රට රස්සා දෙන බව කියමින් මුහුණු පොතෙන් සල්ලි ගැරූ කල්ලියක්

මුහුණු පොතේ මුහුණ පෙන්වා රට රස්සා දෙනවා යැයි පවසා රුපියල් ලක්‍ෂ ගණනින් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඇගෙන් ලද තොරතුරු සමඟ රට පුරා මෙවැනි වංචාවන් සිදුකරන සංවිධානාත්මත කල්ලියක් පිළිබඳව ගම්පොළ පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.

මෙම කාන්තාව ෆේස් බුක් හරහා මිතුරු සමාජ අරඹා ඔවුන් සමඟ චැට් කර විදේශ රටවල රැකියා ලබාදෙන බව පවසමින් ගිණුම් අංකයක් දී එයට මුදල් බැර කරන ලෙස පවසා මෙම වංචාව සිදුකර තිබේ.

ෆේස් බුක් මිතුරු මිතුරියන් මේ ලෙස ගිණුමට මුදල් බැර කළ පසු මාස ගණනක් ඉතා ළෙන්ගතුව චැට් කළ එම කාන්තාව ඉන්පසු සොයා ගැනීමටවත් නොහැකි ලෙස අතුරුදන් වන අතර ෆේස් බුක් ගිණුමද ක්‍රියාත්මක නොවේ.

මේ ලෙස මෙම කාන්තාවට හසුවූ ගම්පොළ ගම්පොළවත්ත පදිංචි සාලිය රත්නායක නමැති අය රුපියල් ලක්‍ෂයක් මෙම කාන්තාවට ලබාදී රට රැකියාව නොලැබීම හා එම කාන්තාව අතුරුදන් වීම පිළිබඳව ගම්පොළ පොලිසියට පැමිණිලි කිරීමත් සමඟ පරීක්‍ෂණ ආරම්භ කොට තිබිණි.

ඒ අනුව ලබාදී තිබූ ගිණුම් අංක පරීක්‍ෂා කිරීමේදී එම ගිණුම් හිමි කාන්තාව විදේශ රටක සිටින බව හෙළිවීම නිසා මෙය ඉතා සූක්‍ෂ්මව වංචා කිරීමක් බව අවබෝධ වී මෙරට සිටින තැරව්කරුවන් සෙවීමේදී නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව පිළිබඳව අනාවරණය වී ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ඇයගෙන් මෙයට සම්බන්ධ තවත් කීපදෙනකු පිළිබඳව පුළුල් පරීක්‍ෂණ අරඹා ඇත.

ගම්පොළ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා, ස.පො. අධිකාරි චූලනී වීරරත්න, මූලස්ථාන පොලිස් ස්ථානාධිපති යාපා බණ්ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පො.ප. සුගතදාස පො.සැ. මහගෙදර (29221), කා.පො.කො. මාලනී (5907) ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ අරඹා ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාරිය ගම්පොළ මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මූලාශ්‍රය මව්බිම

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435