රාජ්‍ය සේවකයා ගැන මුහුණ පොතෙන් චෝදනාවක්

යන්න ටවුන්හෝල් වල තියන ගොවිජන සේවා දෙපාර්තමේන්තු ඔෆීසියට. ඒකෙ ඉන්නව අතිරේක කොමසාරිස් (AC) නෝන කෙනෙක්. එයාගෙ කාමරේ ඉස්සරහ ඉන්නව තව නෝනල ගොඩාක් සහ මහත්තුරු ගොඩාක්. කලිසන් ඇඳන්… නෝනල සාරි ඇඳල… ඔන්න අපි යනව උදේ 8.30 වෙනකොට. ඔෆිස් අරින්නෙ ඒ වෙලාවටනෙ. (එහෙම තමයි අහල තිබ්බෙ ) යනකොට ඔන්න එකා දෙන්න තාම එනව. 9.30 විතර වෙනකොට කට්ටිය ඇවිත්. දැන් ඉතින් මම බලාගෙන ඉන්නව අපිට ඉන්න තියන පුටු පේලියෙ ඉස්සරහම පුටුවට වෙලා. ඔන්න එතන ඉන්න නෝන එන්නෙ 9ට විතර. ඇවිත් තමයි ලැට් එකට යන්නෙ.. ඒ ගිහින් 9.30 විතර එනව. ඇවිත් ආපහු බත් මුලක් ද කොහෙද අරගෙන යනව කන්න.. ඒ යන ගමන් වටේ ඉන්න උන්ටත් කතා කරනව කන්න යමු කියල. ඒ ගිහින් 10ට විතර එනව. ..

“මේ මහත්තය මොකද?”

දැන් තමයි මම ඉන්නව දැක්කෙ. පැය දෙකහමාරක් මම ඉන්විසිබල් වෙලා.

“ඉඩමක ඇප්ලිකේශන් එකක් දැම්ම ගිය අවුරුද්දෙ… පොල් හදන්න… ගොඩ ඉඩමක්.. ඒත් තියෙන්නෙ ඕවිට කියල… ඉතින් ගොවිනියාමක කීව අවසර ගත්තෙ නැත්තන් ජනාධිපති කීවත් වවන්න කියල ඒවලින් වැඩක් නෑ නඩු දානව කියල. ඒ දාපු ඇප්ලිකේශන් එක ගැන කිසිම දෙයක් නෑ. ඒක බලන්න ආවෙ…”

“ආ එහෙමද? අදනම් AC නෝන නෑ. අමාත්‍යන්ශෙ වැඩකට ගිහින්… ”

හුටා දැන් මොනව කරන්නද… මට කියන්න දෙයක් නැතුව පොඩ්ඩක් එහෙමම හිටිය…

“ආපු එකේ ටිකක් ඉඳල බලලම යන්න… “ඔන්න ඒ නෝන එහෙම කීව…

මම දැන් ඉන්නව.. ඔන්න මේ නෝන ගත්ත ලොකු නවකතා පොතක්… එහා පැත්තෙ ඉන්න උන් එකෙක් යූ ටියුබ්… අනිත් එකා ෆේස්බුක්… දැන් මුලු ඔෆිස් එකේම උන් පට්ට වැඩ.. උන්ගෙ ඒව.. ඔන්න 10.30 වෙනකොට ඔක්කොම ටික කෝප්ප උස්සගෙන ගියා… බලපුවාම තේ බොන්න. උන් හීටර් ගහල තේ කොල ගෙනත් තේ හදාගෙන බිස්කට් කාල තේ බීල ඔන්න එනව 11ට විතර… ඔන්න එතකොට තමයි දැක්කෙ මම ඉන්නව… ලොකු ඈනුමක් එහෙමත් ගියා…

“ඔයා තාම ඉන්නව නේ… ”

යකෝ නැතුව වෙන මොනව කරන්නද? ඔෆිස් එකෙන් බැනුම් අහල නිවාඩු අරගෙන ආවෙ මගුලක් කරන්නැයි… මුන් දන්නෙ නෑ අපි කන කට්ට…

“තේ එකක්වත් බීල එන්න… මැඩම් එන කතාවක් තමයි කීවෙ…” ඔන්න එයා එනවලු… මට තේ බීල එන්නලු…

දැන් ඒ නෝනල මහත්තුරු ආයෙත් පට්ට වැඩ… නවකතාව ඉවර කරන්නත් තියනව.. එක මහත්තයෙක් ෆේස්බුක් එකේ අඩිය හොයනව පල්ලෙහාට ගිහින්… අනිත් එක්කෙනා යූ ටියුබ් මරණව…

ඔන්න ආව කාර් එකක්… සික්ක සැලුට් එකක් ගහල ඇරිය දොර… අම්මට හුඩු.. අර නවකතා ටික ෆෝන් ටික කොහෙන් ගියාද දන්නෙ නෑ… අර නෝන පොතක මොනාදෝ ලියනව… අනිත් උන් ෆයිල් හදනව… තව එකෙක් ෆයිල් කැබිනට් අස් කරනව… පට්ට වැඩ…

ඔන්න ගියා කාමරේට… මම නැගිට්ට යන්න කියල…

“හෝ හෝ.. කොහෙද යන්නෙ..? ”

අර නෝන මාර සැර වෙලානෙ.

මම කීව ඇතුලට කියල…

“පොඩ්ඩක් ඉන්න කතා කරනකල්…”

යකෝ එහෙමත් සීන් එකක්ද… ඔන්න මම හිටිය ඉඳගෙන… මෙන්න මේ නෝන ඇතුලට ගිහින් ඇවිත් නමක් කීව… මගෙ නම නෙවේ… ඔන්න එකෙක් ආව…

“ඇමතිතුමා එවපු එක්කෙනා නේද?” ඒ නෝන හුරතලේට ඇහුව…අහල පොරගෙ අතින් අල්ලගෙන ඇතුලට එක්කන් ගියා… යකෝ මම උදේම ඇවිත් වේලෙනව… ඔන්න පැය බාගෙකට වගේ පස්සෙ පොර ආව එලියට…

“මිස් මම යන්නද?”

මමත් හුරතල් වෙන්න බලාගෙන ඇහුව.

“පොඩ්ඩක් ඉන්න.”

අම්මෝ සැර. හුරතලේ ඉවර වෙලා.

“AC නෝන තේ බොනව. විනාඩි 10 යන්න.”

අන්තිමට ඉඳල ඉඳල ඔන්න ගියා ඇතුලට…

“ඇයි?” AC නෝන මගෙන් ඇහුව. මම විස්තරේ කීව. තිබ්බ රිසිට් ඔක්කොමත් පෙන්නුව…

“ෆයිල් එකේ නොම්මරේ මොකක්ද? ”

හුටා. මම දන්නෙ කොහොමද? මට එහෙම නොම්මරයක් දීල නෑ. “එහෙම නොම්මරයක් දීල නෑ. “මම කීව.

ඔන්න නෝන එකෙක්ට කතා කරා.

“මේ ෆයිල් එක ගේන්න.” ඔන්න පොර ගියා. මටත් යන්න කිව්ව පස්සෙන්. පොර එලියට ගිහින් මගෙ රිසිට් බලල කියපි එහෙම ෆයිල් එකක් නෑ කියල. මම ඉතින් දින වකවානුත් එක්ක කීව. මෙන්න පොර හෙන පරන කබඩි එකකින් ගත්ත ෆයිල් එක…

“ඒක තාම මෙහෙ එන්ටර් කරලත් නෑ.” පොර කීව… එතකොට මමද එන්ටර් කරන්න ඕනෙ? මට අහන්න හිතුන.. ඒත් ඉතින් ඕව අහල මොකටද? ආපු වැඩේ කරගෙන පලයන් කියල හිත කීව. ඔන්න අර AC නෝන ඒක බලල කියපි මාස 2ක් 3ක් යයි කියල.

“මට ගොවි නියාමක තමයි එන්න කීවෙ.” මම කීව.

“ඒක තමයි මහත්තය… මේක අපි හදල දැනුම් දෙන්නම්..” මම ඉතින් ආපහු එලියට ආව. එනකොට 20ක් විතර පෝලිමේ ඉන්නව. ඒ එන යන හැමෝම අර ඉස්සරහ ඉන්න නවකතා නෝනගෙ ඉඳල AC නෝන වෙනකන්… ඒ හැමෝගෙම අම්මල තාත්තල සීයල ආච්චිල දරුවො එහෙම මතක් කරනව… තව අපායවල් ගැනත් කියනව… හෙන ගැනත් කියනව. වැස්ස ගැනත් කියනව. මම අමාරුවෙන් හිනා වෙලා එලියට ඇවිත් ලැට් එකටත් ගිහින් ගෙදර ආව. තාම AC නෝනගෙන් ලියුමක් නම් ආවෙ නෑ. මම දන්නව තව 10 පාරක්වත් මට එහෙ යන්න වෙනව… අඩුම තරමේ ලැට් එකටවත් ගිහින් එන්න.

මෙම චෝදනාව මුහුණ පොතේ  “රසකාරක Rasakaraka“ පිටුවෙන් උපුටා ගන්නා ලද අතර, මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස්, විවේචන හා චෝදනා තිබේනම් අපගේ  wedabima@gmail.com ලිපිනයට හෝ 0774401641 whatsapp කරන්න. 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435