රාජ්‍ය සේවය බිඳවැටීම කාගේ වරදින්ද?

නිර්මාණශීලීව හිතන රාජ්‍ය සේවයක්‌ නිර්මාණය කළ යුතුයි.” මෙය 2018 නව වසරේ රාජකාරී ආරම්භ කරමින් අමාත්‍ය එස්‌.බී. දිසානායක මහතා විසින් සිය අමාත්‍යාංශ නිලධාරීන් අමතා කරන ලද කථාවක පුවත්පත් ශීර්ෂ පාඨයකි.

එතුමා සමග ද ඉතා ළඟින් ඇසුරු කරමින් කටයුතු කළ රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් මෙම ප්‍රකාශයේ අගමුල විමසා, රාජ්‍ය සේවකයන් තුළ ඒ කාලයේ තිබූ නිර්මාණශීලීත්වය බිඳවැටී ඇත්තේ කාගේ වරදින්දැයි විමසා බැලීමට අදාළ වන කරුණු ටිකක්‌ ගොනුකර දැක්‌වීමට අදහස්‌ කළෙමි.

70 දශකයට පෙර බොහෝ තරුණ තරුණියන්ගේ අපේක්‌ෂාව වූයේ කුමන හෝ රජයේ තනතුරකට ඇතුළත් වීමය. විවාහයක්‌ කර ගැනීමට ගියත් රාජ්‍ය සේවකයාට ප්‍රමුඛත්වය හිමි විය. එහෙත් විවෘත ආර්ථික ක්‍රියාදාමයේ අනිසි ප්‍රතිඵලයක්‌ ලෙස රාජ්‍ය සේවයේ අභිමානය බිඳවැටී පෞද්ගලික අංශය ඉස්‌මතු වන්නට වීමත්, මුදලට මුල්තැන දෙන තත්ත්වයක්‌ මත රාජ්‍ය සේවකයාට ලැබුණ වැටුප අවතක්‌සේරුවට ලක්‌වීමත් නිසා රාජ්‍ය සේවකයාගේ තැන ගිලිහී යන්නට විය. ජීවත්වීමට සරිලන වැටුපක්‌ ඉල්ලා කරන ලද උද්ඝෝෂණ හා වැඩ වර්ජන කුරිරු ලෙස මර්දනයට ද ගොදුරු වූ අතර රාජ්‍ය සේවය කප්පාදු කර පෞද්ගලික අංශය ශක්‌තිමත් කිරීමට එවකට රජය ගත් පියවර නිසා සංඛ්‍යාත්මකවද රාජ්‍ය සේවය අවපාතයට ලක්‌විය. අනතුරුව බිහිවූ පොදු පෙරමුණු රජය නැවත රාජ්‍ය සේවය නගා සිටුවීමට උත්සාහ ගත් නමුත් ත්‍රස්‌තවාදී උවදුරු නිසා රජයේ ආර්ථිකය බිඳවැටීමෙන් රාජ්‍ය සේවකයාට ප්‍රතිලාභ සැලසීමට ද පුළුල් අවකාශයක්‌ නොලැබිණි. එහෙත් වැටුප් වර්ධක ඉල්ලීම් සම්බන්ධව සොයා බලා වාර්තා කිරීමට පත්කළ වැටුප් හා සේවා සංඛ්‍යා කොමිසමේ නිර්දේශ මත 2006 වර්ෂයේදී රාජ්‍ය සේවයේ විවිධ ශ්‍රේණි හා තනතුරු 1 ( 4 අනුපාතයට වර්ගීකරණය කරමින් විශේෂ වැටුප් ක්‍රමයක්‌ හඳුන්වා දෙනු ලැබිණ. අනතුරුව ප්‍රධාන ගැටලුව වූයේ විවිධ ශ්‍රේණි අතර ඇතිවූ විෂමතාවන් හා විශ්‍රාමික නිලධාරීන් සඳහා වැටුප් ගැලපීමක්‌ සිදු නොවීමය.

මේ තත්ත්වයන් සමීක්‌ෂණය කර විෂමතා ඉවත් කිරීමත් කාලීනව ගැළපෙන වැටුප් ව්‍යqහයක්‌ සැකසීමත් සඳහා 2013 අවසාන භාගයේ දී උසස්‌ රාජ්‍ය නිලධාරීන් හා වෘත්තීය සමිති නියෝaජිතයන්ගෙන් සමන්විත නව වැටුප් කොමිසමක්‌ පත් කරනු ලැබිණි. ඒ මගින් බොහෝ විෂමතාවන් සඳහා සාධාරණ විසඳුම් ලබාදුන් අතර ගුරු සේවා වැටුප් ද ගුරු සේවා ව්‍යවස්‌ථා සංග්‍රහයට අනුකූලව ගෙවීමට පියවර ගනු ලැබිණි. වැටුප් සම්බන්ධ වැඩ වර්ජන සඳහා වූ ප්‍රවේශයන්හිදී කොමිසමේ සෘජු මැදිහත්වීම මත ලබාදුන් විසඳුම් තුළින් බොහොමයක්‌ ප්‍රශ්න සමථයකට පත්විය. 2015 වර්ෂයට අදාළව 2014 අවසාන භාගයේ ඉදිරිපත් කළ අයවැය යෝජනාවේ වැටුප් සම්බන්ධ තීරණ බොහොමයක්‌ම කොමිසමේ නිර්දේශ මත ඇතුළත් වූ කරුණුය. එම නිර්දේශ ඉදිරිපත් කිරීමේදී පූර්ව කාලයේ දී සිදුවූ කප්පාදුවෙන් ඌණ තත්ත්වයකට පත්ව තිබූ රාජ්‍ය සේවයේ සේවක සංඛ්‍යාව ඒ වන විට තෙගුණයකින් පමණ ඉහළ මට්‌ටමකට වර්ධනය වී තිබූ හෙයින් රජයට දැරීමට සිදුවන අධික වැය බර ගැනද සැළකිලිමත්ව ක්‍රියාකර ඇත.

2006 වැටුප් පරිවර්තනයෙන් පසුවද රාජ්‍ය සේවයේ ප්‍රාථමික සේවකයින්ට මසකට හිමිවූ දීමනා රහිත අවම වැටුප වූයේ මසකට රු. 11,730/- කි. අතුරු දීමනා සමග ගත්විට එය රු. 16,590/-ක්‌ විය. එවකට පැවති රජය වෘත්තීය සමිති ඉල්ලීම් හා මූල්‍ය හැකියාව ගණනය කර ප්‍රාථමික සේවකයකුගේ ආරම්භක වැටුප රු. 15,000/-ක පිහිටුවා සෙසු ශ්‍රේණි වැටුප් 1(4 අනුපාතයට ගැලපීමට තීරණය කරනු ලැබිණ. එහිදී අතිකාල ගෙවීම් හා විශ්‍රාම වැටුප් ආදී වෙනත් ගෙවීම්ද එම මූලික වැටුප පදනම් කරගෙන ගෙවීමට අවකාශ සැළසෙන හෙයින්, මෙම වැටුප් වර්ධකය රාජ්‍ය සේවකයා 2006 වර්ෂයෙන් පසු ලැබූ ඉහළ ප්‍රතිලාභයක්‌ විය.

සමස්‌ත රාජ්‍ය සේවා වැටුප් වැඩිකිරීමකදී ආර්ථිකයට එම පුනරාවර්තන වියදම දරා ගැනීමේ හැකියාව ගැන සැළකිල්ලට ගතයුතු බව ආර්ථික මූල ධර්මයක්‌ වේ. එබඳු හැකියාවක්‌ නොපවතින බව දැන දැනම ප්‍රති පාර්ශ්වය විසින් රු. 10,000/- කින් වැටුප් වැඩි කරන බවට දෙන ලද පොරොන්දුවක්‌ නිසා රාජ්‍ය සේවකයෝ උද්දාමයට පත්වූහ. එහෙත් පසුව එම රු. 10,000ක්‌වූ මුදල ගෙවීමට තීරණය කරන ලද්දේ වැටුපක්‌a ලෙස නොව දීමනාවක්‌ වශයෙනි. රාජ්‍ය සේවකයාගේ අපේක්‌ෂාව වූයේ එම මුදල එකවර මූලික වැටුපට එකතු වීමය. දීමනාවක්‌ ලෙස හෝ රු. 10,000/- මුදලක්‌ ලැබීමේදී රාජ්‍ය සේවකයාට පෙරට වඩා වැඩි මුදලක්‌ අතට ගැනීමට අවකාශ ලැබුණත් මූලික වැටුප් වර්ධකයක්‌ නොවීම නිසා ඔහු තෘප්තියට පත්වූයේ නැත. රජයේ තීරණය වූයේ වාරික වශයෙන් වසර පහක්‌ තුළ එය මූලික වැටුපට එක්‌කිරීමය දරාගත නොහැකි වැය බරක්‌ දැරීමට සිදුවීම නිසා විවිධ බදු පැනවීමට ද නව රජයට සිදු විය. ජීවන වියදම ඉතා ඉහළ අගයකට වැඩිවීමත්, බඩු මිල ඉතා සීSග්‍රයෙන් වර්ධනය වීමත් මත වැඩි කළ මුදලට වඩා දරාගත නොහැකි බරක්‌ රාජ්‍ය සේවකයා මත කඩා වැටුණි.

පසුගිය රජය විසින් විශ්‍රාමිකයාට 2006 වැටුප් පරිවර්තනයට අනුව ගැලපීම් කර අනුරූපී වැටුප මත විශ්‍රාම වැටුප ලබා දීමට ක්‍රියාකළ අතර නැවත 2015 වර්ෂය සඳහා යෝජිත වූ වැටුපට අනුරූපීව ගැලපීම් කිරීමට ගෙන තිබූ තීරණයද ඇණහිට ඇත. ඒ අනුව විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ද කලකිරීමට පත්ව ඇත. අලුතින් රාජ්‍ය සේවයට එක්‌වන අයගේ විශ්‍රාම වැටුප් සඳහා නිශ්චිත ක්‍රමවේදයක්‌ සකස්‌ නොවීම නිසා ඔවුහු ද අතෘප්තිමත්ව සිටිති. මේ තුළින් සිදුව ඇත්තේ රාජ්‍ය සේවකයා අපේක්‌ෂා භංගත්වයට පත්ව රාජකාරි උනන්දුව හීනවී යැමය. රාජ්‍ය ආයතන පුද්ගලීකකරණ ප්‍රතිපත්තිය ද රාජ්‍ය සේවය බිඳ වැටීමට හේතුවක්‌ වී ඇත. දැන් බොහෝ රාජ්‍ය සේවකයන් සේවය කරන්නේ කලින් මෙන් රාජකාරිය පිළිබඳ අභිමානයකින් යුතුව නොව උදේට සහ සවසට අත්සන් කොට පැමිණීම ලකුණු කර දවස ගෙවා නික්‌ම යාමේ බිඳවැටුණු මානසිකත්වයකින් යුතුවය.

රාජ්‍ය සේවය කාර්යක්‌ෂමව පැවතීම රාජ්‍ය යාන්ත්‍රණය මනාව පවත්වාගෙන යැමේ මෙවලමකි. එහෙත් යම් බලධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියාවන් නිසාද රාජ්‍ය සේවයේ කාර්යක්‌ෂමතාව ගිලිහී ගොස්‌ ඇත. රජයේ සේවකයකුට මුදල් රෙගුලාසි, ආයතන සංග්‍රහයේ විධි විධාන හා චක්‍රලේඛ උපදෙස්‌ මත පිහිටා ස්‌වයං තීරණ ගැනීමේ හැකියාව පැවති අතර, අවශ්‍ය අවස්‌ථාවල ඉන් ඔබ්බට ගොස්‌ සද්භාවයෙන් යුතුව ක්‍රියාකරමින් අවශ්‍ය කාර්යයන් ඉටු කිරීමේ අවකාශය ද පැවතිණි. රාජ්‍ය සේවකයා යම් වරදක්‌ කළ විට මූලික විමර්ශන, විධිමත් පරීක්‌ෂණ මගින් විනයානුqකූල පියවර ගෙන සේවයෙන් පහකිරීම වැනි බරපතල දඬුවම් පැමිණවීමටද අවශ්‍ය නම් නීති මගින් ක්‍රියා කිරීමට හෝ මූල්‍ය අලාභයක්‌ සිදුවී ඇත්නම් අධිභාර ලෙස අයකර ගැනීමටද ප්‍රතිපාදන පැවතුණි. විශ්‍රාම ගියද රාජ්‍ය නිලධාරීන් විගණන හා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවල විමසීම් වලටද මුහුණ දීමට අදාළ වේ. එහෙත් වත්මන් රජය ඉන් ඔබ්බට යමින් මුදල් අවභාවිතය හෝ ආයතන ප්‍රධානියාගේ වගවීම වැනි කරුණු මත මූල්‍ය අපරාධ අංශයට රාජ්‍ය නිලධාරීන් යොමුකරමින් රිමාන්ඩ් භාරයට පත්කරලීමට ගත් ක්‍රියාමාර්ග තුළින් සිදු වූයේ සමස්‌ත රාජ්‍ය සේවයම බාල්දු වී රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාශීSලීs මානසිකත්වය බිඳවැටීමය.

කුමන රජයක්‌ බලයේ සිටියද, සිය පෞද්ගලික දේශපාලන අදහස කුමක්‌ වුවද බොහෝ රාජ්‍ය නිලධාරීන් අර්බුදකාරී අවස්‌ථාවන්හිදී මහජන සේවය උදෙසා ක්‍රියා කළේ ඇතැම් දේශපාලකයන්ට ද වඩා ඉදිරියෙනි. එබඳු නිලධාරීන් රජයේත් මහජනතාවගේත් ප්‍රසාදයට ද පත්වූහ. එබඳු ගෞරව ප්‍රණාම තුළින් රාජ්‍ය සේවයේ උනන්දුව තවත් වර්ධනය විය. අසූව දශකයේ බදුල්ලේ සහකාර පළාත් පාලන කොමසාරිස්‌ වශයෙන් සිටියදී එවකට පළාත් පාලන අමාත්‍ය ධුරය හෙබවූ ප්‍රේමදාස මැතිතුමා විසින් දිස්‌ත්‍රික්‌කයේ හොඳම රාජ්‍ය නිලධාරියකු= ලෙස සම්මානයට ලක්‌ කිරීමත්, ශ්‍රී ලංකා – එක්‌සත් ජාතීන් මිත්‍රත්ව සංවිධානය විසින් සේවා කුශලතාව පිළිබඳ ගෞරව සම්මානයක්‌ (2003) පිරිනැමීමත්, ශ්‍රී ලංකා සමාජසේවා සුබසාධන සම්මේලනය විසින් මහජන සේවය උදෙසා ජාතික ගෞරව නාම ආචාර්ය උපාධිය (2003) පිරිනැමීමත්, මාගේ රාජකාරී ජීවිතයේ අමතක නොවන සිදුවීම් වේ. මෙබඳු ගෞරව සම්මාන පිරිනැමීම සමස්‌ත රාජ්‍ය සේවයටම උත්තේජනයකි. ඒ බව දත් එස්‌. බී. දිසානායක මැතිතුමාද සමෘද්ධි ව්‍යාපාරය නැංවීම සඳහා මෙබඳු කුශලතා සම්මාන හා රන්පවුම් පවා ප්‍රදානය කළ අතර දිස්‌ත්‍රික්‌ සමෘද්ධි සහකාර කොමසාරිස්‌වරුන් හා දිසාපතිවරුන්ගේ කාර්යක්‌ෂමතාව ප්‍රවර්ධනය සඳහා එය මහත් පිටුබලයක්‌ විය. අප ලැබූ එම ප්‍රදානයන්හි අගය මුදලින් මැනිය හැකි නොවේ.

එහෙත් අද ඇතැම් නොපැසුණු දේශපාලකයන් රාජ්‍ය නිලධාරීන් දිරිමත් කිරීම වෙනුවට ප්‍රසිද්ධියේ අවමන් කිරීම මගින් ඇතිවන කලකිරීම ද රාජ්‍ය සේවයේ කාර්යක්‌ෂමතාව ගිලිහී යැමට හේතුවක්‌ වී ඇත. මින් අදහස්‌ කරන්නේ සියලු දෝෂ පසෙක ලා රාජ්‍ය නිලධාරීන් නැළවිය යුතු බව නොවේ. රාජ්‍ය සේවය පාලනය කිරීම සඳහා මෙතෙක්‌ පවත්වාගෙන ගිය නියමානුqකූල විධිවිධාන හා කාර්ය පටි පාටි යටතේ ක්‍රියා කළ යුතු බවය. එසේ නොමැතිව ක්‍රියා කිරීමෙන් ඇතිවී ඇති අනිසි ප්‍රතිඵල මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීම, සාලාව විනාශය, ගංවතුර හා නායයැම් උවදුරු සහ වැඩ වර්ජන අවස්‌ථාවලදී පමණක්‌ නොව ඛණිජ තෙල් සැපයීම, පොහොර සැපයීම, සහල් හිඟය වැනි අවස්‌ථාවන්හිදී පවා පැහැදිලි විය. එහිදී පෙන්නුම් කළේ ක්‍ෂණිකව තීන්දු තීරණ ගැනීම වෙනුවට රාජ්‍ය නිලධාරීන්ගේ පසුගාමී ක්‍රියාකාරිත්වයයි. එස්‌. බී. දිසානායක අමාත්‍යතුමා කියන පරිදි යමක්‌ නොකර සිටීමට ඕනෑතරම් හේතු දැක්‌විය හැකිය. එහෙත් එතුමා ඇතුළු විවිධ තරාතිරමේ දේශපාලකයින් සමග රාජකාරි ඉටු කිරීමේදී අප කළේ පොතේ හැටියට නොකර සිටීමට හේතු දැක්‌වීම නොව තැනේ හැටියට වැඩ කිරීම ය. එසේ කිරීමට හැකිවූයේ එදා පැවති තත්ත්වය මත ය. එහෙත් අද එසේ ස්‌වයං තීරණ ගැනීමේ බියකින් රාජ්‍ය සේවකයා වෙලා ඇත. එකල සිදුවූ සුනාමි ව්‍යසනය, ත්‍රස්‌ත ප්‍රහාර වැනි බිහිසුණුq ආපදාවන්හිදී ඉහළ උපදෙස්‌ ලැබෙන තෙක්‌ බලා සිටියේ නම් ජනතාව මහත් අසරණභාවයට පත් වේ. අද එබඳු තත්ත්වයක්‌ පැනනැඟුණහොත් පසුගාමී මානසිකත්වයකින් සිටින රාජ්‍ය නිලධාරීන් ඉදිරියට නොව පස්‌සට පියවරක්‌ ගනු ඇත. අවස්‌ථානුකූලව ගතයුතු තීරණ ගනු නොලබන්නේ නම් රටක ඉදිරිගමන ඇන හිටී.

වාසනාවකට මෙන් හමුදා අංශ තවමත් ආපදා අවස්‌ථාවන්හිදී පෙරමුණ ගෙන ක්‍රියා කරනු දක්‌නට ඇත. ඒ ඔවුන්ට ඉහළින් ලැබෙන අණ නොතකා සිටීමට නොහැකි නිසාය. එහෙත් සංහිsඳියාව පෙරට ගෙන රට බේරා ගැනීමට කැපවූ හමුදා බුද්ධි නිලධාරීන් හා උසස්‌ නිලධරයන් කොටුකර ගැනීමට ගනු ලබන අදූරදර්ශී ක්‍රියාමාර්ග නිsසා සිදුවන්නේ හමුදාව තුළ ඇති “රට වෙනුවෙන් අපි” යන අභිමානය බිඳවැටීමය. එය රටක පැවැත්මට අහිතකර තත්ත්වයක්‌ වේ.

නව වසරේ රාජකාරී ආරම්භ කරමින් දිසානායක මැතිතුමා විසින් වැඩිදුරටත් සඳහන් කර ඇති කරුණක්‌ පහත දක්‌වමි.

“කරන්න බැරි දේවල් කරන්න පුළුවන් කියන පිරිසක්‌ නිර්මාණය විය යුතුයි. නිර්මාණාත්මකව හිතලා බැරි දේවල් කරන රාජ්‍ය සේවයක්‌ අපට අවශ්‍යයි.”

“අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ කරන්න බැරි මාර්ග සොයන එක නොවෙයි කරන්න පුළුවන් මාර්ග සොයන එක”

බොහෝ රාජ්‍ය නිලධාරීන් මෙම අවශ්‍යතාව හඳුනාගෙන ඇත. එහෙත් එසේ ක්‍රියා කළ නිලධාරීන්ට අත්වූ ඉරණමට තමන්ට ද යම් දිනක මුහුණ දීමට සිදුවනු ඇතැයි ඔවුහු බියෙන් පසුවෙති. මෙම භීතිය නැති වීමට නම් ඊට අවශ්‍ය පසුබිම නිරවුල් විය යුතුව ඇත.

ගැලරිය පිනවීම සඳහා කෑ මොරගසා නිලධාරීන් හෑල්ලුවට ලක්‌ කිරීමෙන් රාජ්‍ය නිලධාරීයාගෙන් කඩිනමින් වැඩ කර ගැනීමට හැකියෑයි සිතන්නේ මුහුකුරා නොගිය දේශපාලන ආධුනිකයන් පමණි. ගම් උදාව, සමෘද්ධි ව්‍යාපාරය, වැනි විශේෂිත ව්‍යාපෘති රටපුරා ක්‍රියාත්මක කිරීමට ප්‍රේමදාස මැතිතුමාටත් එස්‌.බී මැතිතුමා වැනි අමාත්‍යවරුන්ටත් හැකි වූයේත්, වසර තිහක්‌ පමණ පැවති කුරිරු ත්‍රස්‌තවාදී යුද්ධය ජයග්‍රහණය කරා මෙයෙවීමට මහින්ද රාජපක්‌ෂ මැතිතුමාට හැකිවූයේත් රාජ්‍ය යාන්ත්‍රණය කෙසේ හැසිරවිය යුතුදැයි එතුමන්ලා හොඳින් වටහාගෙන සිටි හෙයිනි. දේශපාලකයන් නමක්‌ දිනා ගන්නේ ද ජනතා ගෞරවාදරයට පත්වන්නේ ද රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරිත්වය මතය. ඒ සඳහා රාජ්‍ය සේවකයා තෘප්තිමත්ව සිsටිය යුතු වේ.

රාජ්‍ය සේවකයා තෘප්තිමත් වන්නේ වැටුප් / දීමනා වැඩිකර දීමෙන් පමණක්‌ නොවේ. එය එක්‌ සාධකයක්‌ පමණි. රාජ්‍ය සේවයේ ගරුත්වය රැකීම බලධාරීන්ගේ වගකීමය. පූර්ව පාලන කාලයේ කැපී පෙනෙන ලෙස ක්‍රියාකළ රාජ්‍ය නිලධාරීන් කෙරෙහි වෛරී ලෙස බලමින් ඔවුන් විවිධ චෝදනා මත හිරේ විලංගුවේ දැමීමෙන් සිදු වූයේ අවශ්‍ය තීරණ තීන්දු ගැනීමේ භීතියකට සමස්‌ත රාජ්‍ය නිලධාරීන් ම ඇද දැමීමය. අද බොහෝ විට සාමාන්‍ය සංසිද්ධියකදී වුවද ඉහළින් නියෝග ලැබෙන තෙක්‌ හෝ කැබිනට්‌ තීරණ ගන්නා තෙක්‌ කල් මැරීමක්‌ සිදුවන බව පෙනී යන්නේත්, ප්‍රශ්න බොහෝ දුරදිග ගොස්‌ රාජ්‍ය නායකයාටම මැදිහත් වීමට සිදු වන්නේත් මේ නිසාය. රාජ්‍ය සේවකයා තුළ ඇතිවී ඇති එම බිය දුරලන තෙක්‌ නිර්මාණශීලී රාජ්‍ය සේවයක්‌ බිහිකිරීම සිහිනයක්‌ වේ.

රාජ්‍ය සේවය මෙබඳු තත්ත්වයකට ඇද දැම්මේ කවුරුන් විසින්ද ? එය රාජ්‍ය සේවය අකර්මණ්‍ය කර දියකර හැරීමේ කුමන්ත්‍රණකාරී පියවරක්‌ ද? නැතහොත් දුරදිග නොබලා සිදුකළ අමනෝඥ ක්‍රියාවක්‌ද යනු සිතා බැලිය යුතු වේ. රටක ස්‌ථාවර පැවැත්ම හා ඉදිරි ගමන රාජ්‍ය සේවයේ කාර්යක්‌ෂමතාව මත පවතින බව පාලකයන් විසින් ද වටහා ගත යුතුව ඇත. එස්‌. බී. දිසානායක මහතාගේ අදහස යථාර්ථයක්‌ බවට පත්කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම රජයේ වගකීමකි. නැතහොත් සමස්‌ත රාජ්‍ය සේවයේ විරෝධය යම් දිනයකදී පුපුරා යා හැකිය.

ජයලත් රවි දිසානායක,  (වැටුප් කොමිෂමේ හිටපු සම සභාපති) – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435