රාජ්‍ය සේවයේ නවක පත්වීම් රැසකට ගුරු සංගමයෙන් විරෝධය පලවෙයි

අනීතික ලෙස පාසල් පද්ධතියට කී‍්‍රඩා පුහුණුකරු නමින් පත්වීම් ලබාදීමට ලංකා ගුරු සංගමයට මෙන්ම සමස්ත අධ්‍යාපන ක්ෂේත‍්‍රයේම විරෝධය පළ කර තිබියදී නැවතත් කී‍්‍රඩා පුහුණුකරු පත්වීම් 510 ක් 2019.07.02 දින ජාතික අධ්‍යාපන ආයතන ශ‍්‍රවණාගාරයේ දී ලබාදීමට අධ්‍යාපන අමාත්‍යවරයා කටයුතු කර ඇත. මෙම පත්වීම් ලබාදෙන්නේ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන්ගේ ලැයිස්තු අනුවය. මෙසේ අනීතික ලෙස දේශපාලන උවමනාවන් වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය දැඩි පිළිකුල සහ විරෝධය පළකර සිටී.

2017 මැයි 22 දින අයඳුම්පත් කැඳවීම අනුව පාසල්වල කී‍්‍රඩා හා ශාරීරික අධ්‍යාපන විෂය ඉගැන්වීම් කටයුතු කිරීම සඳහා යෙදවීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කිසිදු තරඟ විභාගයකින් තොරව සම්මුඛ පරීක්ෂණය සහ ප‍්‍රායෝගික පරීක්ෂණයේ ප‍්‍රතිඵල මත කී‍්‍රඩා පුහුණුකරුවන් ලෙස යයි සඳහන් කරමින් 3888 කට පත්වීම් ලබාදෙන ලදී. අපොස සාමන්‍ය පෙළ විභාගයෙන් විෂයයන් 6 ක් සමත්වීම සහ දිස්ති‍්‍රක් කී‍්‍රඩා තරඟයකින් තෙවන ස්ථානය ලබා ගැනීම මේ සඳහා වන අවම සුදුසුකම වූ අතර, මෙවැනි සුදුසුකම් රහිත පිරිසකට ද පාසල් පද්ධතිය තුළ පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය දිගින් දිගටම විරෝධය පළ කරන ලදී. එසේම මෙම කී‍්‍රඩා පුහුණුකරුවන් පළාත් පාසල්වලට බඳවා ගැනීම සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරු ද සිය විරෝධය පළ කර තිබුණි.

වර්තමානයේ කි‍්‍රයාත්මක ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට පටහැනිව බඳවා ගත් මෙම පිරිස අතර කිසිසේත් පාසල් පද්ධතියේ කටයුතු කිරීමට නුසුදුසු පුද්ගලයන් ද සිටිති. එසේම පාසල් පද්ධතිය තුළ මේ වන විට කි‍්‍රයාත්මක නොවන කඹඇඳීම වැනි කී‍්‍රඩාවන්ගෙන් ජයග‍්‍රහණ ලද පුද්ගලයන්ටද කී‍්‍රඩා පුහුණුකරු පත්වීම් ලබාදී ඇත. කී‍්‍රඩා තරඟ ජයග‍්‍රහණ ලද පමණින් පාසල් පද්ධතිය තුළ මොවුන් කුමානාකාර කී‍්‍රඩා පුහුණුවක් කරන්නේ ද යන්න බරපතල ගැටලූවකි.

කලින් ලබාදෙන ලද මෙම කී‍්‍රඩා පුහුණුකරු පත්වීම් අනීතික මෙන්ම මුළුමනින්ම දේශපාලනික පත්වීම් වූ අතර, හෙට දිනයේ දී ලබා දීමට නියමිත කී‍්‍රඩා පුහුණුකරු පත්වීම් 510 ද එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන්ගේ ලයිස්තු අනුව තෝරාගත් පිරිසකට හිමිවේ. මෙසේ දේශපාලන උවමනා මත පාසල් පද්ධතියට අනීතික ලෙස පත්වීම් ලබාදීම මගින් පාසල් පද්ධතියට බරපතල පිරිහීමකට ලක් වන අතර, මෙවැනි පිරිස්වලට පාසල් දරුවන්ගේ වගකීම පැවරීමෙන් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ගැටලූකාරී තත්වයන් ඇතිවිය හැකිය. මේ තත්වය තුළ මෙම අනීතික කී‍්‍රඩා පුහුණුකරු පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර සිටින ලංකා ගුරු සංගමය මෙම පත්වීම් ලබාදීම වහා අත්හිටුවීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටී.

ජෝසප් ස්ටාලින් – ප‍්‍රධාන ලේකම් – ලංකා ගුරු සංගමය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435