යකා සබයට එන්න සූදානම්

යකා සබයට එන්න සූදානම් – නීතිඥ සුපුන් වික්‍රමරත්න වැඩබිම සම්මන්ත්‍රණයේ පළ කළ අදහස්

අලුත් කම්කරු නීති සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීමට යාමේදී මගේ මූලික ප්‍රවේශයන් දෙකක් තියෙනවා. පළමුවැන්න නීතිඥයෙකු විදිහටයි. එහිදී අනෙකුත් නීති සමග සසඳා බලමින් සාකච්ඡා කළ හැකියි. ඒ තුළ මටත් ඔබටත් සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න ඕන තරම් තිබිය හැකියි. එකඟ නොවන මතිමතාන්තර තිබිය හැකියි. අපි ඒ ගැන සංවාද කරමු. දෙවනුව මා හට දේශපාලන දැක්ම ලෙස මාක්ස්වාදී අර්ථයකින් කියවන්න ගතහොත් ඒ පර්යාවලෝකය ඇතුළේ මට තියෙන්නෙ වෙනම අදහසක්. අපි ඒ ගැනත් කතා කරමු.

මුලින්ම නීතිඥයෙකු ලෙස මේ දෙස බලන්නම්. මූලික ලියවිල්ලේ පරිච්ඡේද 15ක් තියෙනවා. පනත් කෙටුම්පතේ ඉංග්‍රීසි පිටපතේ 113 වැනි වගන්තියේ කියැවෙන්නේ මේ අය අහෝසි කරන්නට බලාපොරොත්තු වන අණ පනත්. නිදසුනක් විදිහට පඩිපාලක සභා, සාප්පු හා කාර්යාල සේවක පනත, කාන්තාවන් ළමුන් හා තරුණයන් සේවයේ යෙදවීමේ පනත, මාතෘ ප්‍රතිලාභ ආඥා පනත ආදිය ගැනයි. මේ සියල්ල අහෝසි කොට එකම නීතියක් ලෙස මෙය ස්ථාපිත කිරීමට යෝජනා වී තියෙනවා. මතුපිටින් සලකා බැලුවම ගෙඩිය පිටින්ම දෙන්න යන්නේ සුන්දර දෙයක්. සමහර ප්‍රතිලාභ නීති මගින් හෝ ලැබෙනවනම් මං කැමතියි. වාම වාදී ප්‍රවේශයකින් ගත්තම ආණ්ක්‍රම ව්‍යවස්ථාවේ (රටේ මූලික නීතිය) සිට සියලුම නීති ධනපති පර්යාවලෝකයකින් හදපු නීති. එහෙම වුණාම ඒවා තුළ පීඩිත පංතියට, කම්කරුවන්ට ප්‍රශස්ත දෙයක් තියෙන්න විදිහක් නෑ. එහි ඇත්තේ ධනපතියන්ගේ බලය පවත්වාගෙන යාමට හා සූරාකෑම පවත්වාගෙන යාමට හැකි නීති පමණයි. ඒත් ලෝකයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුළ හෝ ලැබිය යුතු අයිතිවාසිකම් තියෙනවා. ඒක ධනපති සමාජයක වුණත් මග හැරයාමට නොහැකියි. කාල්මාක්ස් වැන්නන්ගේ මූලික ඉගැන්වීම් තුළ වුනත් පසුකර නොහැකි තත්ත්වයක් ධනපති පංතියට උරුම කරලා දීල තියෙනවා. පවත්නා කටුක සමාජ යථාර්ථයක වුණත් ඒවා නීති බවට පත්කරන්නටත්, සමාජයේ සුභ සිද්ධියට ගෙන ඒමටත් සිදුව තියෙනවා. කෙටියෙන් කීවොත් අසූචි ගොඩක් අයිසිං කරලා වගේ.

‘ස්ත්‍රීපුරුෂ සමාජභාවය මත පදනම් වු වෙනස් කම් එපා’ කියලා මේ කෙටුම්පතේ තියෙනවා. ස්ත්‍රීපුරුෂ භාවය මත පදනම්ව සේවයට බඳවා ගැනීම නොකළ යුතුයි. ඒක තහනම්. 5වන වගන්තියට අනුව මෑන් පවර් සේවකයින්ට වෙනස් කොට සැලකීමත් එපා. මෑන් පවර් සේවකයින් කියන්නනෙ දැඩි අසාධාරණයට ලක්වුණු ඉතාමත් කෲර කොන්දේසි යටතේ සේවය කරන අය. ඒ අයට වෙනස්කොට සලකන්නෙ නැතිනම් වෘත්තීය සමිති ව්‍යාපාරයට මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු හැටියට මටත් සතුටට කරුණක්. ඒක හොඳයි. බැලූ බැල්මට. ඒත් එන්නෙ මොකාටද? ඒක සිතිය යුතුයි. රැකියා ස්ථානයේ ලිංගික අඬතෙට්ටම් කළ නොහැකියි. සේවකයින්ට සංවිධානයවීමේ අයිතිය තියෙනවා. එංගලන්තයේ කම්කරු පනත් දිහා බලාගෙන හදපු එකක්. සේව්‍ය-සේවක ගිවිසුම සේවකයාට දිය යුතුයි. 24 වන වගන්තියේ යෝජනා කරන පරිදි ගිවිසුම හදලා තොරන් ගහලා සේවයට බඳවා ගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය හා අයිතිවාසිකම් දිනාගැනීමට ඒක හොඳයි. බන්දේසියේ තියලා දෙනවා. ඒත් ප්‍රධාන වශයෙන් අවලංගු කරන්න යන පනත්වලින් දැනට ලබාදී පවත්නා අයිතිවාසිකම් මොනවාද, ඒවායින් ආරක්ෂා කර දෙන්නේ මොනවාද යන්න සොයා බැලිය යුතුයි.

සාමන්‍යයෙන් පනතේ 5 වන පරිච්ඡේදයේ 48 වගන්තිය සිට 56 වගන්තිය දක්වා නිවාඩුවලට අදාළවයි. සාමාන්‍යයෙන් සේවකයින් කාර්යාල සේවකයින් වේවා කර්මාන්තශාලා සේවකයින් සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන්නනේ පඩිපාලක සභා පනත හා සාප්පු හා කාර්යාල පනතයි. ඊට අමතරව කාන්තාවන් සම්බන්ධයෙන් මාතෘ ප්‍රතිලාභ ආඥා පනත තියෙනවා. මේ ඔක්කොම එක නීතියක් හැටියට ගෙනාවම ප්‍රධාන ප්‍රශ්නයක් තමා නිවාඩු. නිවාඩු කියන්නේ දිනාගත්තු දෙයක්. මේකෙ පෝය නිවාඩුවේ සිට වාර්ෂික නිවාඩු දක්වා සියල්ල අර්ථදක්වනවා. පොදු ප්‍රශ්නයක් තිබුණා කලින්. කැෂුවල් නිවාඩු හත අයින් කරලා ඒක තුනක් කරලා මෙඩිකල් නිවාඩු 5ක් එකතු කරලා කියලා. පොඩි මැජික් එකක් දාලා තිබුණා. ඒත් දැන් සංස්කරණය වෙලා ඇවිත් තියෙන මේ කෙටුම්පත දක්වා එද්දී නිවාඩු හත එහෙමම තියෙනවා. බැලූ බැල්මට නිවාඩු ටිකත් තියෙනවා. මාතෘ ප්‍රතිලාභ ආඥා පනත අනුව තියෙන මාතෘ නිවාඩු දින 85ත් තියෙනවා. මොකුත්ම වෙලා නෑ. හොඳයි වගේ.

දැන් ගැටළුව තියෙන්නේ මේක මේ විදිහටම බාර ගන්න පුළුවන්ද? අවස්ථා දෙකකදී නඟන්න පුළුවන්. මාක්ස්වාදී දෘෂ්ටිය ඇතුළේ අහන්නව නම් කොහොමත් බාරගන්න බෑ. කෑල්ලෙන් කෑල්ල වගන්තියෙන් වගන්තිය පරීක්ෂා කර බැලිය හැකියි. එහිදී මේකෙ කම්කරු හිතවාදී යමක් නැති බව වටහාගත හැකිවේවි. ඒත් ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ක්‍රියාත්මක වන ආණ්ඩුවක, ඔවුන්ගේ නීතිමය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන ව්‍යවස්ථාවක් යටතේ තමා අපි ජීවත් වෙන්නෙ. ඒ තුළ අපට තියෙන අයිතිවාසිකම් මේ පනත් කෙටුම්පත තුළ ආරක්ෂාවී තිබේද? ඒ තමා දෙවෙනි ප්‍රවේශය. පළවෙනි එක එකක්. දෙවෙනි එක තව එකක්. ප්‍රධාන කාරණය නම් දෙවැන්නයි. මාතෘ ප්‍රතිලාභ ගැන කියැවෙද්දී 63 වන වගන්තිය යටතේ තියෙන යෝජනාව බලමු. දිවා සුරැකුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමක් ගැන එතැන තියෙනවා. හැම කර්මාන්ත ශාලාවක් තුළම දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ යුතුයි. ඒක නරක නෑ. අම්මලා වැඩකරද්දී එයාලගෙ පුංචි දරුවො බලාගන්න, ඒ අයට සෙල්ලම් කරන්න තැනක් තියෙනවා. ඒත් කතා නොකරන කොටස නම් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් යනු කුමක්ද? එවැන්නක් කෙසේ සකස් විය යුතුද යන්නයි. ඒවගේ දේකට අදාළ වෙනම නීති තියෙනවා. ඒකෙ වටපිටාව කොහොම වෙන්න ඕනද? පාලකවරිය මොන වගේ සුදුසුකම් සහිත කෙනෙක් විය යුතුද? ළමුන් ප්‍රමාණය කොපමණද? හදන්නෙ කොහෙද? කර්මාන්තශාලාවක් ඇතුළෙ එහෙම එකක් හදන්න තියෙන ඉඩකඩ කොහොමද? එහි ආරක්ෂිත තත්ත්වය මනින්නෙ කොහොමද? ඒ ප්‍රශ්න වලට මේකෙ උත්තර නෑ. ළමයා දිවාසුරැකුම් එකට දාලා අම්මයි තාත්තයි වැඩ. පැය 3ක් වැඩකරපල්ලා. ඕන නම් පැයකට සැරයක් ගිහින් ළමයා බලලා එන්නත් පුළුවන්. මේකෙදි මට මතක් වෙන්නෙ අඹේවල කිරි එළදෙන්නු. හොඳටම කන්න දීලා ෆීඩ් කරලා තියෙන්නෙ. ඇවිදින්නවත් බෑ. තන බුරුල්ලට වෑල් ගහලා තියෙන්නෙ. ඕන ඕන වෙලාවට කිරි ටික ඇදලා ගන්නවා. එළදෙන්නු ඔහේ ඉන්නවා. මේ පැත්තෙන් කන්න දෙනවා. දිවා සුරැකුම් මධ්‍යස්ථානත් එහෙම තමයි.

අපි අමතක නොකළ යුත්තේ කම්කරුවටත් සමාජ ජීවිතයක් කියලා එකක් තියෙනවා. ඒ ගැන කවුරුත් කතා නෑ. ආයතනයක ඉහළ ලොක්කත් කම්කරුවෙක් තමා. සීඊඕලත් එහෙමයි. පාර අතුගාන කෙනා දක්වා සමාජ ක්‍රමය පවත්වාගෙන යාමට හදපු අය. දෘෂ්ටිවාදය හදලා. ව්‍යාපෘතිය ඇතුළේ වැඩකරන ජනයා තමන්ට අයිතිය ව්‍යාපෘතිය ඇතුළේ හසුරුවා පාලනය කරගන්නෙ. සියල්ල නරක නෑ. අරගල කරලා දිනාගත යුතු සමහර දේවල් බන්දේසියෙ තියලා දීල තියෙනවා. ඒ දෙන අතරේම ඔවුන් ඉතාම සංවිධානාත්මකව තමන්ගෙ අවශ්‍යතා ඉටුකරගන්නවා. ඉස්සර කාල කලාප කැඩෙනවා. ලංකාවෙ වැනි රටක නිෂ්පාදයක් නෑ. සීමිතයි.සේවා සැපයීම් විතරයි සිද්ධවෙන්නෙ. අපි මෙහේ සිට වැඩකරන්න එංගලන්තයේ බැංකුවකට. එහෙමත් නැතිනම් අමෙරිකාවෙ රක්ෂණ ආයතනයකට විය හැකියි. එහෙම වුණාම පරණ නීති ක්‍රියාත්මක කරන්න බෑ. සේවයේ යොදවන්න බෑ. අලුතින් හිතන්න වෙනවා කොහොහමද මේ අය මේ රාමුව තුළට ගේන්නෙ. ආසියාවේ ලාභ ශ්‍රමය ක්‍රියාත්මක වන එක රටක් මේක. මේ ලාභ ශ්‍රමය වඩාත් ලස්සනට නොතේරන්න ගන්නෙ. ඒකට තමා මේ නීිති හදන්නෙ.

සමහර දේට මං විරුද්ධ නෑ. උදාහරණයක් විදිහට සේවකයා සමග ගිවිසුමකට එළඹීමට මෙතන සිටින කවුරුත් විරුද්ධ වෙන එකක් නෑ. එතකොට අවම වැටුපක් තීරණය කළ යුතුයි කියන කාරණයේදී මාක්ස්වාදී ප්‍රවේශයකින් වෙනම විශ්ලේෂණයක් තියෙනවා. වැටුප් තල ආදිය ගැන. ඒත් මේ ක්‍රමය ඇතුළේ අපගේ අවම වැටුප කීයද? ඒක තීරණය වෙන සාධකය කුමක්ද? ඒක අපගේ ජීවන තත්ත්වයන් සමග ගලපා ඇත්තේ කෙසේද? අපිට ඇත්තටම ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කර තියෙනවද කියන එක අපි සිතිය යුතුයි. අපට ලැබෙන වැටුපෙන් කාලා, ඇඳලා, වැටිලා ජීවත්වෙන්න විතරක් තිබුණට ප්‍රමාණවත් නෑ. මනුෂ්‍යා කියන සත්වයාට සංස්කෘතියක් තියෙනවා. සංස්කෘතික සත්වයෙක්. ඒ වටිනාකම් මේ නීතිමය තත්ත්වයන් ඇතුළේ ආරක්ෂාවෙලා තියෙනවද? එහෙම නෑ. කතා කළ යුතු වැදගත්ම කාරණය එයයි. මතුපිටින් ඉතාමත් සංවිධානාත්මක, විධිමත් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තියෙනවා. මිනිසුන් වැඩ කළ යුතුයි. නිකන් ඉඳලා රට ගෙනියන්න බෑ. ලෝකය සංවර්ධනය වෙමින් ඉදිරියට ගමන් කරනවා. එතනදී මිනිසාගේ මැදිහත්වීම ශ්‍රමයේ කාර්යභාර්ය ඉතාම තීරණාත්මකයි.

අපි වැඩ කළ යුතුයි. කොන්දේසි විරහිතව වැඩ කළ යුතුයි. ඒ වැඩකරන්නේ කවර අරමුණක් වෙනුවෙන්ද කියන එකයි වැදගත්. ඒ අවස්ථාවේදී එහෙම හිතද්දී මෙ පනත් කෙටුම්පත් තියෙන්නෙම අපව ශක්තිමත් කිරීමට නෙවෙයි. ඒත් දෙන ලද තත්ත්වයන් තුළ පවා අපව ශක්තිමත් විය යුත්තේ කෙසේද? ඒ වෙනුවෙන් අප කළ යුත්තේ කුමක්ද යන්න තෝරාබේරා ගැනීම තමා අපේ වැඩේ. අපි මහන්සි විය යුත්තේ ඒකටයි. අලුත් නීති රීති මොකුත් එපා. පරණ නීති රීති තමා දිගටම තිබිය යුත්තේ කියලා කවුරු හරි කියනවනම් අපි මාක්ස්වාදීන් හෝ ඉදිරිගාමීව හිතන්නන් නෙවෙයි. නීති අලුත්විය යුතුයි. අපේ සේවකයින් නව සංදර්භය තුළ යළි අර්ථකථනය විය යුතුයි. දෙමටගොඩ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ වැඩකරන අය ඉන්නවා. ඒත් ඒ අය බැඳෙන සාමූහික ගිවිසුමක් මං දැකලා නෑ. පරණ ක්‍රමවේදී තුළම සංවිධානාත්මක ගැටළු තියෙනවා. මේ පාලන තන්ත්‍රයන් කලින් දැකලා ඉවරයි. ඉස්සර කම්කරු බලයක් තිබුණා. දැන් නෑ. අපේ සටන් ක්‍රම පරණයි. අපි තාම දියව් දියව් කියනවා. ක්‍රමවේදය මාරු කළ යුතුයි. ටයි කෝට් අඳින වයිට් කොලර් කම්කරුවන් එකෙක් වත් තමාට කෙළවී ඇති තරම දන්නෙ නෑ.ඒසී කාමරයක් ඇතුළෙ ඉන්නවා.

මේ පනත් කෙටුම්පතේ සංගත වැඩ සතිය තියෙනවා. ඉස්සර තිබුණේ ශිෆ්ට්. ඒක අපට හොඳට තේරෙනවා. අලුත් පනත් කෙටුම්පතේ 36 වන වගන්තිය අනුව හාම්පුතාට කිව හැකියි, මට පැය 12 ගාණේ වැඩකරලා මේ වැඩටික කවර් කරලා දෙන්න ඒක අත්‍යවශ්‍යයි කියලා. මේකෙ දාලා තියෙනවා. ඒත් මේකෙම 3 වෙනි උප වගන්තියෙ තියෙන විදිහට සේවකයා එකඟ වෙනව නම් විතරයි ඒ ක කළ හැක්කෙ. මං රැකියාවකට ගියාම ලොක්ක කීවම මෙහෙම වැඩ කරපන් කියලා මට ව්‍යවස්ථාව කියවලා ඌ.ත් එක්ක ගිවිසුම් ගගහ ඉන්න බෑනෙ. මං වැඩ කළ යුතුයි. එතන ප්‍රශ්නයක් තයෙනවා. පැය 45ක් වැඩ කිරීමේ න් පස්සෙ නිවාඩුවක් ගත යුතුනම් ඒ ගැන කල්පනා කළ යුතුයි. සමාජ ජීවිතය ගැන අපි කවදාවත් ගණන් හදන්නෙ නෑ. පවුලෙ මිනිස්සුත් එක්ක ඉන්න තියෙන වෙලාව කියලා කල්පනා කරන්නෙ නෑ. කම්කරුවො විදිහට අපිත් ශාප් විය යුතුයි. ගත යුතු අන්තිම තප්පරයත් ගත යුතුයි. අපිට ගත හැකි ප්‍රතිලාභ ගැන සිතිය යුතුයි. විරුද්ධාභාසය ලෙස අන්තවාදී ලෙස විරුද්ධවීම වෙනුවට උපක්‍රමශීලි පසුබැසීම් කළ යුතුයි. ඒත් ඒක සංවිධානාත්මක නොකරන තුරු අපි පරාදයි. දිවා සුරැකුම් දෙන කොට ඒක ගන්න ඕන. ඒත් ඒකෙ ප්‍රමිතිය අපි විමසා බැලිය යුතුයි. එහෙම කළොත් එපා කියලත් නෑ. සංවිධානාත්මකව විධිමත්ව මේ පනත් කෙටුම්පතට විරුද්ධවීම විනා වටේ ගල් ගැහුවොත් ඒ අය ඒ අයගේ කාර්යය කර ගනන්වා.

බැලූ බැල්මට හාම්පුතුන් මේ පනත් කෙටුම්පතෙන් හිර කරලා තියෙනවා. ඒ අය සතියක් ඇතුළත සේවකයා සමග ගිවිසුමට එළඹිය යුතුයි. ඒක සේවකයාට පැහැදිලි කළ යුතුයි. ඩොකියුමන්ට් පවත්වාගෙන යා යුතුයි. සේවයෙන් පහ කිරීමකට කලින් අභ්‍යන්තර විමර්ශන මණ්ඩලයක් පවා සැදිය යුතුයි. කම්කරු විනිශ්චය කාරක සභාවක් ඉදිරියට යාමට ප්‍රථමවයි. මේ දෙකටම සේවකයාට යා හැකියි. මෙහි සාධනීය දේවල් උකහා ගත යුතුයි. මෙහි අභ්‍යන්තරයේ අපට සඟවා පවත්නා උගුල් ටික හඳුනාගත යුතුයි. සමාන්තර අධ්‍යයනයක් කළ යුතුයි. පඩිපාලක සභාව හොඳද? මාතෘ ආඥා පනත හොඳද? අයිතිවාසිකම් දිනා ගැනීම යනු 1215 මැග්නා කාර්ටා ගිවිසුමේ සිට අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන ඉවර නෑ. අදටත් අපට ජීවත්වීමේ අයිතිය නෑ. අපගේත් ආකල්පමය ගැටළුවක් තියෙනවා. අපිත් ඔක්කොම කළ යුතු නෑ කියලා එකක් තියෙනවා. අපිව හසුරුවා පාලනය කරන්න නීති හදන්න ගිය හැම වෙළේම ඊට එරෙහිව සංවිධානාත්මක හයිය පෙන්නලා ඒක කළමනාකරණය කරලා තියෙනවා. ඒත් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කරලත් නෑ. ඒක කරන්නත් බෑ. අපිත් බලාගෙන ඉන්නනෙ දෙනකල්. එහෙම නැතුව අපට ඕන විදිහට නීතිය හදලා මේක සම්මත කරලා දියල්ල කියල ඉල්ලන්නෙත් නෑ. මන්තර හරිහැටි පාවච්චි කළොත් යකා එළවන්න පුළුවන්. එහෙමත් නැත්නම් යකත් එක්ක නටන්න පුළුවන්. කොහොමත් දැන් යකා සබයට එන්න සූදානම්. අපේ සිවිල් සමාජ ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නායකයින් එක්ව යකා එළවීම සඳහා දුම්මල එහෙම සූදානම් කරගෙන ඉන්නවා.

සටහන – පී.ඩබ් මුතුකුඩආරච්චි –

වැඩබිම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435