රට යන අත; අය-වැයට පසු දැවැන්ත වැඩ වර්ඡනයක්

එක පැත්තකින් ඉන්ධන මිල ඉහළයයි. තවත් පැත්තකින් රජය එක සීරුවට බදු වැඩි කරයි. තවත් අතකින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යයි. අනෙක් පැත්තෙන් ඩොලරය දිනපතාම ඉහළ යන්නේ රොකට් වේගයෙනි. මේ සියල්ල අතරේ සාමාන්‍ය ජනතාව දැඩි ලෙස අසරණව සිටින්නේ කර කියා ගත හැකි දෙයක් නොමැතිවය. ඩොලරය ඉහළයෑම හමුවේ ව්‍යාපාරික ලෝකයද උඩු යටිකුරු වී තිබේ. ව්‍යාපාර වැසී යමින් පවතී. මේ තත්ත්වය දිගටම පැවතිය හොත් විශාල පිරිසකට රැකියා පවා අහිමි වනු ඇත.

ආණ්ඩුව ඉන්ධන හිතුණු හිතුණු ආකාරයට මිල ඉහළ දමන්නේ කිසිදු මිල සූත‍්‍රයක් ජනතාවට පෙන්වා නොවේ. වර්තමාන ආණ්ඩුව බලයට පැමිණියේ ඉන්ධන බදු ඉවත් කරන බවට ජනතාවට පොරොන්දු වෙමිනි. එදා ඉන්ධන මිල වැඩි බවට මැතිවරණ වේදිකාව දෙවනත් වන්නට කෑගැසූ වර්තමාන රජයේ චම්පක රණවකලා නව රජය යටතේ ඉන්ධන බදු ඉවත් කරන බවට පොරොන්දු දුන්හ. ඒ බවක් දැන් ඔවුන්ට මතකයක් වත් නැති බව පෙනේ. පෙට‍්‍රල් ලීටරයකට ආණ්ඩුව මේ වනවිට අය කරන බද්ද රුපියල් හැත්තෑපහත් අසූවත් අතර වේ. ජනතා ප‍්‍රශ්න ගැන ඇමතිවරුන්ගේ නොදැනුවත්කම හා ජනතාව එය තවදුරටත් නොඉවසීම සඳහා හොඳම උදාහරණය ඇමතිවරයකුට හෝමාගම දී ජනතාවගෙන් හූ හඬ අසන්නට වීමය.

ශ‍්‍රී ලංකා රුපියල ඉතිහාසයේ විශාලතම පසුබෑම පෙන්වා තිබේ. මේ වනවිට ඩොලරයක විකිණුම් මිල රුපියල් 169 පසුකර තිබේ. එය ආසන්න වශයෙන් දිනපතාම රුපියලකින් පමණ ඉහළ යයි. ලෝකයේ සෙසු ප‍්‍රධාන මුදල් ඒකකවල අගයද රුපියලට සාපේක්ෂව විශාල ලෙස ඉහළ ගොස් තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ සියලූ කොටස් මිල දර්ශකය ඒකක 6,000 සීමාවෙන් පහළට ඇද වැටී තිබේ. 2018 වසරේ කොළඹ කොටස් කඩා වැටීම 6% සීමාව ඉක්මවා තිබේ.

රුපියල අවප‍්‍රමාණය වීම ගැන ආණ්ඩුවේ නායකයන් පවසන්නේ ඉන්දියාව සහ සෙසු රටවල් රැුසක මුදල් ඒකක වල අගය අඩුවී ඇති බවය. මෙය විහිලූ කතාවකි. ඉන්දියාව විශාල වශයෙන් අපනයනයන් සිදු කරයි. එරට විදේශ රටවලින් ගෙන්වන භාණ්ඩ ප‍්‍රමාණය අඩුය. එවිට ඉන්දියානු රුපියල අවප‍්‍රමාණය වීම එරටට ගැටලූවක් නොවේ. එහෙත් අපේ රට භාණ්ඩ අතිවිශාල ප‍්‍රමාණයක් පිටරටවලින් ගෙන්වයි. ඊට සාපේක්ෂව අපේ අපනයන ප‍්‍රමාණය අඩුය. මෙය තේරුම් ගන්නට තරම් බුද්ධියක් නැති ඇතැම් ඇමතිවරු අපේ රටේ සිටිති. ඩොලරය ඉහළ යෑම හොඳ බවට තමන් ආර්ථික ඔස්තාර් කෙනෙකු ලෙස විපක්ෂයේ සිටියදී පෙන්නුම් කළ එක්තරා ඇමතිවරයකු පසුගියදා පවසා තිබිණි. මාධ්‍ය කැඳවාගෙන පාසල් ළමුන් විභාගයට තම වාහනයෙන් ප‍්‍රවාහනය කිරීම වැනි ක‍්‍රියා වලින් රටේ ආර්ථිකයට මොහු සපයන දායකත්වය ගැන රටම කතා කරයි.

ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු පනවා ඇති අයුරු ජුගුප්සාජනකය. සීනි සඳහා මෙතෙක් තිබූ රුපියල් තිස් එකක බද්ද පසුගිය සතියේ තවත් රුපියල් දහඅටකින් ඉහළ නංවමින් සීනි කිලෝවක බදු මුදල රුපියල් හතළිස් නවය දක්වා වැඩි කරගන්නට රජය කටයුතු කළේය. සීනි මිල වැඩිවීම නිසා තේ කෝප්පයේ සිට සියලූම රසකැවිලි ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල ඉහළ යෑමට බලපායි. අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක බදු එවැනි ඉහළ අගයක පවතී. ඇතැම් ආහාර සඳහා පනවා ඇති අතිවිශාල බදු නිසා ළමා මන්දපෝෂණයටද බලපා තිබේ.

සීනි හා පාම් ඔයිල් බදු වැඩි කිරීම් පසුපස මහා පරිමාණ ව්‍යාපාරික මාෆියාවක් ක‍්‍රියාත්මක බවද පැවසේ. මොවුන් විශාල වශයෙන් සීති තොග හා පාම් ඔයිල් තොග ගෙන්වා රැස්කර ඉන් පසු බදු ඉහළ නැංවීම සිදුවූ බවටද චෝදනා පවතී. මහා පරිමාණ හෝටල් සමුහයක නමද මීට ගෑවී තිබේ. මෙහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් කවරෙක් විසින් හෝ මෙවැනි අයථා ලාභයක් ලැබුවේද යන්න බලධාරීන් සොයා බැලිය යුතුය.

ආණ්ඩුව ගෑස් මිල ද වැඩි කරන්නට තීරණය කර තිබේ. කිරි පිටි කිලෝවක මිල රුපියල් විසි පහකින් පහළ දමන්නට තීරණය කර ඇතත් එයින් වන බලපෑම අඩුය. පසුගිය සතියේ සිදුකළ තිරිඟු පිටි මිල වැඩි කිරීම අත්හිටුවන්නට කටයුතු කර ඇතත් එය ප‍්‍රායෝගිකව සිදුවේ දැයි සැක පවතී. රුපියල් පනස් පහක් වූ පාන් ගෙඩිය රුපියල් පහකින් පහළ දමන බව පැවසුනද බොහෝ ස්ථානවල පාන් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් හැට පහකටය. ක්ෂණික ආහාර මිල ගණන්ද විශාල වශයෙන් ඉහළ දමා තිබේ. නිෂ්පාදන වියදම රුපියල් 10, 15, 20 අතර වන ක්ෂණික බේකරි ආහාර විකුණන්නේ රුපියල් 80, 90, 100 ආදී මිල ගණන් වලටය. මහා පරිමාණ බේකරි වෙළඳසල් රටපුරා බිහිවෙමින් පවතින්නේ හතු පිපෙන්නාක් මෙනි. ඒ අධික ලාභය නිසාය. වහාම බේකරි නිෂ්පාදන සඳහා බර අනුව තීරණය වන උපරිම මිලක් නියම කළ යුතුය. පාන් ගෙඩියක් ග‍්‍රෑම් 454 ක බරින් යුක්ත විය යුතු වුවද බොහෝ ස්ථානවල විකුණන පාන් ගෙඩියක බර ග‍්‍රෑම් 250, 275 හෝ 300 කි. එම නිසා මේවා පාලනය කරන්නට වහාම නීති ගෙන ආ යුුතුය.

බස් ගාස්තු යළිත් වරක් ඉහළ දමා ඇත්තේ කෙටි කාලයක් තුළ දෙවැනි වරටය. පසුගිය බස් ගාස්තු වැඩි කිරීමේදී යළිත් බස් ගාස්තු වසර දෙකකට ඉහළ නොදමන බව පැවසුණද යළිත් වරක් ගාස්තු ඉහළ දමා ඇත්තේ නිසි ක‍්‍රමවේදයකට නොවේ. දුම්රිය ගාස්තුද ලබන මාසයේ සිට ඉහළ යයි. ඉන්ධන මිල ඉහළ යන සෑම විටම බස් ගාස්තු, පාසල් වෑන් ගාස්තු ඉහළ නොයන ආකාරයට පොදු ප‍්‍රවාහන සේවා සඳහා ඉන්ධන සහනාධාරයක් හෝ වෙනත් ක‍්‍රමවේදයක් වහාම හඳුන්වා දිය යුතුය. එවැන්නක් තළින් වංචා සිදුවන බව එවැන්නක් සිදු කරන්නට ඇති බාධාව ලෙස ඇතැම් ඇමැතිවරු පවසති. එවැන්නකින් වංචාවක් සිදුවන්නේ නම් එය ඉතාම සුළුය. එහෙත් එයින් සිදුවන සේවය ඉතා විශාලය. එම නිසා වහාම එවැනි ක‍්‍රමවේදයක් හඳුන්වාදීම කළ යුතුය.

මේ කිසිදු ප‍්‍රශ්නයක් මැති ඇමැතිවරුන්ට නොදැනෙන තරමේ වැටුප් වැඩිවීම් දීමනා සහ තීරු බදු රහිත වාහන බලපත‍්‍ර ඇතුළු වරප‍්‍රසාද රැුසක් ඔවුන්ට ලබා දී තිබේ. මේ නිසා පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන ඕනෑම යෝජනාවකට මොවුන් අත ඔසවති.

මේ අතර වැඩිවන ජීවන වියදමට සරිලන ලෙස රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිකර බඩු මිල ඉහළයෑම නතර නොකළහොත් එළඹෙන අයවැයට පසු රට තුළ මහා වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය තීරණය කර ඇත.

අගෝස්තු මස සැකසූ ජීවන වියදමට සාපේක්ෂව වැටුප රුපියල් 5649 කින් වැඩිකළ යුතුව ඇතැයි ද ගෑස් පොල්තෙල්, සීනි, තිරිඟු පිටි ආදිය මෙන්ම දුම්රිය හා බස් ගාස්තු ආදී දේවල්වල මිල ඉහළ යෑමත් සමඟ මේ තත්ත්වය තවත් නරක අතට පත්ව ඇතැයිද ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කියා සිටී.

ජනතාව හා කම්කරු ජනතාව මේ පිළිබඳ දැනුම්වත් කරමින් අත්පත‍්‍රිකා හා පෙත්සමකට අත්සන් ගැනීම මේ වනවිට සිදුකර ඇති අතර ඒ අනුව ලබන අයවැය මගින් ජනතාවට සහන නොදුන්හොත් අනිවාර්යයෙන්ම ජාතික වැඩවර්ජනය ක‍්‍රියාත්මක කරන බවද ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කියා සිටී.ඒකාබද්ධ විපක්ෂය, ආණ්ඩුවෙන් ඉවත්වූ 16 කණ්ඩායම හා ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප කණ්ඩායම අතර මත ගැටුම් මේ දිනවල දැඩි ලෙස සිදුවේ. විශේෂයෙන්ම ආණ්ඩුව පිහිටුවා ඇති විශේෂ අධිකරණ හරහා විපක්ෂයේ ප‍්‍රබලයන් දඩයමට ආණ්ඩුව උත්සහ ගන්නා බවට විපක්ෂය චෝදනා කරයි.

විපක්ෂය චෝදනා කරන්නේ විභාග කළ යුතු නඩු හාරලක්ෂ හැත්තෑ දහසක් තිබියදී දේශපාලන පළිගැනීම් සඳහා රජය විශේෂ අධිකරණයක් පිහිටුවා කටයුතු කරන බවයි. දැනට විභාග වන නඩුවලදී සිදුවිය හැකි එකම දේ හිරේ යෑම පමණක් බවත් කිසිවකු එල්ලා මරා දමන්නේ නැති බවත් සුසිල් පේ‍්‍රමජයන්ත මන්ත‍්‍රීවරයා පසුගියදා ප‍්‍රකාශ කර තිබිණි. මෙම දේශපාලන පළිගැනීම් වෙනුවෙන් ජනතාව මීළඟ මැතිවරණයේදී ආණ්ඩුවට පාඩම් උගන්වනු ඇතැයි ද ඔහු පවසා තිබිණි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ 20 වැනි සංශෝධනය රට පුරා ගැටලූ ඇතිකර තිබේ. මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් පවා 20 වැනි සංශෝධනයට විරෝධය දක්වා තිබේ. ඊට එරෙහිව ඉදිරිපත්වූ පෙත්සම් පිළිබඳ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායක වරයාට දන්වා තිබේ. ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි සංශෝධනය ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කොන්ත‍්‍රාත්තුවක් ඉටු කිරීම සඳහා යැයි මාතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගියදා පවසා තිබිණි.

19 වැනි සංශෝධනය අවශ්‍ය ආකාරයට කර ගැනීමට අධිකරණය ඉඩ නොදුන් දෙය 20 වැනි සංශෝධනය හරහා කිරීමට එජාපයට වුවමනා වී ඇති බවද විධායක ජනාධිපති ක‍්‍රමය මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සිදු වන අනතුරක් පිළිබඳව රටම කතා කළ නිසා ඊට පිළියම් ලෙස ගෙනා 19 වැනි සංශෝධනයට ඡන්දය දුන් බවද අද තමන් ඒ පිළිබඳව කනගාටු වන අතර එය වරදක් යැයි පිළිගන්නා බවද ඔහු පවසා තිබිණි.

මේ තත්ත්වය යටතේ විසිවන සංශෝධනය සාර්ථක නොවීමට බොහෝ දුරට ඉඩ තිබේ. එය යම් ලෙසකින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තද එය යළිත් වරක් ජනමත විචාරණයක් මගින් වැඩි ඡුන්දයෙන් සම්මත කරගන්නටද සිදුවනු ඇත. රටට ජාතියට ආදරය කරන කිසිවකුත් ඊට පක්ෂව ඡුන්දය භාවිත කරනු ඇතැයි සිතිය නොහැක්කේ ඒ මගින් රට කැබලිවලට කැඞී රට අරාජික වීම නියත නිසාය. එම නිසා මේ මොහොතේ විධායක ජනාධිපති ධුරය ආරක්ෂා කරගැනීම සඳහා රටට ජාතියට ආදරය කරන සියල්ලෝම එකාවන්ව එක්වී මේ විජාතික බලවේග හා ඊට සම්බන්ධව සිටින මෙරට බලවේග පරාජය කළ යුතුය.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435