රාජ්‍ය සේවා කොමිසමේ චෝදනා තිබියදීත් විදුහල්පතිනියට ඉහල තනතුරක්

රාජ්‍ය සේවා කොමිසම මගින් චෝදනා පත‍්‍රයක් ලබා දී තිබියදීත් කොළඹ රාමනාදන් හින්දු බාලිකා විදුහලේ හිටපු විදුහල්පතිනියට අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක තනතුරක් ලබාදීම පිළිබඳව ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් විරෝධය පළකර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ,

කොළඹ රාමනාදන් හින්දු බාලිකා විදුහලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කළ කේ. නගුලරාජා මහත්මිය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් හා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් මේ වන විට විමර්ශන සිදුකරමින් පවතී. නගුලරාජා මහත්මිය කොළඹ රමනාදන් හින්දු බාලිකා විදුහලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කිරීමේදී ළමයින් පාසලට ඇතුළත් කිරීමට මුදල් ලබා ගැනීම ඇතුළු දූෂණ හා අක‍්‍රමිකතා ගණනාවක් සම්බන්ධයෙන් මෙම විමර්ශන කටයුතු සිදු වන අතර, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඇය වෙත චෝදනා පත‍්‍රයක් ද ඉදිරිපත් කර ඇත.

එසේ තිබියදී මේ වන විට කේ. නගුලරාජා මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ දෙමළ මාධ්‍ය පාසල් සම්බන්ධ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරකට පත් කර ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කර තිබියදීත් මෙවැනි තනතුරකට මෙම නිලධාරිණිය පත් කිරීම බරපතල කනගාටුදායක තත්වයක් වන අතර මෙම පත්කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය දැඩි විරෝධය පළ කර සිටී.

මෙම තනතුරේ කටයුතු කිරීමේදී ඇය විසින් විදුහල්පතිවරු සහ ගුරුවරු අධීක්ෂණය කිරීම සිදුකරන අතර, දූෂණ චෝදනා ලත් අයෙකු විසින් මේ ආකාරයෙන් විදුහල්පතිවරු හා ගුරුවරු අධීක්ෂණයට ලක් කිරීම විහිළු සහගත තත්වයකි. එසේම ඇයට එරෙහි විමර්ශනවලදී සාක්ෂි ලබාදීමට නියමිත ගුරුවරු ඇතුළු සාක්ෂිකරුවන්ට මේ තුළින් බලපෑම් එල්ලවීම සිදුවේ.

මේ තත්වය තුළ මෙම නිලධාරිණිය උක්ත තනතුරින් වහාම ඉවත් කරන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාගෙන් හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ලිඛිතව ඉල්ලා සිටී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435