රාජ්‍ය කළමනාකාර සහකාර නිලධාරීන් ඇමතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

සේවාවේ නොවිසඳුන ගැටළු සම්බන්ධව සාකච්ඡාවක් ලබාගැනීමට රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය, රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම සංගමයේ සභාපති යූ.පලිහඬවන හා ප්‍රධාන ලේකම් චන්දිම විමලසුරේන්ද්‍ර යන අයගේ අත්සනින් යුතුව අමාත්‍යවරයාට මෙම ලිපිය යොමුකර ඇත.

එකී ලිපියේ මෙසේද දැක්වෙයි.

අප වෘත්තිය සමිතිය රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ කළමනාකරණ සහකාර සේවාව නියෝජනය කරනු ලබන වෘත්තීය සමිතියකි. මේ වනවිට කළමනාකරණ සහකාර සේවාව බරපතළ ගැටළු රාශියකට මුහුණදෙමින් සිටී. මෙසේ සියලූම රාජ්‍ය සේවකයින්ගේ බඳවා ගැනීමේ සිට විශ‍්‍රාම ගැන්වීම දක්වා වන සියලූ රාජකාරි ඇතුළු ආයතනික කටයුතුත්, සියලූම රාජ්‍ය නිලධාරීන්ගේ හා සේවකයින්ගේ වැටුප් සැකසීම් හා ගෙවිම් ඇතුළු මූල්‍ය කටයුතුත්, විනය කටයුතු ඇතුළු සියලූම ක්ෂේත්‍රයන්හි දී තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරනු ලබන කළමනාකරණ සහකාර සේවාවේ යහපත් මෙන්ම විධිමත් පැවැත්මකින් තොරව සමස්ත රාජ්‍ය සේවයේ කාර්යක්ෂම සේවාවක් හෝ ඵලදායීතාවක් සිතීම ද දුෂ්කරය.

එසේම සෘජුවම මහජන සම්බන්ධතා පවත්වනු ලබන ආයතනයන්හි කටයුතු ද රාජකාරිමය වශයෙන් අප වෙත පැවරී ඇති නිසා වඩා හොඳ මහජන සේවයක් වෙනුවෙන් ද කළමනාකරණ සහකාර සේවාවේ යහපැවැත්ම හා එහි නිලධාරීන්ගේ රැකියා තෘප්තිමත්භාවය අත්‍යාවශ්‍යය.

රාජ්‍ය යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක වන්නේ ද අප සේවාවේ දෑතින් බව අමතක නොකළ යුතු කරුණකි.

එසේ වුව ද පසුගිය කාලවකවානුව පුරාම පැවති ගැටළු වෘත්තීය සමිතියක් ලෙසින් මැදිහත්වෙමින් සාකච්ඡා මගින් විසඳා ගැනීම සඳහා දැරූ උත්සාහයන්ට යහපත් ප‍්‍රතිචාරයක් දැක්වීමට මේ දක්වාම හිටපු අමාත්‍යතුමා හා වගකිවයුතු බලධාරීන් අපොහොසත් වී ඇත. එනිසා කළමනාකරණ සහකාර සේවාවට වගකියනු ලබන වෘත්තීය සමිතියක් ලෙසින් පහත කරුණු පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමුකරවමු.

  1. කළමනාකරණ සහකාර සේවාවේ කරනු ලබන තනතුරු කප්පාදු.
  2. සේවා ව්‍යවස්ථා සංශෝධනය තුළ මතුව ඇති ගැටළු.
  3. ස්ථානමාරු කි‍්‍රයාවලිය පිළිබඳ ගැටළු.
  4. නිසිකලට විභාග නොපැවැත්වීම හා ප‍්‍රතිඵල ප‍්‍රමාද කිරිම.
  5. දෙවන භාෂා ප‍්‍රවීනතාවය සම්බන්ධ ගැටළු.
  6. කළමනාකරණ සහකාර සේවාවේ රාජකාරි වෙනත් සේවාවන් වෙත පැවරීම.
  7. සහනදායී පදනම මත ලබාදෙන යතුරුපැදි රාජ්‍ය හා පළාත්රාජ්‍ය සේවාව සඳහා ද ලබාගැනීම.

රාජ්‍ය සේවය තුළ සුවිශේෂ කාර්යභාරයක් ඉටුකරනු ලබන සේවාවක් මෙවැනි තත්ත්වයකට පත්වූ විට එය එම සේවාවේ සාමාජිකයින්ට පමණක් නොව පොදුවේ රාජ්‍ය සේවයේ ඵලදායිතාවය හා කාර්යක්ෂමතාවයට ද අහිතකර ලෙස බලපෑම් එල්ලවන බව අලුතින් සඳහන් කළයුතු නැතැයි සිතමු.

ඒ අනුව මෙම ගැටළු පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා අප වෘත්තීය සමිතිය වෙත කඩිනම් සාකච්ඡාවක් ලබාදෙන ලෙස විෂය භාර අමාත්‍යතුමා ලෙසින් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

මේ පිළිබඳව අවධානය යොමුකර ගැටළු විසඳීම සඳහා වන ප‍්‍රවේශය ලබා නොගන්නේ නම් හැටදහසක් පමණ නිලධාරීන් ප‍්‍රමාණයක් අයත්වන රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවාවේ හා සමස්ත රාජ්‍ය සේවයේ උන්නතිය වෙනුවෙන් අකමැත්තෙන් වුවත් අවශ්‍ය වෘත්තීය ක‍්‍රියාමාර්ග කෙරෙහි යොමුවීමට සිදුවන බව වැඩිදුරටත් අවධාරණය කර සිටිමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435