මෙවර ඇය වැය පුස්සක් – බැංකු සේවකයෝ කියති!

රටේ දැවෙන ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් නොමැතිව හුදෙක් අමාත්‍යංශවල කාර්යයක් පමණක් හුවා දක්වා ඇති මෙවර අයවැය පුස්සක් බව ලංකා බැංකු සේවක සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් රංජන් සේනානයක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක ඒ බැව් සඳහන්ය.

එකී සම්පූර්ණ කරුණු දැක්වීම පහත පරිදිය.

ඉකුත් මාර්තු මස 05 වැනි දින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරි වර්ෂයට අදාළ අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මංගල සමරවීර මුදල් අමාත්‍යවරයාගේ මංගල අයවැය වූ 2018 අයවැය ඉතාමත් දැඩිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (International Monetary Fund-IMF)කොන්දේසි අනුව ක‍්‍රියාත්මක කර තිබුණි. එය ජනතාවට විශාල පීඩනයක් ගෙනදුන් අයවැයක් ලෙස අප නිරීක්‍ෂණය කළෙමු.

ජාත්‍යන්තර ණය ඒජන්තයින්ගේ ණය කොන්දේසිවලින් මිරිකී හෙම්බත් වූ ලාංකීය ජන සමාජය යහපාලන ආණ්ඩුව කෙරෙහි විරෝධයකට එහා ගිය වෛරයක් දක්වා ජනමතය ගොඩ නැගුනේ හිත් පිත් නැති බදුකරණය, රාජ්‍ය දේපළ විකණීම සහ මිල සූත‍්‍ර වැනි ජනපීඩක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක‍්‍රියාත්මක කිරිමට දිගින් දිගටම උත්සාහ ගත් නිසාය.

2018 වසරේ අගභාගයේ දේශපාලන ක්ෂේත්‍රෙය් ඇතිවූ බලපෙරළියත් සමග IMF මරණීය ණය කොන්දේසි තවදුරටත් අයවැයක් හරහා බලගන්වන්නේදැයි දෙගිඩියාවකට මංගල අමාත්‍යවරයා පත්වීමත් සමග 2019 අයවැය ‘‘මංගල – IMF’’ දීගය අඩියක් ආපස්සට ගත් අයවැයක් ලෙස හැඳින්විය හැකිය.

මැතිවරණ වසරක අයවැයක් හරහා ජනතාව විශාල බලාපොරොත්තු තබා සිටිය ද, එමෙන්ම ආණ්ඩු පාර්ශවයේ පිරිස් ගමට ගොස් ඡන්ද ව්‍යාපාරයේ නියැලීමට විශාල ලෙස සහන බලාපොරොත්තු වුව ද රටෙහි පවතින ආර්ථික අර්බුදය සමග ඉදිරිපත් කළ අයවැය ‘‘පුස්සක්’’ බව සියල්ලටම වැටහී හමාරය.

අයවැය කොන්දේසි 213 ක් සහිතව ඉදිරිපත් වූ අයවැය තුළ වියදම් සඳහා වූ කොන්දේසි 194 ක් ඇත. ආදායම් සඳහා වූ කොන්දේසි 15 ක් ඇත.

වියදම් සඳහා දක්වා ඇති කොන්දේසි 194 න් සත්‍ය ලෙසම මුල්‍ය වෙන්කිරීමේ කොන්දේසි ඇත්තේ 75 ක් පමණි.

ලස්සන වචන සහිත භාෂා අලංකාරයෙන් සැඟවුණු වියදම් වෙන් කිරිම් තුළ ද බොහෝ වියදම් ප‍්‍රදර්ශනාත්මක ප‍්‍රායෝගික නොවන වෙන් කිරිම් ලෙස දැක්විය හැකිය.

උදාහරණයක් ලෙස ප‍්‍රාථමික පාසල්වල ළමුන් සඳහා ලබාදෙන කිරි වීදුරුවට වසරටම රුපියල් මිලියන 1000 ක් වෙන්කර ඇත. ලංකාවේ ප‍්‍රාථමික පාසල් ළමුන් ගණන 1,700,675 කි. එනම් එක් සිසුවෙකුට වසරකට කිරි සඳහා වෙන් කෙරෙන්නේ රු. 588 ක මුදලකි. එය පාසල් පැවැත්වෙන දින ගණන වසරකට 180 ක් සේ සළකා බැලූවොත් දිනකට කිරි වීදුරුවකට රු. 3.20 ක් පමණ වෙන්කර ඇත. රු. 3.20 කිරි වීදුරුවක් ගැනීම ලංකාවේ ප‍්‍රායෝගික නැත.

තවද වැසිකිළි පහසුකම් සැපයීමට වෙන්කර ඇති රුපියල් මිලියන 4000 මගින් පවුල් 260,000 සැපයීම මගින් එක් වැසිකිළියකට රු.15,000 කට ආසන්න මුදලක් වෙන්කර ඇත.

රු. 15,000/= කින් වැසිකිළියක් ඉදිකළ හැකිදැයි ඔබට වැටහෙනු ඇත. තවද අයවැය තුළ ලංකාවේ පවුල් 260,000 ක් වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැති බව ද එය හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ 15,000 ක් බව ද පැවසුවත් 2016 ජාතික නිවාස සංගණනයට අනුව ලංකාවේ වැසිකිළි නැති ජනගහනය 193,000 ක් ද, හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ එය 9800 ක් ද වේ.

එවැනි ප‍්‍රායෝගික නොවන අයවැය යෝජනා රැසක් සමගින් දිග හැරෙන්නේ මෙම අයවැය තුළ බොහෝ ප‍්‍රකාශ ඇත්තේ රජයක අයවැය තුළනය සඳහා වූ සාර්ව ප‍්‍රතිපත්ති (ෆිස්කල් ප‍්‍රතිපත්ති) නොව ඒ ඒ දෙපාර්තමේන්තුවලින් මුදල් ලැබුණු පසු සිදුකරන කාර්යයන් හුවා දැක්වීම්ය.

2019 වසරේ දී සමස්ත ආදායම රුපියල් බිලියන 2403 ක් වනවිට රාජ්‍ය වියදම රුපියල් බිලියන 4640 ක් ලෙස දක්වා ඇත. අයවැය පරතරය රුපියල් බිලියන 2079 කි. මෙම මුදල ද 2019 වසරේ රටේ ණය බරට එකතු වීමට නියමිතය.

රටේ සමස්ත ණය බර දිගින් දිගටම වැඩිවන වටපිටාවක රටෙහි පුරවැසියන් ද ණය කෙරෙහි පෙළඹවීම මෙම සමස්ත අයවැය පුරාම දක්නට ඇත.

‘‘එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’’ හරහා ණය යෝජනා 13 ක් අයවැයෙන් සමස්ත සුභසාධන ක‍්‍රියාවලියම දියත්කර ඇත. කෘෂිකර්මයට, නව ව්‍යවසායන්ට, කර්මාන්තවලට, වාහන සඳහා, ව්‍යවසායකයින්ට, ධීවරයින්ට අයවැයේ සියලූම දේ සඳහා විවිධ වූ ණය යෝජනා ක‍්‍රම ආණ්ඩුව අයවැය තුළ හඳුන්වාදීම නිසා මෙය ‘‘ණය සුභසාධන’’ අයවැයක් ලෙස දැක්විය හැකිය.

මෙම ණය වර්ගයන් සියල්ල බැංකු හරහා ජනතාවට ලබාදීමට ආණ්ඩුව යෝජනා කරයි. මෙම ණය ලබාදීම්වලට අවශ්‍ය ප‍්‍රතිපාදන ද අයවැය තුළ වෙන්කර නැත. මෙලෙස ණය ලබාදීමේ දී බැංකුවල පවතින ස්වාධීන ණය ඇගයීමේ ක‍්‍රියාවලියට ද යම් බලපෑමක් මෙම අයවැය හරහා යෝජනාකර ඇත.

ඒ ණය වර්ග ප‍්‍රවර්ධනයට බාධා කරන බැංකු නිලධාරින්ට පැමිණිලි කිරීමට 1925 ක්‍ෂණික දුරකථන අංකය හඳුන්වා දෙමිනි. එමගින් මෙම ණය ප‍්‍රවර්ධනයන්හි සැබෑ අවශ්‍යතාවන් යටපත්කර දේශපාලන අභිලාෂයන් මුදුන්පත්කර ගැනීමට වක‍්‍ර බලපෑමක් කර ඇත.

විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ 2019 අයවැය රට මෙන්ම පුරවැසියා ද ණය උගුලක හිරකිරීමේ ආරම්භයක් ලබාගෙන ඇත.

‘‘රාජ්‍ය පෞද්ගලික ව්‍යවසාය’’ (Public Private Partnership – PPP) මොඩලය ගියවර අයවැය පුරාවටම පැවතුන ද මෙම අයවැයේ දී එය කිහිප තැනක දක්නට ඇත.

එනම් දුම්රිය මැදිරි පෞද්ගලික අංශයට පැවරීමත්, දුම්රිය ස්ථානවල සනීපාරක්‍ෂක අවශ්‍යතා පෞද්ගලික අංශයට පැවරීමත්, එළිමහන් සිර කඳවුරු ඇති කිරීම, කෘෂි නිෂ්පාදන ගබඩා ඉදි කිරීම වැනි ක්‍ෂෙත‍්‍රවලට රජය පෞද්ගලික අංශය හා ඵ්ඵ්ඵ් ක‍්‍රමවේදය යෝජනා කරනු ලැබේ.

තවද පසුගිය කාලවකවානුවල දිගින් දිගටම වෘත්තිය සමිති වෙතින් දැඩි විරොධයක් එල්ල වු කම්කරු නීති සංශෝධනය මෙවර අයවැය තුළ අවස්ථා දෙකක ක‍්‍රියාත්මක කරන බව පවසා තිබේ. කාන්තාවන් ශ‍්‍රම වෙළඳපොළට ගෙන්වා ගැනීමට කම්කරු නීති සංශෝධනය කරන බව අයවැයෙන් පෙන්වා දී තිබුණත් ඒ සඳහා අප සංගම් දැඩි විරෝධය දක්වනු ලැබෙයි.

පසුගිය වසර පුරාම පෙන්වා දුන් කම්කරු ප‍්‍රජාවගේ සේවක සුභසාධක වරප‍්‍රසාද බදු සඳහා ගණනය කරන ආදායමක් සේ සළකා කටයුතු කිරීම ඉවත් කිරීමට මංගල සමරවීර ඇමතිවරයා එකඟ වී තිබුණත්, එය අයවැය යෝජනාවක් ලෙස ගෙන ඒමට කටයුතු නොකිරීම සමස්ත පෞද්ගලික අංශයේම සේවකයින් නොසළකා හැරීමක් ලෙස අප විසින් සලකනු ලැබේ. එය නිවැරදි නොවුවහොත් දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ග ගන්නා බව ද ප‍්‍රකාශ කරමු.

පසුගිය 2018 වසරේ අයවැයෙහි බදු ආදායම රුපියල් බිලියන 2034 ක් වුවත් ළඟාකර ගෙන ඇත්තේ රුපියල් බිලියන 1712 කි. මෙම බදු අපේක්‍ෂිත ප‍්‍රමාණය නොලැබීමේ දී ‘‘ඍජු බදු’’ වන ආදායම් බදු අයකර ගැනීමේ දුර්වලතා පවතින බව අප සංගමයක් ලෙස විශ්වාස කරමු. මෙලෙස පුද්ගලයින් සහ ආයතනවලින් අයකරන ඍජු බදු ගණනයේ දී සිදුවන විෂමතා හේතුවෙන් අපේක්‍ෂිත බදු ආදායම ලබාගගත නොහැකි බව අපි විශ්වාස කරමු. එබැවින් ඍජු බදු අයකර ගැනීමේ යාන්ත‍්‍රණය කෙරෙහි දැඩි අවධානයක් යොමුකළ යුතු වේ. ඍජු බදු හා වක‍්‍ර බදු අතර අනුපාතය 15:85 යන අනුපාතය 40:60 දක්වා ගෙන එන බව රජය පැවසුවත් එය දිගින් දිගටම ඍජු බදු අඩුවෙමින් ද, වක‍්‍ර බදු වැඩි වෙමින් ද සමාජයේ පහත මාලයට දැඩි පීඩාවක් ගෙන දෙමින් පවතී.

රාජ්‍ය ආදායම සපයා ගැනීමේ දී රථවාහන හා දුම්කොල මධ්‍යසාර මත වැඩි බරක් තබා තිබේ. ඊට අමතරව අධිවේගී මාර්ග ගාස්තු වාහන අංක තහඩු ගාස්තු වලින් ද, ආර්ථික සේවා ගාස්තු ඉහළ දමමින් ද රජය එම ආදායම 2019 දී වැඩිකර ගැනීමට සැළසුම්කර තිබේ.

තවද රජය ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ඉන්දියාව, චීනය හා තායිලන්තය අතර අත්සන් කිරිමට කටයුතු කරන බව පවසයි. සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සාර්ථකව ක‍්‍රියාත්මක වන බව පැවසීම සම්පූර්ණ අසත්‍යයකි. අප සංගමයක් ලෙස දිගින් දිගටම පවසන්නේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම්වලට රටක් ලෙස අවතීරණවීමට පෙර රටෙහි ජාතික වෙළඳ ප‍්‍රතිපත්තිය ස්ථාපනය කළයුතු බවයි. එසේ නොමැති නම් ජාත්‍යන්තර වෙළඳාමේ දී දේශීය පාරිභෝගිකයාත්, දේශිය ව්‍යවාසයකයත් ආරක්‍ෂාකර ගැනීමට අප අපොහොසත් වේ.

ආයෝජකයින්ට සහ නිෂ්පාදකයින්ට විශාල බදු සහන දෙමින් ජනතා මත විවිධ වූ වක‍්‍ර බදු පැටවීම මෙම අයවැය පුරාවටම දක්නට ඇති සුවිශේෂ කරුණ වෙයි.

සමස්ත 2019 අයවැය පිළිබඳ එක් එක් ක්‍ෂෙත‍්‍ර කෙරෙහි විග‍්‍රයක් අප පර්යේෂණ හා පුහුණු ඒකකය මගින් සිදු කරමින් සිටියි. ඉදිරියේ දී ඒ පිළිබඳ අපි මාධ්‍ය දැනුම්වත් කිරිමට කටයුතු කරන්නෙමු.

මැතිවරණය අභිමුව සිටිමින් ජනතා සහන දීම සඳහා ‘‘ණය සුභසාධන’’ යෝජනා ක‍්‍රම රැසක් ඇතුළත් මෙම අයවැය රටේ ආර්ථිකයේ සාර්ව ගැටලූ වෙත අවධානයක් දක්වා නොමැත.

රුපියල අවප‍්‍රමාණය වීම, විදේශ සංචිත ආරක්‍ෂාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයකින් තොරව ඉහළ යාම, පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩි නොවීම ආදී සාර්ව ආර්ථික ගැටලූ කෙරෙහි කිසිදු බර තැබීමක් කර නොමැතිව ඒ ඒ දෙපාර්තමේන්තු සහ අමාත්‍යංශවලින් සිදු කෙරන ‘‘කාර්යයන්’’ පමණක් හුවා දැක්වූ 2019 අයවැය පුස්සක් බව අප සංගමයේ මතය වේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435