මෙවර ලෝක කම්කරු සම්මේලනටය අපගේ සහභාගිත්වය නිවැරදිද?

ලෝක කම්කරු සංවිධානය (ILO) යනු වැඩ කරන ජනතාව විසින් තමන් වෙනුවෙන් පිහිටුවාගෙන ඇති ජගත් ආයතනයකි. ලෝක කම්කරු සංවිධානය ආරම්භ වීම සනිටුහන් කරන්නේ පළවැනි ලෝක යුද්ධයේ අවසානයයි. ඒ අනුව 1919 සිට අද දක්වා ලෝක කම්කරු සංවිධානය කම්කරුවන් හෙවත් වැඩ කරන ජනතාව වෙනුවෙන් කර ඇති සේවාව අති විශාලයිග මෙම සංවිධානයේ වාර්ෂික රැස්වීම හඳුන්වන්නේ ලෝක කම්කරු සම්මේලනය නමින්. එය සෑම වසරකම ජූනි මස ස්විස්ටර්ලනතයේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතයි.

මෙම සම්මේලනය තුලින් ලෝකය පුරා විසිරී සිටින කම්කරු ජනතාවගේ අයිතීන් ආරක්‍ෂා කිරීම සඳහා සඳහා සම්මුතීන් (Conventions) හා නිර්දේශ (Recommendations) ඉදිරිපත් කිරීමට ලොව පුරා ඇති රටවල් නියෝජනය කරමින් පැමිණෙන නියෝජිතයින්ට අවස්ථා සැලසේ. ලෝක කම්කරු සංවිධානයේ මේ වනවිට සාමාජිකත්වය ලබා ඇති රටවල් ගණන 185කි.

වාර්ෂික කම්කරු සම්මේලනය සඳහා එක් රටකින් සහභාගී වන ඡන්ද හිමි නියෝජිත සංඛ්‍යාව සම්මේලනය විසින් ප‍්‍රමිතිගත කර ඇත්තේ රජයේ නියෝජිතවරුන් 02ක් හාම්පුතුන්ගේ නියෝජිතයින් 01ක් හා වෘත්තීය සමිති නියෝජිතයින් 01 ක් වශයෙනි. නමුත් මෙම පිරිසට අමතරව මේ තුන් කොට්ඨාශයටම උපදේශකයින් 08 බැගින් සහභාගි කරවීමට අවස්ථාව ලැබී තිබේ. ඒ අනුව ලෝක කම්කරු සම්මේලනයට එක් රටකින් සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව 37ක්.

ශ‍්‍රී ලංකාව ලෝක කම්කරු සංවිධානයේ සාමාජික රටක් වන්නේ 1948 වසරේ සිටයි. ඒ හේතුවෙන් ශ‍්‍රී ලංකාව සෑම වසරකම මෙම වාර්ෂික සම්මේලනයට සහභාගි වීමේ වරම ලබනවා. ඒ අනුව අපේ රට ලෝක කම්කරු සම්මේලනය නියෝජනය කර ඇති වාර ගණන 67 ක් වන බව සිහිපත් කල යුතුයි. ILO  ශ‍්‍රී ලංකා නියෝජනයේ වැදගත් සංධිස්ථාන කීපයක්ද අතීතයෙන් අපට හමුවනවා. ඒ කම්කරු කොන්ග‍්‍රසයේ නියෝජිතයෙක් ILO පාලක මණ්ඩලයට ඇතුල් වීමත් අචාර්ය දයාන් ජයතිලක මහතා ලෝක කම්කරු සම්මේලනයේ සභාපතිත්වය හෙබවීමත් යන කාරණායි.

මෙවර ජිනීවා හිදී පැවැත්වුණ කම්කරු සම්මේලනය ශ‍්‍රී ලංකාව නියෝජනය කල ආකාරය විමසනු වටී. එයට ප‍්‍රථම සලකා බැලිය යුතතේ එම නියෝජනය තෝරා ගන්නා ආකාරයය යැයි සිතමිග කම්කරුවන් වෙනුවෙන් පැවැත්වෙන මෙම සම්මේලනයට කම්කරුවන්ගේ අභිමතය පරිදි නියෝජිතයන් පත්කර යැවිය නොහැකි බව පිලිගත යුතු සත්‍යය වෙයි. පවතින රජය විසින් මෙම පිරිස තේරීම සිදු කෙරේ. මේ  සම්බන්ධව කම්කරු නායකයින්ගේ ස්ථාවරය කුමක්ද යන්න තවමත් අපැහැදිලිය. කම්කරු අයිතීන් වෙනුවෙන් නිරන්තරව රජය සමග අරගල කරන රජය මගින් මර්ධනයට ලක්වන මෙම නායකයින් ලෝක කම්කරු සම්මේලනයට යාමේදී පමණක් රජය ඉදිරියේ එහෙයියන් වන්නේ ඇයි? කම්කරු නායකයින් කියා ගන්නා අය කම්කරු ප‍්‍රජාවට වහා පිළිතුරු සැපයිය යුතු ප‍්‍රශ්ණය වන්නේ එයයි. දැන් මෙවර සහභාගිත්වය විමසමු.

වැඩ කරන ජනතාවගේ ඡන්ද බලය හිමි නියෝජිතයා (Workers Delegate) ලෙස සහභාගි වී ඇත්තේ වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමති කේ වෙලායුදන් මහතාය.  ඔහු නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයට අයත් ලංකා ජාතික වතු කම්කරු සංගමය යි. මෙයට අමතරව ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය නියෝජනය කරමින් ලෙස්ලි දේවේන්ද‍්‍ර මහතා ද ලංකා සමසමාජ පක්‍ෂයේ වෘත්තීය සමිතිය වන ලංකා සේවක සම්මේලනය නියෝජනය කරමින් ටී එම් ආර් රශිඩීන් මහතා ද වෙළඳ කලාප හා පොදු සේවක සංගමය නියෝජනය කරමින් ඇන්ටන් මාර්කස් මහතා ද රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් සමන් රත්නප‍්‍රිය මහතා ද ජනතා විමික්ති පෙරමුණේ අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන් ජානක අධිකාරී මහතා ද සහභාගී වී ඇති අතර එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික සේවක සංගමයේ නියෝජනය විශේෂයෙන් ම කම්කරු ජනතාව තුල විශාල කුකුසක් ජනිත කර ඇති බව කිව යුතුය. ශ‍්‍රී ලාංකීය කම්කරු ප‍්‍රජාව වෙනුවෙන් කිසිදු සේවයක් නොකල එම සංගමයේ ලේකම් සිරිනාල් ද මැල් මහතා ගේ පුත‍්‍රයා මෙවර ලෝක කම්කරු සම්මේලනය සඳහා සහභාගි කරවීම එයට හේතුවයි. මෙම කණ්ඩායම තෝරා ගත් ආකාරය හා එහි ප‍්‍රමිතිය පිළිබඳව වැඩකර ජනතාව වෙනුවෙන් අපට ප‍්‍රශ්ණයක් ඇති බව කිව යුතුය. එසේම මෙම කණ්ඩායම කම්කරුවන් වෙනුවෙන් සම්මේලනයෙදී කුමක් සිදු කලේද යන්නත් සොයා බැලීම කම්කරුවන් වෙනුවෙන් සිදුකල යුතු තවත් කටයුත්තකි.

මෙවර සමුළුවේ ප්‍රධාන සැසිය අමතා කතා කිරීමට ශ‍්‍රී ලංකාවට අවස්ථා හතරක් ලැබී තිබේ. ඒ අනුව සමුලුව අමතා ඇත්තේ කම්කරු අමාත්‍ය එස්. බී. නාවින්න මහතා, ලංකා සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් රවී පිරිස් මහතා, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කේ. වේලායුදන් මහතා සහ කම්කරු අමාත්‍යංශයේ සහකාර ලේකම් ආනන්ද විමලවීර මහතායි.  ශ‍්‍රී ලංකාවේ ඇති කම්කරු ප‍්‍රශ්ණ කම්කරු නීති රීති වල ඇති අඩුපාඩු කොතෙකුත් තිබිය දී අමාත්‍යංශ ලේකම‘වරයා ට ලැබුනු අවස්ථාවේ ඔහු කර ඇත්තේ ලිඛිත ප‍්‍රකාශණයක් කියවීමයි. ප‍්‍රකාශණය නම් නොබැඳි සමුලුවට අයත් දියණුවෙමින් පවතින රටවල් 17ක් එක් වී පිහිටුවා ගෙන ඇති G15 වෙනුවෙන් සකස් වූවකි. එයින් අවධාරණය කර ඇත්තේ ලෝක ආර්ථිකය නැවත කැළඹම්කාරී තත්වයකට පත් වීමට ඉඩ ඇති බවත් එය දියුණුවෙමින් පවතින රටවලට බලවත් සේ බලපෑ හැකි බවත් මේ තත්වය ජය ගැනීම සඳහා ඒකාබද්ධ වැඩ පිලිවෙලක අවශ්‍යතාවයක් ඇති බවත්. මෙම ප‍්‍රකාශය ශ‍්‍රී ලංකාවේ කම්කරු අයිතීන් වෙත කොතරම් බලපාන්නේ ද යන්න බුද්ධිමත්ව කල්පනා කල යුතුය. මෙහිදී සැළකිය යුතු වන්නේ මේ  අවස්ථාවට සහභාගී වූ අපගේ කම්කරු ප‍්‍රශ්ණ පිළිබඳ ඔස්තාද්ලාත් මේ සම්බන්ධව නිහඩව සිටීමයි.

අමාත්‍ය වේලායුදන් මහතාගේ කතාව සලකා බැලූ විට පෙනී යන්නේ ඔහු තමා නියෝජනය කරන වතු කම්කරු අයතීන් ඉස්මතු කිරීමට වැඩි ඉඩක් ලබා ගෙන ඇති බවයි. පොදුවේ රටේ පවතින කම්කරු අයිතීන්ගේ විශමතාවන් ඔහුගේ කතාවේ හරය විය යුතු වුවත් ශ‍්‍රී ලංකාවේ වතු කම්කරුවන්ට මෙයට වසර සීයකට පමණ පෙර සිට බ්‍රිතාන්‍යයන් ගෙන් වූ අසාධාරණය මතු කරමින් ඔවුන්ගේ සුභසාධනයට බි‍්‍රතාන්‍යයෙන් උපකාර ඉල්ලීමට එම අවස්ථාව යොදා ගෙන තිබීම එතරම් වැදගත් යැයි කිමට නොහැකියි.  සංක‍්‍රමණික සේවා ප‍්‍රශ්ණය වෙවර සම්මේලනයේදී ඉතාමමත් වැදගත් මාතෘකාවක්වී ඇති අතර වෙලායුදන් මහතා ද එහිදී ඒ පිළිබඳව ප‍්‍රකාශ කර සිටීම වැදගත් බව සඳහන් කල යුතුයි. නමුත් රජයක් ලෙස විදෙස් සේවයේ යෙදෙන්නන් සූරාකන ශ‍්‍රී ලංකාව තුල සිටින ජාවාරම්කරුවන්ට එරෙහි නීති රීතිවත් ප‍්‍රමාණවත් ලෙස නැති වීම පිළිබඳව අප කණගාටු විය යුතුයි. එසේම ශ‍්‍රී ලංකාවේ සිටින අවිධිමත් සේවකයින්ට වෘත්තීය සමිති හරහා එක්රැස් වීමට තවමත් නිසි නිදහසක් අපගේ ආඥා පනත් තුල නැති බව අමාත්‍යතුමා ප‍්‍රකාශ ඉකර ඇත. එම වරද පිළිගැනීමට ලෝක කම්කරු සම්මේලනයටම යා යුතුද වෘත්තීය සමිති නායකයින්ගේ වගකීම එයට එරෙහිව නැගී සිටිමයි. රජය පාර්ශවය නියෝජනය කරන අයෙකු වශයෙන් එම ප‍්‍රකාශය පිළිබඳව කම්කරුවන් තුල ඇති කරනු ඇත්තේ හාස්‍යයක් පමණයි.

මෙම සහභාගිත්ව කණ්ඩායමට කාන්තා නියෝජනයක් ඇතුලත්ව නොතිබීම ඉතා විශාලම අඩුපාඩුවක් බව කිව යුතුය. ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රම බලකායේ බහුතරයක් නියෝජනය කරන මෙන්ම සංක‍්‍රමණික සේවාවේ නියැලෙන අති බහුතරය ද කාන්තාවන් බව තේරීම් මණ්ඩලයට අමතක වීම සුලුවෙන් බැහැර කල හැකි කාරණයක් නොවේ. වෘත්තීය අයිතිවාසිකම් ඉතාම අඩුවෙන් භුක්ති විඳින කාන්තා පරපුර මෙවර ලෝක කම්කරු සම්මේලනයේ දී කොන් කිරීමට ලක් වීම තුල පෙනී යන්නේ අප රටේ පාලක පන්තිය නියෝජනය කරන පුද්ගලයින්ගේ මනෝභාවයයි. මෙවර සම්මේලනය අවසන් කරමින් ලෝක කම්කරු සමමේලනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ගයි රයිඩර් මහතාද සම්මේලනය තුල කාන්තා නියෝජනයේ ඇති අඩුව පෙන්වා දීම පිළිබඳව අපගේ අවධානය නැවත යොමු විය යුතුය.

අවසාන වශයේ සඳහන් කල යුත්තේ මෙවර ලෝක කම්කරු සම්මේලනයේ අපගේ දායකත්වය ප‍්‍රශ්ණාර්ථයක් බවයි. කම්කරු ජනතාව යකාට ගියත් හැන්ද අතේ ඇති විට තමන්ට ඕනෑ හැටියට බෙදා ගැනීම යන ධර්මතාවයට ඒකාධිපති පාලනය යහපාලනය කියා වෙනසක් නැති බව මෙමගින් සනාථ වූ යතාර්ථයයි.

නාලක උදය කුමාර

රක්‍ෂණ සේවක සංගමය

nalaka

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435