රජයේ රෝහල්වල හදවත් සැත්කම් අද සිට නතර වේ

25 February 2014 – wedabima.lk

 

රජයේ රෝහල්වල සේවය කරන සියලු හෘද පෙනහළු නිවේෂකයන් අද (25 දා) සිට දීපව්‍යාප්ත අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එම රෝහල්වල සිදුකෙරෙන බයිපාස්‌ ඇතුළු ප්‍රධාන පෙළේ හදවත් සැත්කම් නතර කිරීමට සිදුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

 

බයිපාස්‌ ඇතුළු ප්‍රධාන පෙළේ හදවත් සැත්කම් සිදුකිරීමේදී හෘදය වස්‌තුව ඇතුළු රෝගියාගේ ශරීරයේ අවයව ක්‍රියාත්මකව පවත්වා ගැනීම සඳහා සවිකරනු ලබන හෘද පෙනහළු උපකරණය (හාට්‌ ලන්ග් මෙෂීන්) ක්‍රියාත්මක කරනුයේ හෘද පෙනහළු නිවේෂකයන් වීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇත.

 

මේ අනුව කොළඹ ජාතික, කරාපිටිය ශික්‍ෂණ, මහනුවර ශික්‍ෂණ යන රෝහල්වල දිනකට සිදු කෙරෙන බයිපාස්‌ ඇතුළු ප්‍රධාන පෙළේ හදවත් සැත්කම් 20 ක්‌ පමණ වර්ජනය මත නතර කෙරෙන බව රෝහල් අංශ පවසයි.

 

වර්ජනය පැවැත්වෙන කාලසීමාව තුළදී හදිසි හදවත් සැත්කම් කටයුතු සඳහා පමණක්‌ සහභාගි වන බව හෘද පෙනහළු නිවේෂකයන් විසින් රෝහල් බලධාරීන් වෙත දැනුම් දී තිබේ.

 

සේවා ඉල්ලීම් 3 ක්‌ මුල්කරගෙන දිවයින පුරා රජයේ රෝහල්වල හෘද පෙනහළු නිවේෂකයන් 44 දෙනකු විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම වර්ජනයට අදාළ ඉල්ලීම් සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් අනිද්දා (27 දා) සිට බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද පෙනහළු නිවේෂකයන් ද වර්ජනයට එක්‌කර ගන්නා බව රජයේ හෘද පෙනහළු නිවේෂකයන්ගේ සංගමය පවසයි.

 

6/2006 වැටුප් චක්‍රලේඛය යටතේ පවතින වැටුප් විෂමතාව ඉවත් කිරීම, හෘද පෙනහළු නිවේෂකයන්ට ස්‌ථාවර අතිකාල දීමනාවක්‌ ලබාදීම, හදිසි අනතුරු දීමනාවක්‌ ලබාදීම යන ඉල්ලීම් මුල්කර ගෙන මෙම වර්ජනය දියත් කෙරේ.

 

මුලාශ්‍රය – divaina.com

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435