කරන්නේ එවන් තත්ත්වයක්‌ තුළය.

 

මේ වනවිට “සහනාධාරය” වෙනුවට ධීවර ආම්පන්න පැකේජයක්‌ ලබාදීමේ ක්‍රමවේදයක්‌ සැකසීමට නියමිතව ඇති බව කියති. ඒ අනුව බහුදින ධීවර යාත්‍රාවකට රුපියල් 374,400 ක්‌,  එක්‌දින ධීවර යාත්‍රාවකට රුපියල් 216,000, ක්‌ මෙන්ම කුඩා සාම්ප්‍රදායික යාත්‍රා සඳහා රුපියල් 115,000 ක්‌ ලබාදීමට නියමිත බව ද කියති. මේ වෙනුවෙන් වාර්ෂිකව වැයවෙන මුදල් ප්‍රමාණය ලෙස ගණන් බලා ඇත්තේ රුපියල් මිලියන 3900 ක්‌ ලෙසිනි. එහෙත් 2014 අයවැයෙන් ආණ්‌ඩුව වෙන් කර ඇති මුදල වන්නේ රුපියල් මිලියන 2681 ක්‌ පමණි.

 

සමස්‌ත ලංකා පොදු ධීවර සංගමය කියන ආකාරයට මෙම ඉන්ධන සහනාධාරය ගැන විටින් විට ආණ්‌ඩුවට සිහිපත් කිරීම් කර ඇත. සමස්‌ත ලංකා පොදු ධීවර සංගමය 2014 අයවැය සඳහා මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ යෝජනාවලියේ පළමු යෝජනාව වන්නේද මෙම සහනාධාර අර්බුදයයි. එහෙත් මේ කිසිවක්‌ ගැන නොතකමින් 2014 අයවැය වෙනුවෙන් ධීවර අමාත්‍යාංශයට වෙන් කළ මුදල ධීවරයන්ට ඉන්ධන සහනාධාර ලබාදීම සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

 

මේ වනවිට ධීවරයන් සිය දෛනික ධීවර කටයුතුවලින් ඉවත් වී උද්ඝෝෂණයේ නිරතව සිටින්නේ මේ ගැටලුකාරී තත්ත්වයක්‌ තුළය.

 

ආණ්‌ඩුව ගෙන එන විවිධ පොරොන්දු ඉදිරියේ තවදුරටත් රැවටෙන්නට සූදානම් නැති බව මේ සියලු ධීවරයන්ගේ හඬය.

 

මීගමුව, හැඳල, පිටිපන, වෙන්නප්පුව, තොඩුවාව, හලාවත සමාන්තර ධීවර කලාපයේ ධීවරයන් එය උපවාස ක්‍රියාමාර්ගයක්‌ දක්‌වා දිගුවක්‌ ලෙස ක්‍රියාත්මක කරන්නේ ප්‍රශ්නය ධීවරයන්ට දැනෙන තරමට බරපතළ එකක්‌ වී ඇති බැවිනි.

 

පරණ මිලටම ඉන්ධන ලබා දෙන්න යෑයි කී ධීවරයන් ජීවිත පරිත්‍යාගයෙන් ඒ වෙනුවෙන් සටන් වදිද්දී, ආණ්‌ඩුව ලබා දුන්නේ “සහනාධාරය” කි. ඒ යෝජනාව ධීවරයන්ගේ පාර්ශ්වයන් සැලසුම් කළ එකක්‌ නොවේ. එසේ නම් එවැනි සහනාධාරයක්‌” දෙන්නට ආණ්‌ඩුවට සැලසුමක, ක්‍රමවේදයක්‌ තිබිය යුතුය. එවැනි පියවරකට ආණ්‌ඩුව ගමන් කළේ එහෙයිනි. එහෙත් එවැනි සැලසුමක්‌ ඉදිරිපත් කළ ආණ්‌ඩුවම සහනාධාරය අත්හිටුවන්නට ක්‍රියා කරන්නේ, එය විධිමත් ලෙස ක්‍රියාත්මක නොවූ (ආණ්‌ඩුවේ නිලධාරීන්ගේ බොහෝ සැලසුම් සේම) එකක්‌ වූ නිසා බව කිසිදු සැකයකින් තොරව කිව හැකිය. බොහෝ විට ආණ්‌ඩුව කියන්නේ මේ උද්ඝෝෂණ, උපවාස සඳහා සහභාගි වන්නේ ඉතා සුළු පිරිසක්‌ බවය. ධීවරයන් සම්බන්ධයෙන් ද එහි වෙනසක්‌ නැත. එහෙත් සමස්‌ත ධීවර ප්‍රජාවම මේ මොහොතේ මේ වෙනුවෙන් පෙළ ගැසී සිටින්නෝය”.

 

එහෙත් ධීවරයන්ට පමණක්‌ නොව සමස්‌ත රටේම ජනතාව ඉන්ධන මිල ගැන සිටින්නේ එකම මතයකය. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවන වාරයක්‌ පාසා කිසි විටෙකත් පහළ නොයන අපේ රටේ ඉන්ධන මිල ගැන රටේම ජනතාව කතා කරන, උද්ඝෝෂණ පැවැත්වූ වාර ගණන පොළොවේ පය ගසා සිටින බොහෝ උදවිය දනිති. ඒ අනුව ගත් කල සමස්‌ත ධීවර ජනතාවටද එය පොදු ප්‍රශ්නයකි. ධීවරයාට ඉන්ධන අත්‍යවශ්‍ය සාධකයකි. ඔවුන් සටන් කරන්නේ ඒ වෙනුවෙනි. උතුර නැගෙනහිර ධීවරයාට දකුණේ ධීවරයාට මේ අර්බුදය නොදැනෙන්නේ මන්දැයි “පාසල් යැමට අමතක” වූ දේශපාලනඥයකුට සිතිය හැක. පිළිතුර එලෙස උතුර නැගෙනහිර ධීවරයාට මේ වනවිටත් හිතන්නට විසඳුම් සොයන්නට ප්‍රශ්නයක්‌ වගකිව යුත්තන් විසින්ම නිර්මාණය කරදී තිබේ. ඒ ඉන්දියානු ධීවර ආක්‍රමණයයි. උතුර නැගෙනහිර ධීවරයා තෙල් සහනාධාරය ඉල්ලන්නට පෙර මුහුදු යන්නට ක්‍රමයක්‌ සොයා ගත යුතුය. ඉන්පසුව දකුණේ ධීවරයන්ටත් වඩා අර්බුදය ප්‍රබලව දැනෙන්නේ ඔවුනට බව සැකයක්‌ නැත.

 

ධීවරයන් ප්‍රදේශ අනුව හෝ සංඛ්‍යාත්මකව ගණනය කර මෙය දේශපාලන උසි ගැන්වීමක්‌ යෑයි කියමින් සියලු වැරදි ඔවුන් පිට පටවා සහනාධාර, පැකේජ අහිමි කිරීමට කටයුතු කළ ද පුදුම විය යුතු නැත.

 

මේ ධීවරයන් ඉන්ධන මිල පහත හෙළන්නට යෑයි කියන්නේ ආණ්‌ඩු බලය ගන්නට නොවේ. මේ කිසිවෙකුටත් රජය පෙරළා දැමීමේ සිහින නැත. මේ සටන් වදින්නේ සිය ජීවනෝපාය සඳහා ය. මේ තිබෙන්නේ ගොවීන්ට තිබෙන අර්බුදයමය, මේ තිබෙන්නේ ගුරුවරයාට විශ්වවිද්‍යාල ආචාර්යවරයාට ඇති අර්බුදයමය. මේ තියෙන්නේ කම්කරුවාට ඇති අර්බුදයමය. වෙනසකට ඇත්තේ අර්බුදයේ ස්‌වභාවය වෙනස්‌ වීම පමණකි. මේ පෙළ ගැසීම කුමන්ත්‍රණකාරී දේශපාලන හංවඩුවකට යටත් කිරීම සදාචාරාත්මක නොවේ. 2012 පෙබරවාරි වෙඩි පහරකින් මිය ගිය ඇන්ටනි “ධීවර ජනතා පක්‍ෂයේ” මිස රතු, කොළ, නිල්, කිසිදු පක්‍ෂයකට අයත් වූවෙකු නොවේ.

 

ඒ මරණයත් සමගම “සහනාධාරයක්‌” ධීවරයන් මත පටවා වසරක්‌ ඉක්‌ම යැමටත් පෙර එය අහිමි කරවමින්, නැවතත් ධීවරයා කබලෙන් ලිපට ඇද දැමීම සදාචාරාත්මක දැයි විමසිය යුතුය.

 

මූලාශ්‍රය – දිවයින

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435