රස්තියාදුකාර විප්ලවවාදියා

සාමය සඳහා ජීවිතය කැප කළ ලෝක ප්‍රකට මානව හිතවාදීන් සැමරීමට අමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ විල්මින්ටන් නුවර කේන්ද්‍ර කරගනිමින් උපහාර උත්සව වාර්ෂිකව පැවැත්වෙයි. මෙහි වඩාත්ම ආකර්ශනයට ලක්වූ උපහාර උළෙල පැවැත්වූයේ පසුගිය සෙනසුරාදාය.

එදින කළු ජාතිකයන්ගේ විමුක්තිය වෙනුවෙන් දේශපාලන අරගලය වෙනුවට ගායනය තෝරාගත් ජැමෙයිකානු සංගීතයේ විප්ලවාදියා ලෙස ලොව පුරා අසීමිත ජනප්‍රියත්වයක් හිමිකරගත් රොබට් නෙස්ටා මාලේ හෙවත් බොබ් මාලේ සිහිකිරීමට ඔවුන් 21 වැනි වරටත් විල්මින්ටන් හී රිවර්ෆ්‍රන්ට් උද්‍යානයට එක්රැස් වූහ.

බොබ් මාලේගේ ගීතයටත්, ඔහුගේ විස්මිත ජීවන චරිතයටත් පෙම් බැඳි ලක්ෂයකට ආසන්න තරුණ තරුණියන් පිරිසකගෙන් එදින උද්‍යානය පිරී ගිය අතර විප්ලවවාදී ගායකයකු ලෙස ජනතාවගේ ආදරයට පාත්‍ර වූ මාලේ ගේ ගීත රැසක් එහි දී ගැයුණේ ඔහුට කරන උපහාරයක් ලෙසිනි. කළු ජාතිකයන්ටම ආවේනික ගායනයෙන්, වාදනයෙන් හා නර්තනයෙන් හැඩැගැන්වුණු මේ සුන්දර සෙනසුරාදාව විශ්වය මත සදාකාලික ගීත සමුදායක් ඉතිරි කළ බොබ් මාලේගේ දැවැන්ත ප්‍රතිරූපය කිසිදාක නොමැකෙන බව නැවත වරක් ලොවට කියා පෑවේය.

මාලේ අනුස්මරණ සෙනසුරාදාවේ සංකල්පය බිහි වූයේ මීට වසර 20කට පෙර එනම් 1994 දීය. එය සිදුවූයේ බොබ් මාලේගේ ආදරණීය මෑණියන් වන සෙඩෙල්ලා මාලේ බූකර් විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුවය.

ඇය සිය ජීවිත කාලයේ සැඳෑ සමය ගත කළේ මේ විල්මින්ටන් නගරයේය. 2008 වසරේ දී ඕ ජීවිතයෙන් සමුගෙන ගිය ද කළු ජාතිකයන්ගේ අරගලය වෙනුවෙන් ජීවිතය කැපකළ තම විරෝධාර පුතුණුවන් සිහිපත් කිරීමට කළ ඉල්ලීම අනුව අදටත් විල්මින්ටන් නගරවාසීන් මේ උපහාර උළෙල ඉමහත් ගෞරවයෙන් යුතුව සමරති.

මේ ශ්‍රේෂ්ඨ මිනිසා සිය අධිරාජ්‍යවාදී විරෝධාකල්ප ජනතාව අතරට රැගෙන ගියේ ඔහුටම ආවේනික ගායන ශෛලියකිනි. ජීවත්වීම උදෙසා අධිරාජ්‍යවාදීන්ගේ වහලුන් බවට පත්වූ කළු ජාතිකයන් වෙනුවෙන් සිය හඬ අවදි කළ බොබ් මාලේ වර්තමාන තරුණ පරපුර ආදරයෙන් වැළඳගන්නා ගීත ගණනාවක් බිහි කළේය. හෙතෙම රෙගේ ගී ශෙලිය ලොවට හඳුන්වාදීමේ පුරෝගාමියා ලෙස අදටත් ලොව පුරා ජීවමාන චරිතයක් බවට පත්වී සිටී.

1945 වසරේ පෙබරවාරි 6 වැනිදා එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තවාසී පියකුට හා අප්‍රිකානු සම්භවයක් සහිත මවකට දාව ජැමෙයිකාවේ උපන් බොබ් මාලේ අවුරුදු 14 දී සිය පාසල් අධ්‍යාපනයට නැවතීමේ තිත තබා සංගිතයට පිවිසි අතර පසුකාලීනව The Wailers නමින් සංගිත කණ්ඩායමක් බිහිකොට කළු ජාතිකයන්ගේ නිදහස උදෙසා ගීයෙන් කළ අරගලය ලොව පුරා විශාල ආන්දෝලනයකට තුඩු දුන්නේය.

ඔහුගේ පළමු ගීය ඇල්බමය 1973 වසරේදී එළි දැක්වූ අතර ඊට ඇතුළත්වූ getup Stand up ගීතය එකළ කළු ජාතිකයන්ගේ නිදහසේ ගීතය බවට පත්වී තිබිණි. ඒ වනවිට ජීවත්වීම පිණිස සුදු ජාතිකයන්ගේ වහලුන් ලෙස ඉතාමත් පීඩිත ජීවන රටාවක් ගත කරමින් සිටි කලු ජාතිකයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උදෙසා විප්ලවීය හඬක් නැංවීමේ අරමුණින් බොබ් මාලේ මේ ගීතය නිර්මාණය කළේය.

ඔහු ගැයූ සෑම ගීතයකම මේ විප්ලවාදී අදහස් එක හා සමානව ගොනු කොට තිබූ අතර ඒ සියලුම ගීත ඔහු විසින්ම රචනා කරනු ලැබීම විශේෂත්වයකි.

පසුකාලීනව ඉතියෝපියාවෙන් බිහිවූ ‘රස්තා‘ ආගමික සම්ප්‍රදායට නව පණක් දුන් හෙතෙම සිය ජීවිතයේ ඉතිරි කාලයේ ඔහු එහෙම පිටින්ම රස්තා අනුගාමිකයකු ලෙස ජීවිතය හැඩ ගස්වා ගත්තේය. ඒ හා සමානව ඔහුගේ ඇඳුම් පැළඳුම් ද, ගති පැවතුම් ද කැපී පෙනෙන වෙනසකට භාජනය විය. රස්තා සම්ප්‍රදායට අනුකූලවීමත් සමග මුලුමනින්ම නිර්මාංශයකු බවට පත්වූ බොබ් මාලේ ඉතියෝපියාවේ සම්ප්‍රදායික රස්තාවරුන්ට අනුව කිසිදු අවශ්‍යතාවකට සිරුර විච්ඡේදනය කරගැනීම ප්‍රතිකේෂ්ප කළේය. ඒ අනුව කිසිදු අවශ්‍යතාවකට සැත්කමට භාජනය වීමත් ඔහු ප්‍රතික්ෂේප කළේය. බොබ් මාලේගේ නම කියැවෙන විට නිතැතින්ම සිහියට එන ඔහුගේ හිසකේ හා රැවුල විලාසිතාවේ ආරම්භය සිදුවූයේ ද රස්තා සම්ප්‍රදායට අනුව සිරුරේ ඇති කිසිදු දෙයක් විච්ඡේදනය නොකෙරෙන බැවිනි.

ඔහුගේ ජීවිතයට මරිජුවානා, ගංජා වැනි මත්ද්‍රව්‍ය එක්විය. දෙවියන් වෙත සමීප වීමේ පහසුම හා කෙටිම මාර්ගය එකී මත්ද්‍රව්‍ය භාවිතයේ දී සිතට ලැබෙන සුවය බවට රස්තාවරුන්ගේ ඇති ඇදහීම නිසාවෙනි.

බොබ් මාලේ රස්තා අනුගාමිකයකු වීමත් සමග ඔහුගේ ගී ශෛලියත් ආවේගශීලී මුහුණුවරක් ගත්තේය. ඔහු රස්තා සම්ප්‍රදායට අනුකූලවීමෙන් පසුව ගැයුණු මුල්ම ගීතය One Love ගීතයයි. එය අදටත් ලොව පුරා කළු ජාතිකයන්ගේ මුවඟ රැව් පිළිරැව් දෙන නිදහසේ ගීතයක් බවට පත්වී තිබේ. 70 දශකයේ අගභාගයේ දී රෙගේ ගීත කලාවේ ඔටුනු නොපළන් රජු ලෙස විරුදාවලිය ලත් බොබ් මාලේ සුදු ජාතිකයන්ගේ දැඩි අප්‍රසාදයට පාත්‍රවීමෙන් ලොව පුරා කළු ජාතිකයන් අතර වීරයකු ද, සුදු ජාතිකයන් අතර ද්‍රෝහියකු ද ලෙසින් එකිනෙකට වෙනස් ජාතීන් දෙකක් අතර අඩු වැඩි වශයෙන් මිතුරන් මෙන්ම සතුරන් ද ඇති කරගත්තේය.

ඒ වනවිට ඔහු රීටා ඇන්ඩර්සන් නැමැති තරුණිය හා විවාහවී සිටියත් වරින් වර සිය ගීතයට පෙම් බැඳි ගැහැණුන් හා යහන්ගත වූ අවස්ථාවන් එමටය. ගැහැණුන් ඉතා සමීපව ඇසුරු කළ හෙතෙම ලොව පුරා විවිධ රටවල සංගීත ප්‍රසංග සඳහා සහභාගි වන සෑම අවස්ථාවකදීම ඒ සම්බන්ධතා අලුත් කෙරිණි. එහෙත් කෙතරම් ගැහැණු ඇසුරු කළත් ඔහුගේ සංගීත දිවියේ මෙන්ම පෞද්ගලික ජීවිතයේත් අවසන් කාලයේ තනි නොතනියට සිටියේ බිරිය පමණි. පසුකලෙක ඔහු මේ ජීවන අත්දැකීම මැනවින් අවබෝධ කරගත් බව කියැවේ. 1975 වසරේ දී බොබ් මාලේ No woman No cry ගීතය බිහිකළේ මේ ජීවන අත්දැකීම ඇසුරිනි. බොබ් මාලේට දරුවන් දුසිමකට ආසන්න සංඛ්‍යාවක් සිටියේය. සිය බිරියට දාව උපන් දරුවන් තිදෙනකු, ඇගේ පළමු විවාහයේ දරුවන් දෙදෙනකු හැරුණු විට වෙනත් ගැහැණුන් හා ලිංගිකව එක්වීමෙන් ඔහුට තවත් දරුවන් 6ක්ම සිටියහ.

ඒ සියලු දරුවන්ට එක හා සමානව ඇලුම් කළත් බොබ් මාලේගේ ජීවිතයට වඩාත් සමීප වූයේ බිරිය රීටා ට දාව උපන් සිගීය. ඔහුගේ අවසන් මොහොතේ ළඟ සිටියේ ද ඔහු පමණි. බොබ් මාලේ ජීවිතයෙන් සමුගත්තේ වසර 36ක් වැනි කෙටි කාලයකිනි. මරිජුවානා වැනි මත්ද්‍රව්‍ය භාවිතයේ ප්‍රතිඵලයත් එනිසාම පාදයේ හටගත් සුවනොවුණු තුවාලය පසුව පිළිකා තත්ත්වයකට පත්වීමත් නිසා 1981 මැයි මාසයේ අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ මියාමි නුවර දී ඔහු මෙලොවින් සමුගත්තේය.

මරණ මංචකයේ දී ඔහු සිය පුතු අමතා මෙසේ කීවේය.

‘ජීවිතය මුදලට ගන්න බෑ…‘

කළු ජාතිකයන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදීමට ගීතයෙන් අරගල කළ මේ අසහාය සංගීතඥයාගේ අවසන් වදන්පෙළ එය විය.

මූලාශ්‍රය – දිනමිණ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435