රට විරුවන් වෙනුවෙන් පෙනී නොසිටන රටක්

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ගැටලු වලට මැදිව ජෝර්දානයේ සිටින ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් විශාල කණ්ඩායමකට පසුගිය දිනක මුහුණ දීමට සිදුවූයේ ඊටත් එහා ගිය ඛේදජනක අත්දැකීමකට ය. ඒ, ජෝර්දානයේ ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ට තම දුක් ගැනවිලි ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට නිසි විසඳුම් ලැබීම වෙනුවට ඔවුන් වෙත එරට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයේ එල්ල වීම ය. එම සිදුවීමේ දී ඇතැම් තරුණියන් තුවාල ලබා රෝහල්ගත කර ද තිබුණි. එම සිදුවීමට මුහුණ දුන් තරුණියන් පිරිසක් රාවයට පැවසුවේ මෙවැන්නකි. “තානාපති කාර්යාලයේ අය අපේ ප්‍රශ්න මොනවාටවත් හරි විසඳුමක් නොදී මඟ හැරලා යන්න හදද්දී අපි ඒකට කෑ ගහලා විරුද්ධ වුණා. ඒ නිසා ඒ අය පොලීසිය ගෙන්වලා අපිට කඳුළු ගෑස් ගහන්න කිවුවා. අපිට කන්න බොන්න නෑ, රස්සා නෑ, ලංකාවට යන්නත් විදියක් නෑ, ඒ නිසා ෆැක්ටි්‍ර එකෙන් කීයක් හරි ඉල්ලලාවත් දෙන්න කියලා කිවුවා ම ඒ අය අපිට කළේ මේකයි.”

ජෝර්දානයේ අල් කරක් නගරයේ පිහිටා ඇති කැමල් වෙගා සමාගමට අයත් කර්මාන්ත ශාලා දෙකෙන් එකක් මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර එහි සේවය කරමින් සිටි අයට රැකියා අහිමි වී තිබුණේ ය. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 700ක් පමණ සේවය කළ බව පවසන එම සමාගමේ මේ වන විට සේවය කරන්නේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සියයක් වැනි සංඛ්‍යාවක් පමණක් බව එම සේවිකාවෝ පවසති. වැඩ නොමැතිව නේවාසිකාගාරය තුළ රැදී සිටින පිරිස මුහුණ දෙමින් සිටින්නේ විශාල අර්බුදයකට ය. ඒ වන විට ඔවුන්ට ලබා දෙන ආහාර ද අඩු කර තිබූ අතර ඔවුන්ට කිසිදු ආදායම් මාර්ගයක් ද නොතිබුණි. එකම විකල්පය ලෙස ඔවුහු බලාපොරොත්තුවෙන් සිටියේ නැවත මවු රටට ඒම වුව ද මේ වන විට ඒ සඳහා වැඩපිළිවෙලක් ද නැත. තමන් මුහුණදෙන මේ ගැටලුකාරී තත්ත්වයට විසඳුම් ඉල්ලූ විට මෙරට තානාපති කාර්යාලයේ නිලධාරීන්ගෙන් ඔවුන්ට ලැබී තිබුණු ප්‍රතිචාරය යහපත් එකක්වී නොතිබුණි. ඒ වන විට ඒ බොහෝ දෙනා මෙම ශ්‍රමිකයන්ගේ දුරකථන අංක ද අවහිර කර තිබූ බවත් ඒ හේතුවෙන් තමන්ට හදිසි අවශ්‍යතාවයක දී හෝ ඔවුන් ඇමතිය නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් එම ශ්‍රී ලාංකික තරුණියෝ කියූ හ. පොලිස් ප්‍රහාරයෙන් දින කීපයකට පසු මෙම ශ්‍රමිකයින්ට නිසි ලෙස ආහාර ලබා දීම සිදුව ඇතත් ඒ වන විට එම සමාගමෙහි තමන්ගේ ගැටලු පැවසීමට සිටි ශ්‍රී ලාංකික මානව සම්පත් කළමනාකාරිණිය ද ඔවුන්ට නොදන්වාම පිටව ගොස් ඇති බව මේ සේවිකාවෝ පවසති.

“ඡන්දයත් එක්ක අපේ ප්‍රශ්න පැත්තකට දැම්මා. රස්සා නැතිවෙච්ච ළමයි අන්ත අසරණ යි. මියන්මාරයේ අය දෙදාහකට කිට්ටු ගණනක් මෙහේ වැඩ කළා, ඒ අයගෙන් කණ්ඩායම් තුනක් සති තුනක දී මියන්මාරයට එක්ක ගියා. ඒ අයට මෙහෙන් ලැබෙන සමාජ ආරක්ෂණ මුදලත් ලැබිලා තිබුණා. අනෙක් රටවලට ඒ සල්ලි අරන් දෙන්න පුළුවන් නම් අපිට ඒවා අරන් දෙන්න බැරි ඇයි. මියන්මාරයේ අයගේ මානව සම්පත් කළමනාකරණ නිලධාරින් ඒවාට මැදිහත්වෙලා තිබුණා. අපේ වැඩ වලට කවුරුවත් මැදිහත් වෙන්නේ නැහැ. තානාපති කාර්යාලයත් හොයන්නේ නැහැ. තාම මේ ෆැක්ට්‍රිඑකේ අයගෙන් ආපහු ලංකාවට යන්න ඕනෑ කණ්ඩායමේ ලැයිස්තුවක් ලැබිලා නැහැ කියලා තානාපති කාර්යාලයෙන් කියලා තිබුණා. අපි ඒක මානව සම්පත් නිලධාරිනියගෙන් ඇහුවා, එයා අපිට හොඳට බැනලා යන්න ගිහින්. කවුද ඇත්ත කියන්නේ කියලා අපිට දැන් හිතා ගන්න බැහැ.” ජෝර්දානයේ එම සමාගමේ සේවිකාවක් වන එක් ශ්‍රී ලාංකික තරුණියක් පැවසුවා ය.

විගමණික ශ්‍රමිකයෝ අසරණ වීම

මොවුන් ද ඇතුළුව විදෙස් රැකියාවන්හි නියැලෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මිලියන 2ක් වැනි සංඛ්‍යාවකගේ ජීවිත වලට කොවිඞ් වසංගතය එල්ල කළ බලපෑම අති විශාල ය. රැකියා අහිමිවීම්, වැටුප් කප්පාදු, ආහාර ඖෂධ නවාතැන් ආදී මූලික අවශ්‍යතා අහිමිවීම් මෙන්ම මව් රටට ඒමට ද මග ඇහිරී තිබීම ඔවුන්ගේ ජීවිත විශාල අර්බුදයකට තල්ලු කර තිබේ. අන්තර්ජාතික කම්කරු සංවිධානය පවසන්නේ ලොව පුරා මිලියන 164ක් විගමණික ශ්‍රමිකයන් කොවිඞ්-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ අර්බුදයට ලක්ව සිටින බව ය. ඒ ගෝලීය ශ්‍රම බලකායෙන් 4.7%ක ප්‍රතිශතය කි. එයින් අඩකට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන් බව එම සංවිධානය සඳහන් කරයි. වසංගතය හමුවේ රැකියා, ආදායම් මාර්ග අහිමිවීම, සෞඛ්‍ය ගැටලු, මවුරටවලට යා නොහැකිවීමත් ආදිය මධ්‍යයේ නීත්‍යානුකූල ලියවිලි රහිතව රැඳී සිටින ශ්‍රමිකයන් වඩා අවදානමකට මුහුණ දී ඇති බව එම සංවිධානය සඳහන් කරයි.

1977 වසරේ පැවති රජය හඳුන්වාදුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට පුරවැසියන්ට විදෙස් රැකියා වෙළඳපොළ දොරටු විවර වූයේ ය. ඒ සමග විශේෂයෙන් මැදපෙරදිග රටවලින් ලැබුණු ඉල්ලුමත් එම රටවල රැකියා සදහා යෑමට එතරම් අපහසුවක් නොවීමත් ආදී හේතු මත ක්‍රමක්‍රමයෙන් ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගේ සංඛ්‍යා වර්ධනය වූයේ ය. ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන්ගෙන් වැඩි ප්‍රමාණයක් සේවා සපයන්නේ මැදපෙරදිග රටවලට ය. (1.1 ප්‍රස්ථාරය බලන්න) එමෙන් ම 2018 වර්ෂයේ දී මෙරටින් ගෘහ සේවය සඳහා පමණක් පිටත්ව ගොස් තිබෙන ශ්‍රමිකයන් සංඛ්‍යාව 64,938 කි. (1.2 ප්‍රස්ථාරය බලන්න)

ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන්ගෙන් මෙරටට වාර්ෂිකව ලැබෙන විදෙස් විනිමය වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 7කට වැඩි ය. ඉන් ඇමරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන්නේ මැදපෙරදිග සේවා නියුක්තිකයන්ගෙනි. එම වාර්තා වලට අනුව විගමණික ශ්‍රමිකයන්ගෙන් මෙරට උපයන මුළු ආදායමෙන් 50%කට වැඩි කොටසක් මෙරටට ගලා එන්නේ මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රමිකයන්ගෙනි. එසේ වුව ද මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් හමුවේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මෙන්ම ඔවුන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශවයන්ගේ නිසි මැදිහත්වීමක් සිදුවනවා ද යන ගැටලුව තිබෙන්නේ ය. වරින්වර විගමණික ශ්‍රමිකයන් වෙනුවෙන් විවිධ ප්‍රතිපත්ති යෝජනා ආදිය මතු වුව ද තවමත් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙරට රජය කෙතරම් දුරට මැදිහත් වෙනවා ද යන ගැටලුව තිබෙන්නේ ය.

ප්‍රමුඛ ලෙස නොසැලකීම

විදෙස්ගතව සිටින එහෙත් මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ පියවර සැලසුම් කිරීම සඳහා ඔවුන්ගේ තොරතුරු එකතු කිරීමට මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් විසින් 2020 මාර්තු 26 දින Contact Sri Lanka වෙබ් පිටුව හඳුන්වා දී තිබුණි. 2020 මැයි 29 වන විට රටවල් 123 කින් ශ්‍රී ලාංකිකයන් 42,000ක් එහි ලියාපදිංචි වී තිබුණි. ඉන් 34,881 ක් සංක්‍රමණික සේවකයන් වන අතර ඔවුන්ගෙන් 20,893 ක් මැද පෙරදිග ජීවත් වන සහ සේවය කරන අය වූහ. 2020 අප්‍රේල් මස මැද භාගයේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ එක්ව බහරේන්, කුවේට්, ජෝර්දානය, ලෙබනනය, ඕමානය, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඉරානය සහ ඊශ්‍රායලය යන රටවල්වල පිහිටුවා තිබෙන සිය කාර්යාල සමඟ වීඩියෝ සම්මන්ත්‍රණ ද පවත්වා තිබුණි. විරැකියාව වැඩිවීම, ගිවිසුම් අහිමිවීම, වැඩ බලපත්‍ර දීර්ඝ නොකිරීම සහ තාවකාලික, නිදහස් වැඩ නතර කිරීම වැනි ගැටලු ඒ අනුව හඳුනාගෙන තිබුණි. එමෙන්ම එම විගමණික ශ්‍රමිකයන්ගේ ශ්‍රී ලංකාවේ වෙසෙන පවුල්වල ජීවන තත්ත්වය කෙරෙහි වන බලපෑම ද හඳුනාගෙන තිබුණි. ඒ කෙසේ වෙතත් ඉන් අනතුරුව රජය ප්‍රමුඛත්වය ලබා දී තිබුණේ පුහුණුව ලබමින් සිටි ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් සහ විවිධ රටවල විශ්වවිද්‍යාලවල සිටි සිසුන් නැවත රැගෙන ඒම කෙරෙහි ය.

කොවිඩ් වසංගත තත්ත්වය සමග ගැටලු රාශියකට මැදිව සිටින මැදපෙරදිග රටවල සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට රැගෙන ඒමේ කටයුතු ද පසුව ආණ්ඩුව විසින් මැයි මාසයේ ආරම්භ කළත් එසේ ගෙන්වාගත් අය අතරින් බොහෝ පිරිසකට කොවිඞ් වෛරසය ආසාධිත බව අනාවරණය වීමත් සමඟ ඒ කටයුතු නතර වූයේ සෞඛ්‍ය පහසුකම්වල ධාරිතාවය ඉක්මවා යා හැකි බව පවසමිනි. නිරෝධායන මධ්‍යස්ථාන අවශ්‍ය නම් ලබා දිය හැකි බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ම පවසද්දීත් තවත් විවිධ කණ්ඩායම් ද ඊට දායක වීමට කැමැත්ත පළ කරද්දී ද ඒවා සම්බන්ධයෙන් අවධානය යොමුවූ බවක් පෙනෙන්නට නැත. මූලික අවශ්‍යතා මෙන්ම ජීවිත ආරක්ෂාව ද අහිමි තත්ත්වයක් මධ්‍යයේ සිටින ඇතැම් ශ්‍රමිකයන් තමන් සිටින තත්ත්වය මෙරටට අනාවරණය කිරීමට වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යට එක් කරමින් දිගින් දිගටම මෙරටින් උදවු පතමින් සිටිති. ඔවුහු මෙරට ජනාධිපතිවරයාගෙන් ද සියලු බලධාරීන්ගෙන් ද තමන්ට පිහිට වන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටිති. මෙරටට ආදායම් ගලා එද්දී රට විරුවන් යැයි පවසමින් මුරුංගා අත්තේ තැබූ ඔවුහු අද අසරණභාවයට පත්ව සිටිය දී මෙරට බලධාරීන්ට ඒවා එතරම් ඇසෙන්නේ නැති විලස ය. 2020 ජූලි 17 වන විට ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් 40ක් කොවිඞ් ආසාධිතව මියගොස් තිබූ බවත් එම මරණ සෞදි අරාබිය, කුවේට්, එක්සත් අරාබි එමිර්, ඕමාන්, කටාර් හා ලෙබනනයෙන් වාර්තා වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර තිබුණි. ඊට අමතරව වෙනත් රෝගාබාධ වලට ප්‍රතිකාර ලබාගත නොහැකි වීම නිසා ද මියගිය අය සම්බන්ධ තොරතුරු ද වරින් වර වාර්තා වූයේ ය.

නීති ප්‍රතිපත්ති හා ලැදියාව

1995 වසරේ සියලු සංක්‍රමණික ශ්‍රමිකයන් හා ඔවුන්ගේ පවුල්වල අයිතිවාසිකම් ආරක්ෂාව සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය ශ්‍රී ලංකාව විසින් පිළිගෙන තිබෙන්නේ ය. එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූලික සම්මුතීන් සියල්ල ද පිළිගෙන තිබෙන අතර ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ(ILO) ශ්‍රමික සංක්‍රමණය පිළිබඳ බහුපාර්ශ්වික ව්‍යුහය (Multilateral Framework on Labour Migration) ට ද අත්සන් තබා තිබෙන්නේ ය. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අනුග්‍රහයෙන් 2008 වසරේ ඔක්තෝබර් හි දී ශ්‍රමික සංක්‍රමණය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය නමින් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යාංශය විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ද එළිදක්වා තිබුණි. එහි මූලික අරමුණු අතර ද ප්‍රධාන එකක් වන්නේ සංක්‍රමණික සේවකයන්ගේ සියලුම මානව හා ශ්‍රම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියා කිරීම ය.

එසේ වුව ද මෙම අර්බුදය හමුවේ මෙම ශ්‍රමිකයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද මේ වන විට මුහුණ දෙමින් සිටින්නේ දැඩි පීඩාකාරී තත්ත්වයකට ය. ඒවා වෙනුවෙන් වගකිවයුතු පාර්ශ්වයන් විධිමත් අයුරින් මැදිහත්වීමක් වෙනවා නම් මෙවැනි වියවුල් තත්ත්වයක් නිර්මාණය වීමට තරම් ඉඩ තිබිය නොහැකි ය. මෙම තත්ත්වය සම්බන්ධයෙන් නීතීඥ ලක්ෂාන් ඩයස් අදහස් පළ කළේ මෙලෙස ය. “මේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් විශාල වශයෙන් උල්ලංඝණය වීම සම්බන්ධව කිසිවකු විධිමත්ව ලෙස පෙනී සිටින බවක් පෙනෙන්නේ නැහැ. විගමණික ශ්‍රමිකයන් සම්බන්ධව පිහිටුවා තිබෙන රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන හෝ මානව හිමිකම් සංවිධාන විධිමත් ලෙස මේවාට මැදිහත් වන බවක් පෙනෙන්නේ නැහැ. මේවා සම්බන්ධයෙන් විශාල වශයෙන් සංවිධානාත්මකව මැදිහත්විය යුතු වුණත් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේවා වෙනුවෙන් නාමිකව පමණක් නොවෙයි, සැබෑ ලෙසම පෙනී සිටීමක් තිබිය යුතුයි. එවැනි මැදිහත්වීමක් පෙනෙන්න නොමැති නිසා ලංකාවේ සංක්‍රමණික සේවකයින් කිසිවකු ලැදියාවක් නැති මිනිසුන් කොට්ඨාසයක් බවට පත්වෙලා තියනවා.”

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය ජෝර්දානයේ සිටින ශ්‍රමිකයන් සම්බන්ධයෙන් මේ වන විට එම කාර්යාංශයේ මැදිහත්වීම පිළිබඳව පවසන්නේ මෙවැන්නකි. “අල් කරක්වල ඒ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ 715ක් රැකියා කරනවා. එයින් 345ක් ලංකාවට එන්න ඕනෑ තත්ත්වයෙන් ඉන්නවා. ඒ අයට ගුවන් යානා නැති නිසා එන්න විදියක් නෑ. රැකියාව නැති නිසා වැටුපක් ලැබෙන්නේත් නැහැ. ඒ නිසා අපි ඒ අයට කෑම බීම දෙන්න ඕනෑ. දැන් ඒ දේ අපි කරනවා. ඒ අයගේ ආහාර පාන, සනීපාරක්ෂාව, නවාතැන් සහ ජීවිතාරක්ෂාව සහතික කර ඒ අය ලංකාවට ගෙන්වා ගන්නා තුරු අපි බලාගන්නවා. ඒ වගේම ලංකාවට යන තුරු ඒ අයට වැටුප් ලෙස යම් මුදලක් ගෙවන ලෙස අපි කර්මාන්තශාලා හිමියන්ගෙන් ඉල්ලා තිබෙනවා. ඒ වගේම ඒ රටේ කම්කරු අමාත්‍යාංශයේ පැමිණිල්ලක් දාලා තියනවා, ඒ අය මේ වන විට හාම්පුතුන් එක්ක ඒ ගැන සාකච්ඡා කරනවා. නොබෝ දිනකින් ඒ අය රැගෙන එන්න ගුවන් යානයක් යොදවා වි කියලා බලාපොරොත්තු වෙනවා.” එමෙන්ම ඔහු සඳහන් කළේ විගමණික ශ්‍රමිකයන් ගෙන්වීම සම්බන්ධයෙන් මෙරට අභ්‍යන්තර කළමනාකාරීත්වය අනුගමනය කරන්නේ ලෝකයේ වෙනත් රටවල් අනුගමනය කරන ක්‍රමය නොවන බව ය. මෙරට අභ්‍යන්තර කළමනාකාරීත්වය අනුගමනය කරනු ලබන්නේ අභ්‍යන්තර නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් අනුව ගෙන්වීම බවය. අභ්‍යන්තර නිරෝධායන පහසුකම් වැඩි කිරීමට කාර්යාංශයේ මධ්‍යස්ථාන ලබා දීමට සූදානම් බව දන්වා ඇතත් ඒ සම්බන්ධ තීරණ ගත යුතු වන්නේ ඒවා සම්බන්ධව කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යාංශය බව ඔහු පවසන්නේ ය.

සියලු පාර්ශ්ව මැදිහත් විය යුතුයි
නීතීඥ ලක්ෂාන් ඩයස්

ජෝදාර්න්වලත් මානව හිමිකම් සම්බන්ධයෙන් වගේම විගමණික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් වැඩ කරන සංවිධාන තියනවා. එහෙම සංවිධාන එක්ක අපේ රටේ කවුරුන් හෝ සම්බන්ධතා ගොඩනගා ගන්න උත්සාහ කර හෝ ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න උත්සාහ කළ බවක් දැනගන්න නැහැ. අනෙක් දේ මේ සම්බන්ධයෙන් රජයේ මැදිහත්කාරකමක් ලැබීමේ අයිතිවාසිකම ලංකාවේ පුරවැසියන් ලෙස ඒ අයට තියනවා. ඒ මැදිහත්කාරකම ලබාදීමේ වගකීම රජයටත් තියනවා. ඒකෙදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත්කාරකම් කළ යුතුයි. ඒ අයගේ නියෝජිතයන් එහේ ඉන්නවා. ඒ වගේම තානාපති කාර්යාලය මැදිහත් විය යුතුයි. තුන්වන කාරණය මේ අයට වැටුප් සහ විශේෂයෙන්ම ආහාරපාන ලබා දෙන්නේ නැත්නම් ඒ රටේ කම්කරු නීතිරීතිත් උල්ලංඝණය වීමක් වෙනවා. ඒ නිසා එහේ සිටින නීතීඥයින් හරහා යම් මැදිහත්කාරකමක් කරන්න ලංකාවේ තානාපති කාර්යාල වලට පුළුවන්කම තියනවා.

මේකට පිළිතුර ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීමම නෙමෙයි. ඒ වෙනුවට කළ යුතු වන්නේ ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය ඇති කර තවදුරටත් රැකියාව කරගෙන යෑමට අවශ්‍ය මැදිහත්කාරකම ලබාදීම යි. සියලු විදේශ සංක්‍රමණික සේවකයෝ නැවත රටට ගෙන්වා ගැනීම රටට දරාගන්න බැහැ. එහෙම වුණොත් රට බංකොළොත් වෙනවා. මොකද රාජ්‍ය ධනයෙන් ඉතා විශාල ප්‍රමාණයක් එන්නේ ඒ හරහා යි. ඒ නිසා කළ යුතු වන්නේ ඒ අයගේ සේවා සුරක්ෂිත කිරීම යි. ඒ සදහා ඒ රට වලට ගිහින් තානාපති කාර්යාල සමග සම්බන්ධවෙලා ඒ රටේ මේවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතන සමගත් සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්න ඕනෑ. අනෙක් දේ සේවකයන්ට අවශ්‍ය ආහාරවත් සපයන්නේ නැතිව කටයුතු කරන සමාගම් බ්ලැක් ලිස්ට් කරන්න රජය සහ ලංකාවේ මානව හිමිකම් සංවිධාන කටයුතු කළ යුතුයි. ලංකාවේ මානව හිමිකම් කොමිසමටත් මේ සම්බන්ධයෙන් තමන් විසින්ම පරීක්ෂණයක් කර විදේශ සේවා නියුක්ති කාර්යාංශයට, විදේශ අමාත්‍යාංශයට නිර්දේශ නිකුත් කිරීමේ හැකියාව තියනවා. ඒ දේවල් සමස්ත සංක්‍රමණික ප්‍රජාව සම්බන්ධයෙන්ම විය යුතුයි.

ඔවුන් රැක ගැනීම රජයේ වගකීමක්
සංක්‍රමණික සේවකයින් සදහා වන ක්‍රියාකාරී ජාලයේ විධායක සම්බන්ධීකාරිණි වයලා පෙරේරා

මේ ගැන රජයේ කමිටුවල සාකච්ඡාවට ලක්වන අවස්ථාවල දී වෙනත් කණ්ඩායම් විදේශ රට වලින් ගෙන්වීමට පෙර මේ ශ්‍රමිකයන් ගෙන්වන්න කියන එක අපේ ජාලය විසින් ඒ අයට කිව්වා. ඒ වගේම අපේ රටත් ජාත්‍යන්තර සම්මුතීන් වලට අත්සන් කරලා තියනවා. මේ රටේ පුරවැසියන් ආරක්ෂා කිරීමේ වගකීම මේ රටට තියනවා. නැවත පැමිණීමේ අවශ්‍යතාවය නැති සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා ඒ රටවල රජයන්ට කියන්නත් අපේ රජයට වගකීමක් තියනවා. මොකද ඒ අය ලංකාවට ආවත් ඒ අයව මේ රටේ සමාජගත කිරීමේ වැඩපිළිවෙලක් නැහැ. අනෙක් දේ ඒ අය ලංකාවට ඇවිත් නැවත එහේ රැකියාවන්ට යන්න අවශ්‍ය වුණත් ආර්ථික කාඩාවැටීම එක්ක ඒ අය නැවත බඳවා ගැනීමේ සූදානම් නැති වීමේ අවදානම තියනවා. රජය සහ සිවිල් සමාජය අතර ඇති සාමූහිකත්වය වැඩිදියුණු කරගනිමින් මේ අයගේ ගැටලුවට පිළිතුරු සැපයීමේ හැකියාව තිබිය යුතුයි. ඒ සේවකයන් ආරක්ෂා කිරීමට අපි සියලුදෙනාටම වගකීමක් තියනවා. ඒ නිසා ගෙන්විය යුතු අය ගෙන්වා නිරෝධායනයට ස්ථාන නැතිනම් විදේශසේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානය හෝ යොදාගෙන ඒ කටයුතු කළ යුතුයි. මේවා සම්බන්ධයෙන් අපි පසුගිය දිනවල ප්‍රතිපත්තියක් හදලා රජයට ඉදිරිපත් කර තිබෙනවා. එහි තිබෙන නිර්දේශ කෙරෙහිත් අවධානය යොමුවෙනවා නම් විධිමත් යාන්ත්‍රණයක් ගොඩ නැගීමේ හැකියාව රජයකට තියනවා.

ඉඩම් රජයට ගෙන වන්දි ගෙවිය හැකියි
විදේශ සේවා නියුක්ති නියෝජ්‍ය ආයතන සංගමයේ හිටපු සභාපති විජය උඳුපිටිය

ජෝර්දානයේ රජ්ජුරුවෝ මීට වසර විස්සකට පෙර ඒ රටට ආයෝජකයෝ එද්දී ඒ අයට ඉඩම් දීලා ඒවා මිල දී ගන්න කිවුවා. ඒකේ යටි අරමුණ වුණේ මේ වගේ අවස්ථාවක් උද්ගත වුණොත් නිසි ලෙස සියල්ල පියවා මිස ඒ ආයතනවල අයට පහසුවෙන් ගැලවී යන්න බැරි වෙන විදියට යි. ඉඩම තමයි ආරක්ෂාවට තියෙන්නේ. මොකද ඉඩම ගෙනියන්න බැහැ. මේ ප්‍රශ්නය ඇති වුණ වෙලාවේත් ඒ රටේ කම්කරු ඇමතිවරයා කියලා තියනවා ඉඩමේ අයිතිය තියෙන්නේ ඒ අයට, අපි ඒක රජයට පවරාගෙන ගෙවීම් කරනවා කියලා. ඒක ඉතා ඉක්මනින් වෙන්නේ නැහැ. අපේ රටේ අය ගිහින් එහේ ඉන්න එක් එක් සේවකයන්ට ලංකාවට එන්න ගුවන් ගාස්තු, නොගෙවූ වැටුප්වල වටිනාකම්, අනෙකුත් ලැබිය යුතු දීමනා ආදී සියල්ල වෙන වෙනම හදලා ඒ රටේ ආණ්ඩුවට නිල වශයෙන් දෙන්න ඕනෑ. එහෙම දුන්නාම ඒ අය ඒවා ගැන පිළිවෙලට කටයුතු කරනවා. එතකොට ආණ්ඩුව ඒ විකිණීමේ කටයුතු කරලා වෙන වෙනම විදේශ අමාත්‍යාංශයට මුදල් එවාවි. තානාපති කාර්යාලයේ අය ළඟ මේ ළමයින්ගේ තොරතුරු ඇතුළත් ලැයිස්තුවක්වත් තිබෙන බවක් පෙනෙන්න නැහැ. ඒ අය තමන්ගේ තනතුර ආභරණයක් කරගෙන ඉන්නවා මිස එය මෙවලමක් කරගෙන තිබෙන බව පෙනෙන්නේ නැහැ.

මූලාශ්‍රය – රාවය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435