මෙරට තුළ වෘත්තීය සමිති හා බැඳි නීතිමය පසුබිම

ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන වෘත්තීය සමිති නීතිය රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන පරිච්ඡේදයේ 14 (ආ) වන ව්‍යවස්ථාවේ සාමකාමීව රැස්වීමේ නිදහස ද 14 (ඇ) ව්‍යවස්ථාව මඟින් වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය  සමිතිවලට බැඳීමේ නිදහස යනාදිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සහතික කොට ආරක්ෂාකර ඇති ප්‍රතිපාදනයකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අනෙකුත් ව්‍යවස්ථාපිත විධිවිධාන මඟින් එවැනි පිළිගැනීමක් සහ ආරක්ෂාවක් වෘත්තීය සමිතිවලට තිබුනද එකී වැදගත් තත්ත්වය භුක්ති විදීමට බොහෝ සේවකයින් මැලිවී තිබේ. මක්නිසාද යත් වෘත්තීය සමිතියකට බැදීමට ඇති අකමැතිබව, සමාජයට අනුගත වීමට,ඉදිරියට ඒමට ඉදිරිපත් නොවීම යනාදී කරුණු ශ්‍රී ලාංකීය කම්කරු ව්‍යාපාරය තුළ සේවකයින්ගේ ඇති පොදු ලක්ෂණයකි. තවද පාර්ලිමේන්තුව මඟින් සම්මත කර ඇති මෙකී නීති බලාත්මක කර ගැනීමට වෘත්තීය සමිති තව තවත් උත්සුක විය යුතුය.

එසේම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් නීති රාමුව තුළ සිදුකල යුතු බවත් එමගින් වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ගේ නෛතික භාවය රැකගත හැකි බවටත් ඉතිහාසගත සිද්ධීන් මනාව පැහැදිලි කරයි.

ඊට උදාහරණ ලෙස ප්‍රංශ විප්ලවයෙහි වෘත්තීය සමිති සීමාව ඉක්මවා කරන ලද ක්‍රියාවන් නිසා පාලන පක්ෂය එකල වෘත්තීය සමිති කෙරෙහි තදබල අවිශ්වාසයකින් සහ සැකකාරී ලෙස බලන්නට විය.එමෙනන්ම වෘත්තීය සමිති දෙස සාපරාධීව බලන්නට විය.

එහිදී වෘත්තීය සමිතියකට බැඳෙන හෝ වැඩ වර්ජනයකට සහභාගීවෙන ඕනෑම සේවකයෙකුට ලඝු නඩු විභාගයකින් පසු සිරගත කරන්නට විය.මෙවැනි තත්ත්වයන් වර්තමානයේද හිස ඔසවමින් පවතින බවක් පෙනෙන අතර එවැනි ක්‍රියාවන් මානව අයිතීන් උල්ලංඝණය කිරීමක් බවට මනාව පැහැදිලි වෙයි.

මෙකී වෘත්තීය සමිති රජයට විරුද්ධව කුමන්ත්‍රණ, කැරලි, කලකෝලාහල සිදු කරන රහස් සංවිධාන ලෙස සලකන්නට විය. වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ඉන් නොසැලී ඉදිරි පෙරමුනේම ක්‍රියාකරමින් තම අයිතීන් දිනාගන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රමයෙන් වෘත්තීය සමිති කෙරෙහි පනවා තිබූ සීමා කිරීම් ලිහිල් කිරීමට හේතුවිය.

තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාවේ පිළිගෙන ඇති අයිතිවාසිකම්15(7) ව්‍යවස්ථාවෙන් සීමා කිරීම් කර ඇත. එනම්,

අ – මහජන ආරක්ෂාව

ආ -මහජන සාමය

ඇ – සෞඛ්‍ය හෝ සදාචාරය

ඈ -අන්‍යන්ගේ අයිතිවාසිකම් සහ නිදහස

ඉ – ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු ගුණ සාධනයට අයත් යුක්ති සහගත අවශ්‍යතා සපුරා ලීම

යනාදියට බාධාවකින් තොරව මෙම වෘත්තිය අයිතිවාසිකම් භුක්ති විදිය යුතුබව ව්‍යවස්ථාවේ සඳහන් වුවද වර්තමානයේ මෙකී රාමුව තුළ ක්‍රියාකරමින් වැඩවර්ජන අයිතිවාසිකම් භුක්ති විදීමට නොහැකි තත්ත්වයක් පැනනැගී ඇති බව පෙනී යයි.

වෘත්තීය සමිති ආඥා පනතේ 2 වගන්තියට අනුව පහත සඳහන් කරුණු එකක් හෝ වැඩි ගණනක් එහි අරමුණු වශයෙන් ඇති තාවකාලිකව හෝ ස්ථීර ඕනෑම කම්කරු හෝ සේවක සමිතියක් හෝ එකමුතුවක් වෘත්තීය සමිතියක් යන්න නිර්වචනය කරයි. ඒ අනුව

සේවකයින් හා සේවායෝජකයින් අතර හෝ සේවකයින් හා සේවකයින් අතර හෝ සේවායෝජකයින් හා සේවායෝජකයින් අතර හෝ සම්බන්ධතා විධිමත් කිරීමයි.

යම්කිසි වෘත්තියක හෝ ව්‍යාරයක ක්‍රියා කලාපය කෙරෙහි සීමාකාරී කොන්දේසි පැනවීම.

අ- වෘත්තීය ආරවුලට බැදි සේවකයින් හෝ සේවා යෝජකයින් නියෝජනය කිරීම

ඈ- ඕනෑම වෘත්තියක හෝ කර්මාන්තයක වැඩ වර්ජන හෝ පිටලෑම් ඇති කිරීම හෝ සංවිධානය කිරීම කිරීම හෝ වැඩ වර්ජනයක් පවත්නා අවස්ථාවේදී එහි සාමාජිකයින්ට පඩි හෝ අනිකුත් ප්‍රතිලාභ සැපයීම.

මෙයට වෘත්තීය සමිති දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකට බැඳි සංගමයක් අයත් වේ. වෘත්තීය සමිතියක් නෛතික වශයෙන් පිළිගැනීමට නම් ව්‍යවස්ථාපිත අරමුණු වලින් එකක් හෝ වැඩි ගණනක් එකී ප්‍රධාන අරමුණ විය යුතුයි. ඒ අනුව ආඥා පණත යටතේ වෘත්තීය සමිතියක් පළමුවෙන්ම ලියාපදිංචි කරන ලද්දේ ලංකාවේ සේවායෝජකයින්ගේ ඒකාබද්ධ සංගමයක් මිස සේවකයින්ගේ සමිතියක් නොවේ.

වෘත්තීය සමිතියක් ලියාපදිංචි කිරීමේ අයිතිවාසිකම්, වරප්‍රසාද ලියාපදිංචි නොකළ සමිතියකට නොලැබේ. තවද ආඥා පණතේ 26 වන වගන්තිය මගින් වෘත්තීය සංගමයේ ආරවුලක පැවැත්මට හෝ ආරවුල් සඳහා හෝ කරන ලද ක්‍රියා පිළිබඳව නඩු පවරනු ලැබීමේ චෝදනාවෙන් වෘත්තීය සමිතිය හෝ එහි නිලධාරීන් නිදහස් කරනු ලැබේ. එනම් වෘත්තීය සමිතිවල අරමුණු වෘත්තින් මැඩ පැවැත්වීමටය යන පදනම් මත කිසිඳු සමිතියකට විරුද්ධව නඩුවක් පැවරිය නොහැකිය.30(1) වගන්තියට අනුව ඕනෑම ලියාපදිංචි කළ වෘත්තීය සමිතියකට විරුද්ධව එහි ලියාපදිංචි නමින් නඩු පැවරිය හැකිය. තවද වෘත්තීය සමිතියක දේපල වලට විරුද්ධව තහනම් නියෝග පැනවිය හැකිවුවද සුභසාධන අරමුදලක් නමින් ඇති දායක මුදල් තහනම් කළ නොහැක.

1935 දී වෘත්තීය සමිති ආඥා පනත පැනවීමත් සමගම රජයේ සේවකයින්ට වෘත්තීය සමිති ලියාපදිංචි කිරීමට ඉඩ සලසා නොතිබුණි.නමුත් මෙම පනත සංශෝධනය වීමත් සමඟම මෙකී සීමාකාරී කොන්දේසි ඉවත් කරමින් අදවනවිට සමහර රජයේ සේවකයින්ට පමණක් සංවිධානය වීමේ අයිතිය නැත. එනම් අධිකරණ නිලධාරීන්, සන්නද්ධ හමුදාවල සාමාජිකයින්, පොලිස් නිලධාරීන්,කෘෂිකර්ම, හමුදා ආඥා පනත යටතේ පිහිටුවන ලද ඕනෑම හමුදාවක සාමාජිකයින් අයත් වේ.

වෘත්තීය සමිතිවල නියම ක්‍රියාකාරීත්වයට හිතකර ලක්ෂණද සංවිධානය වීමට ඇති අයිතියට ඇතුළත් වේ. එනම් වෘත්තීය සමිති පිළිගැනීම,සාමුහික කතිකාව සහ වැඩවර්ජන කටයුතු යනාදිය  යි.

වෘත්තීය සමිතියක ප්‍රධාන අරමුණු වලින් එකක් වන්නේ සිය සමාජිකයින්ට වඩාත් හොඳ සේවා නියමයන් හා කොන්දේසි ලබා ගැනීමට උත්සාහ කිරීමයි.මේ අරමුණු ඉටුකර ගැනීම සඳහා ඒ ඒ සේවා යෝජකයින් විසින් වෘත්තීය සමිති පිළිගත යුතු අතර සේවා යෝජකයින් සමඟ සාකච්ඡා කර නිදහසේ කතිකාවන්ට එළැඹිය යුතුය.

සටහන-නීති නිලධාරී ලිලන්ති කුමාර

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435