රහසේ ගරාවැටෙන රාජ්‍ය සේවයේ තරු ලකුණු

රටක යම් පරිහානිගත ලක්ෂණ විද්‍යමාන වන්නේනම් එකී අවදානමෙන් රටක් ගලවා ගත හැක්කේ කවරෙකුටදැයි යමෙක් පැණයක් විමසන ලදුව, සාතිශය බහුතරය පිළිවදන් දෙනු ඇත්තේ ඒ දේශපාලකයන් ය යනුවෙනි.

ඒ සෑම පරිහානියක් පසුපසම අවියෝජනීයව පසුගමන් යන කුලකය ඔවුන් ම බැවිණි. එනමුත් මාද අයත් සුලුතරය පවසනු ඇත්තේ අනෙකකි. එනම් රටක් ගලවා ගත හැකි අසමාන විභවතාව ඇත්තේ කලක් මහජන සේවකයන් ව, තත් කාලයේ රාජ්‍ය සේවකයන් ලෙසින් විලෝපනය වූ පිරිසට ය යන්නයි. සංඛ්‍යාත්මකව 1,394,172 ක් දක්වා විස්ථාපනය කොට ඇති රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ නියෝජනය, සමස්ත රැකියා නියුක්තියෙන් 14.4% ක සුවිශාල පංගුවක් නියෝජනය කරන්නේය. ඒසා මහා පරිමාණ සේවක හමුදාවකට නගන්නට බැරි රට, 9,000ක් පමණක් වූ අල්පේශාක්‍ය දේශපාලකයන් සමූහයකට නසන්නට හැකිදැයි සිතීම ම හාස්‍යජනකය.

යථාර්ථය නම් එයය. එහෙත් අප වැනි සුභවාදී සිතිවිලිධාරීන්ට යණෙන මං අහිමිවන්නේ රාජ්‍ය සේවයේ ඇත්තෝ සුලුතරයක් එහි අගය නොදැනීමෙන්දෝ, නිසි ජනතා සේවයක් උත්පාදනයේ තත්පරව නොඉදිමින් සිදුකරන විප්‍රකාර වූ අලසකමින් යුත් සෝමාරි නාඩගම් දෙස සමීප නිරීක්ෂණයක් සිදුකිරිමේදීය. අප සුමිතුරු විශ්‍රාමික පරිපාලක එම්. එම්. මොහමඩ් සිරිමතුන් දැන් සිටිනුයේ විවේක සුවයෙනි. එහෙත් දිනපතා අපට රන්මිණි වන් අගනා දෙමළ භාෂිත පිරුළක් තම මුහුණු පොත මගින් තිලිණ කරන්නේය.

පෙරදිනයේ ඔහු මෙසේ ලියයි. ”පාම්බෙන්ට්‍රාල් පඩයියුම් නඩුංගුම්’ සර්පයා කිව්වොත් සේනාංකයත් වෙව්ලයි. මෙකී සුභාෂිතය ඔහු යොදන්නේ සර්පයන් පිළිබඳව සාමාන්‍ය මිනිස් සිත් තුල ඇති භීතිකාව විදහා දක්වන පිරුළක් ලෙසිනි. එනමුදු රාජ්‍ය සේවය පිලිබඳ ජනී ජනයාගේ සිතිවිලි ධාරාව ද එයම යැයි ලියන්නට මට අවසර දෙනු මැනවි. තන්හි තන්හි එකෙකුන් හෝ දෙකෙකුන් යකා බැඳ ගත්තා සේ විසල් සේවයක් සලසන බව සැබවි. එහෙත් සර්පයා කෙරෙහි ජනිත භයංකාර සිතිවිලි දාමය හා සම ව රජයේ සේවය ද මන්දගාමී වූ නිශේධනීය යමක් යැයි සිතන ශ්‍රී ලාංකිකයෝ ප්‍රමාණය අසමානය – අනල්පය ය. ප්‍රකට කලාකාරිනී ලංකා බණ්ඩාරනායක තම මුහුණු පොතේ දෙවරක් සටහන් කරන ලද වාගාලාප මෙසේය.

”රජයේ හැම කාර්‍යාලයකට ම ලියුම් ඇති තැන් සොයා ගැනීමට දේවාලය බැගින් ලබා දෙනු…!”

”රජයේ කාර්‍යාලයකට ගොස් රස්තියාදු නොවූ ලාංකිකයන්ගේ සංගමයක් හදන්න බැරි වෙයිද?

කුලඟන සමිති ආකල්පයෙන් මිදී වෙනස්කම් විරහිත සම සමාජයක් පතන අපේ කාලයේ කාන්තාවක් වන ලංකා මෙලෙස වදන්ගත කොට ඇත්තේ කඩපිලේත්, ජනාකීර්ණ විදියේත් අප නිබඳව රාජ්‍ය සේවය පිලිබඳ නිමන්ත්‍රණය කරන ආඩපාලියයි. එය නිර්මාණාත්මකව කියා ඇති ඇත්තක් යැයි සහතික කරන අතරතුර ලංකාගේ ඇස නොගැටුණු නෙතට රසඳුනක් වන් සිද්ධි දාමයක් පිලිබඳ ප්‍රහර්ෂය දනවන්නට මට ඉඩ දෙන්න.

ජාතිකවාදී ප්‍රවණතාව තවත් උත්කර්ෂයට පමුණුවනුවස් ගුණදාස අමරසේකරයන් ලියූ ආඛ්‍යානය නම් කරන ලද්දේ “ගණඳුරු මැදියම දකිනෙමි අරුණලු” යනුවෙනි. රාජ්‍ය සේවයේ ස්වීය අනන්‍යතාවක් වන් උකටලී මාසික වේතනධාරීන් අතර තම අනල්ප වෙහෙසින් ප්‍රබෝධමත් රාජ්‍ය සේවයක් උදෙසා කැපවන මෙකී ඇත්තෝ දුටු මා හට ඔවුන්ට පිදිය හැකි ගෞරවය නම් ඉහත ග්‍රන්ථ නාමය සේම “ගණඳුරු මැදියම දුටුවෙමි අරුණලු”යන්නයි.

දශකයකට අධික කලක් රැකියාවේ නිරත වීමෙන් සංචිතගත සේවක අර්ථසාධක අරමුදලෙහි 30% ක් ලෙසින් පිරිණමන ප්‍රතිලාභය ලබා ගැනීමේ අභිලාෂයෙන්, මා පසුගිය දිනෙක කම්කරු දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලට පිවිසුනෙමි. ණයක් ඉල්ලා බැංකුවකට යන සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ගෙන් පෙරලා නිවෙස් කරා සිත් සතොසින් පා නඟන්නවුන් දුලබ බැවින්දෝ මා තුළ පැවතියේද එතරම් සුපසන් හැඟීමක් නොවේ. ඒ ප්‍රතිලාභය අපේ අයිතියක් වුව, මෙයද ණයක් හා සම බැවිණි.

කවරනම් අසිරියක්ද? මෙකී මහලට පිවිසෙන විටම ප්‍රතිලාභියා ඉමහත් හරසරින් පිළිගන්නා යුවතියකි. ඇය ළගන්නාසුලු බසින් අමතා ලිපිගොනුව නිසි පිළිවෙලට සකසා අදාළ සේවා කවුලුව වෙත මඟහසර කියන්නේය. ඉනික්බිති නිදහසේ ආශ්වාස ප්‍රශ්වාසයට හෝ නිවනක් නැති එහෙත් ප්‍රතිලාභී ණය අයදුම්කරුවන් පිරිවරාගත් සොඳුරු යුවතියන්ගෙන් කෙනෙක් ප්‍රතිලාභියාගේ ලිපිගොනුවේ දොස් නිදොස් කරන්නේය. අනතුරුව යොමුවන නිලධාරිනිය සියලු කඩතොලු පිරියම් කොට සකසන සංශෝධිත ණය අයදුම්පත්‍රය අවසන්කොට නිශ්චිත කලට ණය මුදල නොලැඹුනේනම් ඇමතිය යුතු අයුරු පහදන්නේය. හෝරාවකුදු කලක් නොගන්නා මෙකී බැරෑරුම් කාරිය නිමවා ඉසිඹුලන්නට එකී කිසිදු යුවතියකට නොහැක්කේය. ඒ මෙකී ප්‍රතිලාභය අපේක්ෂාවෙන් දිනකට යණෙන පිරිස අප්‍රමාණ බැවිණි.

බදුගෙවන්නන් පරිපිඩනයට ලක්කොට උපයන මුදලින් වේතන ගන්නා මෙකී ඇත්තෝ එලෙස කටයුතු කල යුතුම යැයි සිතීමට අපි මහත්සේ ප්‍රිය කරන්නෙමු. එසේ වුව ප්‍රොත්සාහිබවින් තම මෙහෙවර නිම කරන මෙවන් ශ්‍රී ලාංකීය නිලදරුවන් ගැන සහකම්පනයට පත්වන්නෝ දුලබය. මෙකී පරිශ්‍රයේ සේවය කරන බහුතරය කාන්තාවෝය. මා එහි ගතකල හෝරාව මාහට හැඟුණේ මා පාරාදීසයක ප්‍රිය දසුන් මාලාවක් බලන්නා සේය. මා පළමුව හමු වූ යුවතිය පාසල නිමවා පැමිණි තම සිඟිති දියණිය ද තමන් අභියස රඳවා ගෙන සිටියද ඇයට තම දහවල් පාතරාසය හෝ නිමවන්නට විවේකයක් නැති අයුරු මා බලා සිටියෙමි. පේරාදෙණිය සරසවියේ තම උසස් අධ්‍යාපනය නිමවා රජයේ සේවයට පිවිසි ඇය මා හා පැවසුවේ තමන් පෙර දිනයේ ප්‍රතිලාභී 134 වැනි අයදුම්පතද නිමැවූ බවයි. දුරබැහැර සිට පැමිණියද අදාළ අයදුම්පතෙහි එකදු කොටසක් හෝ නොපිරවූ ගැමි අම්මලාගේ දුක දැක සියලු වැඩ අතැර එකී මවුවරුන්ට පිහිට වූ නේක සිද්ධීන් පිලිබඳ වූ සුමධුර අත්දැකීම්ද මෙකී යුවතියගෙන් ඒ අල්ල පනල්ලේ මා අසා දැනගත් බව ද ලිවිය යුතුමය.

මෙවන් අසිරිමත් සේවාවක් නිමැවෙනුයේ ආකස්මිකව නොවන බව මා දනිමි. එහෙත් මෙවන් සේවාවක හැඩය නිමැවූ අදියුරුවරයා පිළිබඳවද මා නොදන්නෙමි. සමහර විටෙක කම්කරු කොමසාරිස් ජෙනරාල් ආර්.පී.ඒ. විමලවීරයන් හෝ වෙනත් අතිරේක/නියෝජ්‍ය/සහකාර කොමසාරිස්වරයෙක් මේ කදිම සේවාවේ ව්‍යූහය යෝජනා කලා වන්නට පිළිවන.

මෙරටේ සමස්ත රාජ්‍ය සේවය ම කම්කරු දෙපාර්තමේන්තුවේ පස්වැනි මහල හා සමවන්නේ නම් කෙතරම් අපූරුද?

මංජුල ගජනායක

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435