මේක බලෙන් කැඳවාගත් වසංගතයක් – සමන් රත්නප්‍රිය

වර්තමාන ආණ්ඩුව මේ කොවිඩ් 19 වසංගතය හමුවේ ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව ඔබගේ තක්සේරුව මොකද්ද ?

සැලකියයුතු සාදනීය දේවල් ආණ්ඩුව පැත්තෙන් සිද්ධවෙන බවක් තාම පේන්නේ නෑ. ඇත්තම කියනවා නම් මේක අපි බලෙන් කැඳවාගත්ත වසංගතයක්. මේක රට තුළට එන එක නවත්ත ගන්න ඕනෑ හැටියට කාලය තිබුණා. නමුත් ආණ්ඩුව ඒ පිළිබඳව කිසිඳු මැදිහත්වීමක් කළේ නෑ. ඉතාලියෙන් සහ දකුණු කොරියාවෙන් ආසාදිතයන් වාර්තා වෙනකොට අපිට මුලින්ම කරන්න තිබුණේ විදෙස් ගුවන් ගමන් තහනමක් පනවන එක. නමුත් අපි ඒක කළේ නෑ.  හැඳල නිරෝධායන මධ්‍යස්ථානය හදන්න ගිහිං එතන දින 4ක විතර කාලයක් නාස්ති කරගත්තා. ඒ දවස් හතර ඇතුළත විශාල ප්‍රමානයක් ඉතාලියේ සහ දකුණු කොරියාවේ ඉඳලා ආපු ශ්‍රමිකයෝ සහ විදේශිකයන් රට ඇතුළට ගියා.

වසංගතය වැඩි වෙනකොට අපි කළ යුතුව තිබුණේ නිරෝධායනය, රෝහල්වල පහසුකම් ප්‍රථිකාර සේවාවන් වර්ධනය සහ රෝගය පැතිරීම පාලනය කිරීම. මෙතනදී ප්‍රතිකාර සේවාවන් වර්ධනය කියන එකේදී කරන්න තිබුණේ අත්‍යාවශ්‍ය උපකරණ බෙහෙත් එන් 95 මාස්ක්   වගේ දේවල් හිඟයකින් තොරව සම්පාදනය කරන එක. ඒවා තාම හරියට වෙන බවක් පේන්නේ නෑ. මේ රෝගීන් සමග වැඩ කරනකොට සෞඛ්‍යය කාර්‍ය මණ්ඩලයට අවශ්‍ය ඒ කිට්, බූට්, මේ කිසිදෙයක් තවමත් ප්‍රමානවත්ව නෑ. මේ වෙනකොට හරිනම් රටේ හැම පුරවැසියාම මාස්ක් එකක් පළඳින්න ඕනෑ. නමුත් අද වෙළඳපොළ තුළ මාස්ක් හිඟයක් තිබෙනවා. අපි මේවා ආණ්ඩුවෙන් ඇහුවහම කියනවා, ඕඩර් කරලා තියෙන්නේ. මග එනවා වගේ කතන්දර. ඇත්තම කතාව මේවට ආණ්ඩුවට මුදල් නෑ. මේකේ විමර්ශන පැත්ත ගත්තොත් බයෝ සේෆ්ටි ලෙවල් 4 ලැබ් තියෙන්න ඕනෑ. අපිට තවම එකක්වත් නෑ. අපි තවම මේ පරීක්ෂණ කරන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ. එතන දවසකට පරීක්ෂණ මම දන්න විඳිහට කරන්න පුලුවන් 80ක් විතරයි. උදේ 8 ඉඳලා හවස 4 වෙනකම් විතරයි මේ ආයතනය වැඩ කරන්නේ. දැන් හරිනම් පැය 24 තුළම මේ පරීක්ෂණ වෙන්න ඕනෑ. නමුත් ඒ කිසිදෙයක් ගැන ආණ්ඩුවට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට උවමනාවක් නෑ. අද හවස 3ට සාම්පල් එකක් දුන්නොත් හෙට උදේ තමයි රිසාල්ට් එක ලැබෙන්නේ. එතකොට ඒ පුද්ගලයා ආසාදිතයෙක් නම් වෙන් නොකිරීම නිසා තව අයට බෝවෙන්න පුලුවන්. මේ ලැබ් අඩුම දිස්ත්‍රික්කයට එකක්වත් තියෙන්න ඕනෑ. යාපනේ සැකකටයුතු රෝගියෙක් හිටියොත් සාම්පල් එක කොළඹ අරං එන්න ඕනෑ. අපිට සමස්ත රටටම තියෙන්නේ අයි සී යූ ඇදවල් 550ක් විතර. එතකොට වකුගඩු වලට ගිහිං නිව්මෝනියා වගේ තත්ත්වයන් වලට සෑහෙන්න රෝගීන් ප්‍රමානයක් එකවර ආවොත් අපිට ලොකු ප්‍රශ්නයකට මුහුන දෙන්න වෙනවා. අපි දන්නවා ඉතාලියේ 100, 200 ගිහිං දහස් ගානින් තමයි වැඩිවුණේ. අනික අපිට වෙන්කරපු වාට්ටු නෑ. කුරුනෑගල රෝහලේ වෙන්කරපු වාට්ටුවේ ඇදන් තියෙන්නේ 20යි. දැනටමත් 30ක් විතර ඉන්නවා. කොළඹ වෙනකළ වාට්ටුවක් දැන් හදලා තියෙනවා. ඒක හදලා තියෙන්නේ වකුගඩු රෝගීන්ගේ ඩයලසීස් වාට්ටුවට ළඟින්. ඒකත් වැරදියි.

ඔබලා මෙහෙම විවේචනය කළාට ආණ්ඩුව කියනවා ඔවුන් තමයි ලෝකයේ පළමු වතාවට ජනාධිපති කාර්‍ය සාධක බලකායක් හදලා මේ වසංගතයට විරුද්ධව නියමාකාරයට සටන් කරන්නේ කියලා.

මේකත් අරුම පුදුම කාර්‍ය සාධක බලකායක්. මේකේ ප්‍රධානියා හමුදාපති. මේ විෂය අයිති වෙන්නේ සෞඛ්‍යය ක්ෂේත්‍රයට. මෙතනදි හරිනම් හමුදාව වැදගත් වෙන්නේ සපෝටින් ගෲප් එකක් විඳිහට විතරයි. ඒත් මේ බලකාය අස්සේ සත්කාර සේවා, විමර්ෂන, ආසාදන පාලන, මහජන මහජන සෞඛ්‍යය මේ කිසි අංශයක් නියෝජනය වෙන්නේ නෑ. හෙද, පරිපූරක වෛද්‍ය මේ කිසි වෘත්තීය සමිතියක් නියෝජනය වෙන්නේ නෑ. ඒකේ ප්‍රථිපල තමයි අපි අද මේ අත්විඳින්නේ.

රටම ලොක්ඩවුන් කිරීමක් පිළිබඳව ඉල්ලීමක් දිගින් දිගටම තිබෙනවා. මේ ගැන ඔබේ අදහස.

අපිත් කියන්නේ, ඔව් සති දෙකකට ලොක්ඩවුන් කරන්න ඕනෑ. ඊට පස්සේ රට ඉඳලා ඇවිත් අතුරුදන් වෙලා ඉන්න අය සොයන්න ඕනෑ. ඊට පස්සේ දවසින් දවස තත්ත්වය ඇනලසිස් කරන්න ඕනෑ. නමුත් කියන්න කණගාටුයි මේ කිසිදෙයක් සිද්ධ වෙන්නේ නෑ.

මේ ආපදා අවස්ථාවේ වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ හැසිරීම බිංදුවයි කියලා තමයි බොහෝ දෙනෙකුගේ අදහස.

ඔව්. සෞඛ්‍යය අමාත්‍යතුමිය ගත්තොත් එතුමියට කිසිම දෙයක් තේරෙන්නේ නෑ. අමාත්‍යාංශයත් එහෙමයි. සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාටත් කිසිදෙයක් තේරෙන්නේ නැති පාටක් තමයි පේන්නේ. එහෙම වුණාම කොහොමද මේවගේ ව්‍යසනයක් පාලනය කරන්නේ. මේවගේ වෙලාවල් වලට ඒ අදාළ අංශයේ වෘත්තීය සමිති කැඳවන්න ඕනෑ නැද්ද? කැඳවලා සාකච්ඡා කරන්න ඕනෑ නැද්ද? මේක හරිම උද්දච්ච විඳිහට තනියෙන් කරගෙන යන්න තමයි උත්සාහ කරන්නේ. මේ ගමනට වැඩි දුරක් යන්න බෑ. මම කියන්නේ මේ ආණ්ඩුව වහාම ජනතාවගේ පැත්තෙන් හිතලා උද්දච්චකම අයින් කරලා මේ වසංගතය පාලනය කරන්න සැමගේ සහාය අරගෙන වැඩ කරන්න ඕනෑ.

ජනතාවගේ පැත්තෙන් ඡන්දය කල් දාන්න කියන ඉල්ලීම තිබෙනවා. නමුත් ආණ්ඩුවෙන් කිසිඳු ප්‍රතිචාරයක් නෑ. විපක්ෂත් ඡන්දය කල්දාන්න කියන උද්ඝෝෂණය සැරට ගෙන එන්නේත් නෑ.

මගේ පුද්ගලික අදහස මේ ඡන්දය කල් යනවා කියන එකයි. මෙහෙම ඡන්ද කරන්න ලැබෙන්නේ නෑ. අපිට පේනවනේ මේක යන විඳිහ. මේක ආශ්චර්යකින් පාලනය කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මම හිතන්නේ පාලකයෝ මේ වෙලාවේ ජනතා මතයට ඇහුන්කම් දෙන්න ඕනෑ. එහෙම ඇහුන්කම් දීලා මේ මැතිවරණය කල්දාන්න ඕනෑ කියන එකයි මගේ අදහස. මේ වෙලාවෙ මිනිස්සුන්ට ඡන්දය නෙවෙයි ජීවිතය ගැන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. පෝෂණය ගැන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මේ වෙලාවේ තුනෙන් දෙකක බලයක් ගන්න කවුරු හරි කතාකරනවනම් ඔහු මෝඩ පාලකයෙක් විතරයි. ජනතා මතයට කන් දෙන්නේ නැතුව ඡන්දයකට ගියොත් ජනතාව ඒකටත් පාඩමක් කියාදෙයි.

පසුගිය මාර්තු 17 වැනිදා ජනාධිපතිවරයා ජාතිය අමතනු ලැබුවා. මේ කතාව ගැන මිනිස්සු අපේක්ෂා දල්වාගෙන තමයි හිටියේ.

ඔව් මිනිස්සු හිතුවා මේ වසංගතය පාලනය කරන්න ගන්න බලාපොරොත්තුවෙන ක්‍රියාමාර්ග පැහැදිලි කරයි කියලා. නමුත් එහෙම කිසිදෙයක් කියවුණේ නෑ. සෞඛ්‍ය පහසුකම් නඟාසිටුවන හැටි රෝහල් කාර්‍ය මණ්ඩලයන් මේකට සූදානම් කරන හැටි, මේ රෝගයට ප්‍රතිකාර සහ ඒ සාත්තු සපයන පිරිස් ගෙදර යවන්නේ නැතුව රෝහලේම තියාගෙන, ඔවුන් මාර්ගයෙනුත් මේ රෝගය ව්‍යාප්ත වෙන්න තියෙන ඉඩ අවම කරගෙන මේක මර්දනය කරන්නේ කොහොමද කියන එක ගැන කතාකරයි කියලා තමයි අපි හිතුවේ. නමුත් අන්තිමට තුනෙන් දෙකක බලයත් ඉල්ලලා පරිප්පුයි සැමනුයි අඩුකරලා කතාව ඉවර කළා. මේක ජනාධිපතිවරයාට යම් ප්‍රථිරූපයක් තිබුණනම් ඒක බිමටම කඩලා දාපු කතාවක්.

මේ වසංගතය එන්න කළින්ම කොටස් වෙළඳපොළ කඩාගෙන වැටුණා. රටේ ආර්ථික තත්ත්වය කොහොමද දැන්?

කිසිම ආර්ථිකය පිළිබඳව දැනුමක් නැති ළදරුවෝ වගේ ආපු ගමන් වැට් බද්ධ අහෝසි කරලා රුපියල් බිලියන 500ක් නැති කරගත්තා. දැන් ඒක එන්න ක්‍රමයක් නෑ.  පරිපූරක ඇස්තිමේන්තුවක් දාලා ජනවාරි ඉඳලා අප්‍රේල් අග වෙනකම් සල්ලි පාස් කරගත්තා ඒවටත් වුණ දෙයක් නෑ. දැන් අපි දන්නවා චීනයෙන් සංවර්ධන ණයක් ගන්න යනවා කියලා. දැන් මේ වසංගතය පාලනය කරගන්නවත් මුදල් නෑ. කොටස් වෙළඳපොළ කඩාගෙන වැටිලා. මේ තත්ත්වය ඇතුලේ බොරතෙල් බැරල් එකක මිල ඇමරිකානු ඩොලර් 67 ඉඳලා ඩොලර් 33ට අඩු වුණත් ඒ වාසිය ජනතාවට දෙන්න බැරිවෙලා තියෙනවා. මේකෙන් වෙන්නේ විශාල සල්ලියක් විශාල ලාභයක් විඳිහට ඉන්දියාවට යනවා අයිඕසී එක හරහා. ඒ සල්ලි ජනතාවට සහනයක් විඳිහට දුන්නනම් නරකද?

අද මේ වසංගත තත්ත්වය එක්ක සංචාරක කර්මාන්තය බිංදුවටම කඩාගෙන වැටිලා. සියළු ආදායම් ජනනයන් ඇණහිටලා තියෙන්නේ. මේ තත්ත්වය තුළ දැන් තියෙන්නේ ගිනි පොළියට ණය ගන්න විතරයි. පහුගිය මහින්ද රාජපක්ෂ පාලනයේදී වුණත් ඔවුන් කළේ ගිනි පොළියට ණය අරගෙන රට ණය කන්දක හිර කරන එක. මේ යන්නෙත් ඒ පාරෙම තමයි. රට වැටිලා තියෙන ආගාධයේ තරම ගැනවත් හිතලා පහුගිය 18 වෙනිදා වෙනකොට ආණ්ඩුවට තිබුණා ඕනෑනම් නාමයෝජනා කල්දාන්න. නමුත් ආණ්ඩුවට ජනතා සහන වැඩක් නෑ. ඔවුන්ට ඕනෑ තුනෙන් දෙකක ජනවරමක්. මේ ආණ්ඩුවට අගෝස්තු 17 වෙනකම් යන්න පුලුවන්. ඒකට කාලය තියෙනවා. ඒ නිසා ඕනෑනම් ජනාධිපතිවරයාට කරන්න තිබුණේ තමන් ගහපු පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට්ටුව ආපසු කැඳවන එක.

නමුත් ඔවුන් කියන්නේ ඔබලා විපක්ෂයක් විඳිහට මුදල් පනතක් පාර්ලිමේන්තුවට ගෙනාවහම සහාය දෙන්නේ නෑ කියලා.

ඒක වැරදි මතයක් සමාජ ගත කිරීමක්. මේ ආණ්ඩුව ඕනෑනම් අපිට කරගෙන යන්න තිබුණා. අපිට තිබුණ ආණ්ඩුව තමයි අපි ඔවුන්ට දුන්නේ. ඉතිං අපිට කිසිඳු උවමනාවක් නෑ සහාය නොදී ආණ්ඩුව ඉස්සරහට යන එක වළක්වන්න. 2015 දී අපි ආණ්ඩු කළේ මන්ත්‍රීවරුන් 47කගෙන්. කොච්චර වැඩකොටසක් කළාද? එයාලා විසර්ජන පනතක් දැන්මා. ඒ ඊට කළින් අතුරු සම්මත ගිනුමකින් මුදල් වෙන්කර තිබියදී. රුපියල් බිලියන 367ක්. මේ සල්ලිවලින් මොනවද කරන්න හදන්නේ කියලා ඇහුවාම ඒකට උත්තරයක් දෙන්න බැරිවුණා. අපි පනතට විරුද්ධවුණා නෙවෙයි මේ අහන ප්‍රශ්නයට නිශ්චිත උත්තරයක් නැතිනිසා ඔවුන්ම පනත් කෙටුම්පත අයින්කරගත්තා. ඒකයි වුණේ. කොහොම වුණත් මේ වෙලාවේ විපක්ෂය ආණ්ඩු පක්ෂය දෙකම ජනතාව ගැන හිතන්න ඕනෑ. අපි ඡන්දය තියන්න එපා කියපුවාම ඇයි ඡන්දවලට බයද අහනවා. ඔන්න ඕකයි තත්ත්වය.

ඔබගේ මේ අදහස් දැක්වීමෙන් පේන්නේ මේ මැතිවරණයේදී විපක්ෂයට සෑහෙන්න අවස්ථාවක් තිබෙන බව. ඒත් මේ වෙලාවේ එජාපය දෙකට කැඩිලා නේද?

ඔව් ඒක තමයි මේ වෙලාවේ විපක්ෂයේ තිබෙන දුර්වලකම. කොහොමවුණත් විපක්ෂය මේ අර්බුදය වෙලාවේ ජනතාව වෙනුවෙන් පෙනීසිටිය යුතුය. මේ වසංගතය මර්දනය කිරීම හමුවේ ආණ්ඩුවේ අසාර්ථකභාවය විපක්ෂය විවේචනය කරන්න ඕනෑ. ඒකයි මේ වෙලාවේ වැඩේ. එජාපය කැඩීම ගත්තොත් අපි සෑහෙන්න උත්සාහයක් ගත්තා මේ පක්ෂය එකට එකතුකරලා ගමනක් යන්න. නමුත් පටු අවශ්‍යතා නිසා සමහර කණ්ඩායම්වලට මේක කඩලම දාන්න අවශ්‍ය වුණා. දැන් ඒ අරමුණ ඉටුවෙලා තිබෙනවා. දැන් තිබෙන තත්ත්වය හැටියට වෙනවෙනම මැතිවරණයට තරග කරනවා හැරෙන්න වෙන විකල්පයක් නෑ. නමුත් අපි මැතිවරණයට පසුව හෝ අවබෝධතා ගිවිසුමක් යටතේ එකතුවෙන්න උත්සාහ ගන්න ඕනෑ. මේ ආණ්ඩුව අස්සෙත් විශාල අර්බූදයක් තිබෙනවා. වියත්මගේ බොහෝ දෙනෙකුට නාමයෝජනා නෑ. ශ්‍රීලනිපයට මුලින් දෙනවා කියපු කෝටාව දීලා නෑ. මේවා ලොකු අර්බූද විඳිහට ඇතුලේ තියෙනවා. ඊළඟට වර්තමාන ජනාධිපතිවරයාට උදව් කරපු බොදුබල සේනා සංවිධානය අතුරලියේ රතනහිමි, මේවගේ අය අද ආණ්ඩුවෙන් කැඩිලා වෙනම ඡන්දය ඉල්ලන මට්ටමට ගිහිං තිබෙන්නේ. ඉතිං ඡන්දය කරන්න ගමට ගියහම තමයි මේ අර්බූදය පුපුරලා මතුපිටට එන්නේ. මේ තත්ත්වය එක්ක බලනකොට මේ මැතිවරණය විපක්ෂයට වාසිසහගතයි.

කේ. සංජීව (අනිද්දා)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435