රක්ෂණ සේවක සංගමයේ බලය ගන්න පිටස්තරයින්ගේ කුමන්ත්‍රණයක්!

පසුගිය 3 වනදා ශ්‍රී ලංකා රක්ෂණ සේවක සංගමයේ වාර්ෂික සමුළුව පවත්වන ලදී. මෙහිදී සුවිශේෂී සිදුවීම් කිහිපයක් ද දැකගන්නට ලැබී තිබේ. මේ පිළිබඳ ‘වැඩබිම’ හා සිය අදහස් දැක්වීමට රක්ෂණ සේවක සංගමයෙහි සභාපති ආර්. එස් නන්දලාල් මහතා සම්බන්ධ විය.

  • රක්ෂණ සේවක සංගමයේ වාර්ෂික මහ සමුළුව පසුගියදා පැවැත්වුණා. එතනදී මොකද වුණේ?

ඔව්. අපේ වාර්ෂික මහ සමුළුව කොළඹ රක්ෂණ මන්දිරයේ 5වන මහලේ දී පසුගිය ජූලි 03 වන දා පැවැත්වුණා. මේකට අපේ සාමාජික සාමාජිකාවන් 500 දෙනෙකු පමණ සහභාගිවෙලා හිටියා. අප ආව ගමන් මගේ අප විසින් ජයගත් අභියෝග වගේම අපට මුහුණදෙන්නට සිදුවිය හැකි අභියෝග පිළිබඳ මෙහිදී අප විසින් අපේ සාමාජිකත්වය දැනුවත් කළා. අපේ මැදිහත්වීමෙන් ආයතනයක් ලෙස රක්ෂණ ආයතනයත් සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාදත් රැකගෙන පසුගිය වසර කිහිපය තුළ අප විසින් කරනු ලැබූ කාර්ය භාර්ය පිළිබඳ ආපසු හැරී බැලීමක් කළා. ඒ අනුව ඉදිරියේදී මුහුණදීමට පවත්නා අභියෝග හා ගැටළු වලට ශක්තිමත්ව මුහුණදීමට හැකි අත්දැකීම් හා කැපවීමෙන් කටයුතු කළ හැකි නිලධාරී මණ්ඩලයක් පත්කර ගත්තා.

  • එදින වෘත්තීය සමිතියේ බලය ලබාගැනීම සඳහා යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණාද?

ඇත්තටම ඔව්. සාමාන්‍යයෙන් රක්ෂණ සේවක සංගමය පිහිටුවීමෙන් පසු එදිනෙදා ආණ්ඩුවල පක්ෂ දේශපාලනයට යට නොවුණු වෘත්තීය සමිතියක් ලෙස අද දක්වාම අපට කටයුතු කරන්නට හැකිවෙලා තියෙනවා. මේ තත්ත්වය ආණ්ඩු විසින් රුස්සන්නේ නෑ. ඒ ඒ කාලවලදී එක එක කුමන්ත්‍රණ කරලා සංස්ථාවේ වැඩිම සාමාජිකත්වයක් හිමි මේ වෘත්තීය සමිතියේ බලය ඩැහැගන්නට සමහරු උත්සාහ කරලා තියෙනවා. උදාහරණයක් විදිහට පසුගිය ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධාන රජය පාලනය කළ කාලයේ ආණ්ඩුවට හිතෛෂි ‘නිදහස් සේවක සංගමයේ’පිරිස්‍ මේකෙ බලය ගන්නට උත්සාහ කළා. මෙදා සැරෙත් මුදල් අමාත්‍යවරයාගේ සහ ඔහුගේ ඥාතියෙකු වන සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ මගපෙන්වීම අනුව ‘ජාතික සේවක සංගමයේ’කෙනෙකු අපේ සංගමයේ ඉහළ තනතුරකට පත්කර ගැනීමට සහ එමගින් වෘත්තීය සමිතිය තමාට අවශ්‍ය ආකාරයට මෙහෙයවීමට යම් උත්සාහයක් ගත්තා. ඒත් ඒ පිළිබඳ අපි කුමන්ත්‍රණකරුවන්ට වඩා සැලසුම් සහගතවීමෙන් අපේ සාමාජිකත්වය දැනුවත් කරලා ඒ කුමන්ත්‍රණය පරාජය කරලා ශක්තිමත් ලෙස නිලධාරී මණ්ඩලය පත්කර ගැනීමට අපට හැකිවුණා.

  • මේ අවස්ථාවට බුද්ධි අංශ නිලධාරීන් ද පැමිණ සිටි බවට තොරතුරු ලැබුණා. ඒක ඇත්තක්ද?

ඔව්. මේක වෘත්තීය සමිති ඉතිහාසයේ ඉතාමත් නින්දිත හා අශෝබන සිදුවීමක්. මං ඉහතින් කියා සිටි කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම මත මෙම මහ සමුළුවට පොලිස් නිලධාරීන් 12 දෙනෙකු කැඳවා තිබුණා. පොලීසිය කියා සිටියේ මෙතැන යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් තත්ත්වය පාලනය කිරීම සඳහා තමන්ගෙන් ආරක්ෂාව ඉල්ලා සිටි බවයි. අපි අවුරුදු ගාණක් තිස්සේ මහ සමුළු තිබ්බා. කිසිම ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වුණේ නෑ. සමහරවිට ඒ අය විසින්ම මෙතන කුමන්ත්‍රණයක් දියත්කර තිබුණු නිසා ගැටුමක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් ඒ අයටම තිබ්බද දන්නේ නෑ. කොහොම නමුත් අපි අපේ ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට සමුළුව තිබ්බා. පොලීසිය අපට බාධාවක් වුණේ නෑ. නමුත් ඒක වෘත්තීය සමිති ඉතිහාසයේ අපේ අභිමානයට කැළැලක්. පොලිස් ආරක්ෂාව නැතිව සමුළුවක් වත් තියාගන්න බැරිද කියන ප්‍රශ්නය සමහරෙකුට එන්න පුළුවන්. ඒත් අපේ සාමාජිකත්වය මේ කුමන්ත්‍රණය ගැන දැනගෙන හිටිය නිසා අර්බුදයක් නිර්මාණය වුණේ නෑ.

  • ඒත් මේක වැරදි ආදර්ශයක් වෙන්න ඉඩකඩ තියෙනවා නේද?

ඔව්. මින් ඉදිරියට නියෝජිත මහ සමුළුවලට පොලීසිය කැඳවන්න ඉඩදෙන්න බෑ. මේක පළමු හා අවසන් අවස්ථාව විය යුතුයි. අපි මේ ක්‍රියාව දැඩි ලෙස හෙලාදකිනවා මෙන්ම වෙනත් කිසිදු වෘත්තීය සමිතියක නිලධාරීන් තෝරාගන්නා අවස්ථාවන්ට ‍පොලීසිය කැඳවීමට ඉඩනොදිය යුතු බවට වෘත්තීය සමිති නායකයන් වගබලා ගත යුතුයි.

  • රක්ෂණ සේවකයින් හමුවේ ඇති ඊළඟ අභියෝගය මොකක්ද?

2011 අංක 03 දරණ රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත ට අනුව රක්ෂණ සංස්ථාව ‘ජීවිත රක්ෂණ’ හා ‘සාමාන්‍ය රක්ෂණ’ ලෙස දෙකඩ කිරීමට යෝජනා කෙරුණා.එසේ දෙකඩ කරන ලද සංස්ථාව විවෘත කොටස් වෙළඳපලේ විකුණන්න මේ අය උත්සාහ කරනවා. ඒත් මතුවුණු විරෝධය හමුවේ ඒක යටපත් වුණත් පනත තාමත් තියෙනවා. ඒ කියන්නේ පනත අයින් කරගෙන නෑ. මේ මහ ඡන්දයෙනුත් කවුරු ආණ්ඩු බලය පිහිටෙව්වත් සැප්තැම්බර් බිහිවන ආණ්ඩුවෙනුත් ඕක ක්‍රියාත්මක වීමේ අවදානම තියෙනවා. ඒක පරාජය කිරීමේ අභියෝගය අපි හමුවේ තියෙනවා.

  • මෙයට මුහුණදෙන්න ඔබ සූදානම්ද?

අනිවාර්යෙන්ම. 2003 සිට මේ දක්වාම රක්ෂණ ආයතනයත් රැකගෙන සේවකයත් රැකගෙන ආව මේ ගමන ඉදිරියටම යනවා.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435