රාජ්‍ය සේවකයාගේ සේවය ගැන ගමේන් කතාවක්

සාමාන්‍යයෙන් ගමක තොරතුරු ලබාගැනීම හා එම ග්‍රාමයේ තත්ත්වය පිළිබඳව කටයුතු කිරීමට රජය විසින් පත්කර ඇති නිලධාරීන් වන්නේ, ග්‍රාමනිලධාරී, සංවර්ධන නිලධාරි, පවුල් සෞඛ්‍ය සේවිකාව, කෘෂිකර්ම නිලධාරි, සමෘද්ධි නිලධාරි ඇතුළු නිලධාරින්ය. මෙයට අමතරව මහජන සෞඛ්‍ය නිලධාරී හා පොලිසියද ඇතුලත්ය.

මේ නිලධාරීන් සියළු දෙන මත එක් ගමක සියළු තොරතුරු අඩු – වැඩි වශයෙන් තිබෙන අතර, එම තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කරන අතර, එය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයටත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් අදාළ අමාත්‍යංශයට හා රටේ තීන්දු තීරණ ගන්නා වගකිව යුත්තන් අතට පත්වේ.

ඒ අනුව දූගී ගම්මාන අනුව වෙන්කොට හඳුනාගෙන සංවර්ධන කටයුතු පළාත් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබයි.

නමුත් මෙම රාජ්‍ය නිලධාරින් විසින් ගමේ තත්ත්වය පිළිබඳ වාර්තාවන් සැකසීමේදී, ගමේ සම්පත් පිළිබඳ විශ්ලේෂණයක යෙදීම අනිවාර්ය වන අතර, එම ගමට රජය විසින් කළ යුත්තේ ඉතා කුඩා පුමාණයේ සංවර්ධන ළුයාපෘතියකි. එසේ කළ පසු ගමේ වෙසෙන ගම්වාසීන්ගේ ආර්ථික මට්ටම, සෞඛ්‍ය හා අධ්‍යාපන, නිවාස තත්ත්වයන් ඉතා ඉහල මට්ටමකට නංවා ගත හැක. එය කළ හැක්කේ රාජ්‍ය නිලධාරීන්ට පමණි.

මේ ඒ පිළිබඳ කථිවාකි. ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාත්තම කරනු ලබන “ග්‍රාම ශක්ති””වැඩසටහනේදී රාජ්‍ය නිලධාරින්ගේ ක්‍රියාකලාපය පිළිබඳ අදහසක් ලබාගත හැක.

අනුපමා ගනේගොඩ මහත්මිය විසින් තැබූ මුහුණු පොතේ සටහන කිසිඳු සංස්කරණයකින් තොරව  “වැඩබිමේ” පළකරමු.

 ‘‘මට ටිකක් කතා කරන්න දෙන්නැයි ඉල්ලමින්… සභාවේ හුන් තරුණියක් සිය අසුනින් නැගිට ගත් බැවින් අවධානය ඇය කෙරේ යොමු විය.
‘‘ මට හරි දුකයි. මගේ ගම ද්‍රරිද්‍රතා වසමක් ලෙස නම් කිරීම ගැන. සර් අපි දුප්පත් නෑ… අපිට කිසි දෙයක් එපා..මට එක දෙයක් ගැන දැනගන්න පුළුවන්දැයි ඇය අසයි.. ඇගේ කටහඩ තියුණුව, සෘජුය. ඊට සභාවේ සිටි රාජ්‍ය නිලධාරීන් පවා තිගැස්සුණු බව සහතිකය. 
“ඔව් කියන්න…” ඒ දිසාපතිවරයාගේ හඬය. 
============================
එක් පසෙක ග්‍රාමශක්ති වැඩසටහනට අදාළ ක්ෂේත්‍ර නිලධාරීනුත් අනෙක් පසින් ග්‍රාමශක්ති ජනතා සමිතිවල සාමාජිකයිනුත් දිසාපතිවරයාට සවන් දෙමින් සිටියේ පවර් පොයින්ට් ඉදිරිපත් කිරීම අතරතුරු දිසාපතිවරයාගේ පැහැදිලි කිරීම සමගිනි. ග්‍රාමශක්ති වැඩසටහනට අදාළව බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දරිද්‍රතා වසමක් ලෙස හඳුනාගත් නෙළුවක්කන වසම පිළිබඳ සමාලෝචනය වෙමින් පැවතිණි. ඊලඟ එකට යමු යැයි දිසාපතිවරයා සහකාර අධ්‍යක්ෂිකාව වෙත සන් කළේය.

‘‘ මට ටිකක් කතා කරන්න දෙන්නැයි ඉල්ලමින්… සභාවේ හුන් තරුණියක් සිය අසුනින් නැගිට ගත් බැවින් අවධානය ඇය කෙරේ යොමු විය.

‘‘ මට හරි දුකයි. මගේ ගම ද්‍රරිද්‍රතා වසමක් ලෙස නම් කිරීම ගැන. සර් අපි දුප්පත් නෑ… අපිට කිසි දෙයක් එපා..මට එක දෙයක් ගැන දැනගන්න පුළුවන්දැයි ඇය අසයි.. ඇගේ කටහඩ තියුණුව, සෘජුය. ඊට සභාවේ සිටි රාජ්‍ය නිලධාරීන් පවා තිගැස්සුණු බව සහතිකය.

ඔව් කියන්න… ඒ දිසාපතිවරයාගේ හඬය.

‘‘සර් අපේ ගමට එනවා යැයි කියලු අයිරෝඩ් එකට මොකද වුණේ… මුල්ගල් තියලා අවුරුදු 4 ක්. කරුණාකර මට පැහැදිලි උත්තරයක් දෙන්නැයි ඇය ඉල්ලන්නීය…

කෑගල්ලේ අයිරෝඩ් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යාන්ත්‍රණය එතරම් සාර්ථක එකක් වී තිබුණේ නැත. අයිරෝඩ් ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබඳ යම් පැහැදිලි කිරීමක් සිදුකළ දිසාපතිවරයා ගමේ පාරක ප්‍රශ්නයක් ඇතොත් එය විසඳීමට පියවර ගන්නා බව සඳහන් කළේය.

‘‘ සර්… අද අපේ ගමේ මළගෙදරක් වෙලා තිබුණා. මං මෙහෙට ආවේ එහෙ ගිහින්. විශ්වාස කරන්න ඒ මළගෙදරට අපි ගියේ ගස් ගල් දිගේ එල්ලිලා. කොහොම පෙට්ටිය ඒ ගෙදරට ගෙනිච්චද කියලා අපි දන්නෙ නෑ… අපේ ගමේ හුඟක් තේ තියනවා. ඒත් දළු ටික කඩලා ලොරියට අරන් එන්න පාරක් නෑ.. ඒකට අපි කාට හරි සල්ලි දීලා තමයි දළු ගෝනි ටික කරෙන් පාරට අරන් යන්න ඕන… ඇගේ කඩහඩ බිඳී යයි.

අපේ ගමට ඇතුළු වෙන්න ඕන පාලමකින්. පිට වෙන්නත් ඕන පාලමකින්. වැස්සක් වැස්සොත් ඔය උතුරුලා අපි ගමේ කොටු වෙනවා. සර් රෑක හදිස්සියේ ලෙඩක් හැදුණොත් ලෙඩා ස්පිරිතාලෙට ගෙනියන්න බෑ. එහෙම වෙලා ගමේ මිනිස්සු ඕන තරම් මැරිලා තියෙනවා…. දෑස්වල කඳුළු පිසිමින් ඇය ඉල්ලා සිටියේ එක් දෙයකි.

සර්…. ග්‍රාමශක්ති එකෙන් වත් අපිට පාර හදලා දෙන්න….

මේ සියල්ල සාවධානව අසා හුන් දිසාපතිවරයා ‍නෙළුවක්කනට වෙනත් ක්‍රමවේදයකින් කෙසේ හෝ පාර හදා දීමට පියවර ගන්නා බව සඳහන් කළේ ග්‍රාමශක්ති වැඩසටහනේ යටිතල පහසුකම් සඳහා ලැබෙන ප්‍රතිපාදන ඊට ප්‍රමාණවත් නොවන නිසාය. තමන් පෞද්ගලිකව නෙළුවක්කනට පැමිණෙන බව දිසාපතිවරයා ඇයට පැවසුවේය.

සර්… එනවා නම් උදෙන්ම එන්න. බැරිවෙලාවෙවත් වැස්සොත් සර්ට ආපහු යන්න ලැබෙන එකක් නෑ….

කෑගල්ලේ දිසාපතිවරයාගේ වචන වලින්ම සඳහන් කරන්නේ නම් මේ අප නිදහසින් පසු ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවල සාරාංශයයි.

ඇගේ කතාවෙන් පසු නැඟී සිටියේ එම වසමේම මැදිවිය පසුකළ ගොවි මහතෙකි.. ඔහුටද අවනඩුවක් ඇති බව සක්සුදක් සේ පැහැදිලිය.

‘‘ සර්…. අපි වගා කරන එක නතර කරලා තියෙන්නෙ සර්… රිලවු අපේ සියළුම භෝග විනාශ කරලා දානවා. මං මේ රැස්වීමට එන්න එද්දිත් මගේ අගේ තියෙන මේ මල්ල උඳුරා ගන්න උන් මා පස්සෙ පැන්නුවා…. මොකක් හරි කරලා මුන් මෙහෙන් අයින් කරන්ඩ සර්….මෙහෙම ගියොත් අපිට කන්ඩ බොන්ඩවත් බැරිවෙයි. තවදුරටත් කතා කළ නොහැකි තරමට ඔහුගේ වදන් පටැලේ. අව් වැසි, නිරන්තර ගංවතුර හා නොසැලි ඔට්ටු වූ ඔහුගේ පිරිමි ආත්මය සසල කළ හැකි තරමට කෑගල්ලේ රිලා වසංගතය ප්‍රබලය.

මේ කතා බහ අතරේ බුලත්කොහුපිටියේ නිෂ්පාදන වසම බවට පත්වූ අම්පාගල වසමේ ක්ෂුද මූල්‍ය ආයතන විසින් සිදුකරන ගසා කෑමද කරළියට පැමිණියේය. දශක පහකට පමණ එපිට දී සිට කුළුබඩු නිෂ්පාදනය කරන අම්පාගල වසම මේ වන විට ක්ෂුද්‍ර මූල්‍ය මංකොල්ලයට හසුවී සිටී. මේ වන විට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් අහිංසක ගැමියන් රවටා ගනිමින් 150% කට වඩා පොලියකට ණය ලබා දී ඔවුන් දුක් මහන්සියෙන් උපයා ගන්නා සෑම රැපියල්ම දෛනිකව හූරා කති. කුළුබඩු නොව රත්තරං පැකට් කළද මේ අහිංසක ගැමියනට ගැලවීමක් නැත.

මේ සියළු කාරණා එක් වසමකට පමණක් ලඝු නොවේ. අඩු වැඩි වශයෙන් කෑගල්ලේ වර්තමාන සමාජ ආර්ථික තත්ත්වය සමන්විත වන්නෙ එවැනි කාරණා සමූහයකිනි. බොහෝ විට ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික්කවලත් මේ හා සමාන කරුණා කාරණා රැසක් අදාළ වනු ඇත. කොතැනක නමුත් වරදක් සිදුව ඇත. විශේෂයින් ද්‍රරිද්‍රතාව තුරන් කිරීම සඳහා නිදහසින් පසු අප ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති සියල්ලම පාහේ කිසියම් ප්‍රගතියක් පෙන්වුවද මුඛ්‍ය පරමාර්ථ ඉටු වී නැත. ඒවා සාර්ථක වූයේ නම් අපේ ජීවන තත්ත්වය මීට වඩා සුවපහසු වනු ඇත.

සංවර්ධන ව්‍යාපෘතියක ආත්මය වන්නෙ රාජ්‍ය නිලධාරියා යැයි කීම අපව තිගස්සන කාරණයක් වුවද අවසානයේ දී පිළිගත යුතු සත්‍ය එය වී තිබේ. ග්‍රාමශක්ති වැනි ගම්දනව් වැසියන්ගේ ආර්ථිකය නඟා සිටුවීම් ජාතික වැඩසටහනක් තවත් එක සම්ප්‍රදායික සංවර්ධන ව්‍යාපෘතියක් කිරීම හො නොකිරීම ඇත්තේ රාජ්‍ය නිලධාරීයා අතය.

කෑගල්ලේ ග්‍රාමශක්ති වැඩසටහන නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීම කෑගල්ලේ වත්මන් දිසාපතිවරයා කටයුතු කරන්නේ මේ දැනුම් අතැතිවය. සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන ලෙස ග්‍රාමශක්ති ජනතා සමිති පිහිටු වීමෙන් අනතුරුව සෑම සමිතියකම ජනතා නියෝජිතයින් හා නිලධාරීන් අතර හමුවක් සංවිධානය වේ. මේ හමුව සිදුකිරීමට පෙර ග්‍රාමශක්ති වැඩසටහනට සෘජු දායකත්වයක් දක්වන නිලධාරීන් මෙන්ම එහි තමන්ගෙ කොටස හඳුනාගන්නා ක්ෂේත්‍ර නිලධාරීන් ( මේ සඳහා එක් වසමකට අවම වශයෙන් ක්ෂේත්‍ර නිලධාරීන් 8 ක් සිටිති) තෝරා ගත් වසම් වල තත්ත්වය සිය අධීක්ෂණයෙන් තහවුරු කර ගත යුතු අතර තමාට අයත් කාර්යභාරය හඳුනාගෙන තිබිය යුතුය. (කෑගල්ලේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසකම වසම් තුනක් ග්‍රාමශක්ති වැඩසටහනට තෝරාගෙන තිබේ)

මේ හමුව සඳහා පෞද්ගලිකව සහභාගීත්වය සපයන දිසාපතිවරයා ජනතා නියෝජිතයින් හා නිලධාරීන් සම්මුඛ කරමින් එහි ගැටළු හා වර්ධනය කළ යුතු තත්ත්වයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් හිමිකර දීමට මැදිහත් වේ. විශේෂයෙන් අගය දාම එකතු කළ යුතු නියමිත ස්ථානය පිළිබඳ පැහැදිලි දසුනක් නිලධාරීන් වෙත හිමිවීමට මෙම හමුව වඩාත් වැදගත්ය. සෑම වසමක්ම අධීක්ෂණ කටයුතු සඳහා අදාළ ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් තිදෙනෙක් ස්ටාර් ඔෆිසර් ලෙස නම් කර තිබේ. වසමේ සෑම කටයුත්තක්ම ඔවුන්ගේ පෞද්ගලික අධීක්ෂණයෙන් යුතුව සිදුකෙරේ.මෙවැනි මොඩියුලයක් ලංකාවේ ක්‍රියාත්මක වන්නේ කෑගල්ලේ පමණකි. ඒ පිළිබඳ ගෞරවය කෑගල්ල දිසාපතිවරයාට අවිවාදයෙන් හිමිය. ඒ හමුව නිමවන්නේ ඉදිරි වැඩසටහන් රැසක් යෝජනාවලියක් සමඟිනි. දිසාපතිවරයාගේ මැදිහත්වීම එතනින් අවසන් වන්නේ නැත. එය අවසානය දක්වා නොනවතින ක්‍රියාවලියකි.

විශේෂයෙන්ම ගමේ සිටින ව්‍යවසායකයින් ප්‍රවර්ධනයේලාත් නව ව්‍යවසායක අවස්ථා නිර්මාණය කිරීම සඳහාත් ඇති ශක්‍යතාව හා එහි බෙදුම් රේඛාව නිලධාරීන් විසින් පැහැදිලිව හඳුනාගත යුතුව තිබේ. . ක්‍රියාත්මක කළ බොහෝ සංවර්ධන ව්‍යාපෘති හරහා සිදුව තිබුණේ දුප්පත් කම විතැන් කිරීමක් මිස සමෘද්ධිය අත්පත් කර ගැනීමක් නොවේ. ව්‍යවසායක අවස්ථා නිර්මාණය කළ යුත්තේ තවෙකෙකුගේ ආදායම් මාර්ගයකට හානි පැමිණෙන ලෙස හෝ තවෙකෙකුගේ සෞභාග්‍යයෙන් කොටසක් ඉල්ලා ගැනීමෙන් නොව නවෝත්පාදන නිෂ්පාදනයක් මඟින් වෙළෙඳපල ජයගැනීමෙන් හරහා පමණකැයි රාජ්‍ය නිලධාරින් සිහිය පිහිටුවා ගත යුතු මොහොතට අපි එළඹ සිටිමු. ග්‍රාමශක්ති වැඩසටහන ක්‍රියාත්මක කළ යුත්තේ එවැනි ප්‍රවේශයක් අනුවය.

එබැවින් ජූකී මැෂිමක් ලබා දී හෝ හදුන් කූරූ නිෂ්පාදනයට පුහුණුවක් දී රාජ්‍ය නිලධාරීයාට අතපිසදා ගැනීමට නොහැකිය. සාම්ප්‍රදායික රාජ්‍ය සේවයෙන් ඔබ්බට ගිය , හිතවාදී ආකල්ප වලින් පිරිපුන්, එළඹි සිහි ඇති නිර්මාණශීලී රාජ්‍ය නිලධාරීන් ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයට අවැසි වන්නේ මෙතැනදිය. ඒ රාජ්‍ය නිලධාරියා තමන් තුළ සිටිදැයි සියළු රාජ්‍ය නිලධාරීන් මේ මොහොතේ තමන්ගේ හර්ද සාක්ෂිය සමඟ ලිට්මස් පරීක්ෂාවක් සිදුකර ගත යුතුව ඇත.

by – Anupama Ganegoda

https://www.facebook.com/sudarshana.gunawardana/posts/10156803231388184

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435