‘‘රැකියා හා සේවා කොන්ත‍්‍රාත් අයිතිවාසිකම් පනත’’ ගැන ඇත්ත නැත්ත දැනගන්න

‘‘රැකියා හා සේවා කොන්ත‍්‍රාත් අයිතිවාසිකම් පනත’’ රැකියාවේ සුරක්ෂිතභාවය තීන්දු කරන්න හාම්පුතාට භාර දෙන පනතක්

මේ රටේ කම්කරු නීති අණපනත් 54 ක් තියෙන නිසා ඒවා මහා පටලැවිල්ලක් යැයි කතාව ආරම්භ කෙරුණේ අවුරුදු කීපයකට පෙර ය. ඊළඟට පිටරටින් එන ආයෝජකයින්ට පහසු වෙන්න ඒ පනත්වල තියෙන වැදගත් කාරණා තනි ලියවිල්ලකට දාන්න යෝජනා තිබුණි. මෙහෙම පටන් ගත්ත කතා මේ වන විට අලූත් කම්කරු නීති පනතක් හදන්න හේතු ලෙස මේ ආණ්ඩුව යොදා ගෙන ඇත.

එය ආරම්භ වෙන්නේ 2016 ඔක්තෝබර් මාසයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකානු ඒජන්සිය (යූඑස්ඒඩ්) සමග සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ මලික් සමරවික‍්‍රම ඇමතිවරයාගේ අමාත්‍යාංශය සමග වසර 04 ක ව්‍යාපෘතියක් අත්සන් කිරීමත් සමගය. ඒ වෙනුවෙන් 2017 දී වෘත්තීය සමිති නියෝජනයක් සහිත කමිටුවක් පත් කිරීමට කම්කරු අමාත්‍යාංශය හරහා යෝජනා වූ විට, එයට අප සංගමය ප‍්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ වූයේ ඇමෙරිකානු රජයට සම්බන්ධ ආධාර සංවිධානයක් සමග මේ රටේ කම්කරු නීති හැදීම නුසුදුසු යැයි ද ඒ සඳහා අප වගකිව යුතු වෘත්තීය සමිතියක් ලෙස සූදානම් නැතැයි ද ලිඛිතව කම්කරු ඇමතිවරයාට දැනුම් දෙමිනි. ජාතික කම්කරු උපදේශක සභාවේ අනෙක් වෘත්තීය සමිති ද එම යෝජනාවට එකඟ නොවුනි. එහෙත් ‘‘යූඑස්ඒඩ්’’ ඒජන්සිය සහ මේ ආණ්ඩුව එම කාර්යය පෞද්ගලික නීති විශාරදයන්ගේ සහාය ඇතිව මේ වනවිට සම්පූර්ණ කර ඇත.

තවමත් ප‍්‍රසිද්ධියට පත් නොකෙරුණු එහෙත් පෞද්ගලිකව විවිධ සංවිධාන හා පුද්ගලයින්ගේ අනුමැතිය ගැනීමට උත්සාහ කරන මෙම නීති කෙටුම්පත හඳුන්වනු ලබන්නේ ‘‘රැකියා හා සේවා කොන්ත‍්‍රාත් අයිතිවාසිකම් පනත’’ යනුවෙන් ය. එහි මූලික කාරණා අතිශයෙන්ම සේවක විරෝධී සහ හාම්පුතුන් වෙනුවෙන් සම්පාදනය කෙරුවකි. ඒවා ඉතා කෙටියෙන් මෙවැනිය.

  • පඩි පාලක සභා සහ සාප්පු හා කාර්යාල පනත් අකර්මන්‍ය කෙරෙන්නේය. එබැවින් එක් එක් සේවා හා කර්මාන්ත ක්ෂේත‍්‍ර සඳහා අවම වැටුප, සේවා කොන්දේසි සහ පෞද්ගලික අංශයේ වෙළඳ නිවාඩු තීන්දු කිරීමේ අයිතිය හාම්පුතුන්ට ලැබෙන්නේ ය.
  • පැය 08 වැඩ දිනය වෙනුවට පැය 12 ක උපරිමයකට වැඩ දිනය තීන්දු කර ඇත. දිනකට වැඩි වන පැය ගණන සඳහා අතිකාල ගෙවීම් නැත. එය කෙරෙන්නේ පැය 45 ක වැඩ සතියේ සීමාව ඇතුළතය. ඒ අනුව සතියේ පැය 45 හාම්පුතුන්ට අවශ්‍ය නම් දින 04 කින් සම්පූර්ණ කරගත හැකිය. ඉතිරි දින සඳහා වැටුප් ගෙවීමක් ද නොවෙනු ඇත.
  • ඒ අනුව දැනට ඇති සති අන්ත ඉරිදා නිවාඩු දිනය ලබා දීම හාම්පුතාට කැමති දිනක ලබා දීමට හැකියාව ලැබෙන අතර, එම දිනය පඩි රහිත නිවාඩු දිනයක් වනු ඇත.
  • හාම්පුතුන් විසින් ලබා දෙන පත්වීමේ ලිපියට අදාලව සඳහන් කෙරෙන රැකියාවේ කොන්දේසි නිත්‍යානුකූල කෙරෙන්නේය. ඒවා සංශෝධනය කර ගැනීමට හෝ ප‍්‍රතික්ෂේප කිරීමට රැකියාව බාර ගැනීමේ දී සේවකයින්ට ඉඩ ඇතැයි ආණ්ඩුවේ හා හාම්පුතුන්ගේ තර්කය වන්නේය. එහෙත් ප‍්‍රායෝගික තත්ත්වය නම්, එසේ කිරීමට උත්සාහකරන්නාගේ රැකියාව අහිමි වීමය.
  • රැකියා ගිවිසුම් නිශ්චිත කාල රාමුවකට විය හැකි අතර, අවශ්‍ය නම් එය දීර්ඝ කිරීම හාම්පුතාගේ අභිමතයට යටත්ය. හාම්පුතුන්ට එවැනි බලයක් ලබාදීමෙන් රැකියාවේ සුරක්ෂිතතාව අහෝසි වන්නේය.
  • මෑන්පවර් කොන්ත‍්‍රාත් රැකියා නිත්‍යානුකූල කෙරෙන්නේය. ඒ අතරම, එවැනි රැකියාවලට වගකීමෙන් හාම්පුතුන් නිදහස් කෙරෙන්නේය.
  • අර්ධ කාලීන රැකියා නිත්‍යානුකූල කෙරෙන අතර එය ද හාම්පුතාගේ අභිමතයට යටත් ය.
  • රැකියා කාලය ලිහිල් කර ඇත. ඒ අනුව සේවයට වාර්තා කිරීම හා වැඩ කරන පැය ගණන හාම්පුතාගේ අභිමතය අනුව තීන්දු කළ හැකිය.

දැනට සේවකයින් 15 දෙනකුට වැඩි ආයතනවල සේවකයින් හිමිකම් ලබන වසර 05 ක් සේවය නිම කරණ සේවකයින්ට හිමි සේවා අවසන් පාරිතෝෂික දීමනාව සේවකයින් 50 කට වැඩි ආයතනවල සේවකයින්ට පමණක්  ලැබෙන අතර එය ද සේවකයින්ට කොපමණ වසර ගණනක් සේවය කළ ද පාරිතෝෂිකය හිමිවන්නේ වසර 20 කට පමණයි. දැන් පවතින නීතිය අනුව තමන් සේවය කරන ලද සම්පූර්ණ කාලයට පාරිතෝෂික හිමිකම් ලැබී ඇත’

දැනට සේවකයින්ගේ රැුකියා සුරක්‍ෂිතතාවයට ඇති ඉතා ආරක්‍ෂන නීතියක් වන 1971 අංක 45 දරණ සේවය අවසන් කිරීමේ පනත අකර්මන්‍ය වනු ඇත. එම පනත අනුව සේවකයින්ව විනයානුකූල නොවන හේතුන් මත සේවය අවසන් කිරීමට ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත හෝ කම්කරු කොමසාරිස්ගේ ලිඛිත අවසරය ලබා ගත යුතුව ඇත. මෙම නව නීතිය මගින් එම කි‍්‍රයාදාමය අවශ්‍ය නොවන බැවින්  ඕනෑම සේවකයෙකුගේ සේවය හාම්පුතාගේ අභිමතය පරිදි අවසන් කිරීමට හැකියාව ඇත’

ආයතනයක් වසා දැමීමේ දී හෝ සේවකයින් කොටසක් ඉවත් කිරීමේ දී ඒ සඳහා කම්කරු කොමසාරිස්ගේ ලිඛිත අවසරය ගැනීම දැනට පවතින නීතිය වුව ද, එම නීතිමය අවශ්‍යතාවයෙන් හාම්පුතා මිදෙන අතර, එවැනි අවස්ථාවල දී හාම්පුතාගේ අභිමතය පරිදි සේවකයින්ගේ සේවය අවසන් කිරීමට ද නව නීතිය අනුව කළ හැක. මේ අනුව යම් ආයතනයක සේවක අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත්වන සේවක සේවිකාවන් හාම්පුතුන්ගේ ගොදුරු බවට පත් කර ඇත.

මේ සියල්ලෙන් ආණ්ඩුව හා හාම්පුතුන් බලාපොරොත්තු වන්නේ වෘත්තීය සමිති ලෙස සංවිධානය වීමට ඇති ඉඩකඩ නීති මගින් වසා දමන්නට ය. හාම්පුතාගේ පත්වීමේ කොන්දේසි නිත්‍යානුකූල කළ පසු එහි හාම්පුතා විසින් පැනවෙන වෘත්තීය සමිතියක සාමාජිකත්වය ගැනීම තහනම් කිරීම ද නිත්‍යානුකූල වීමට ඉඩ ඇත. ඒ සමග කිසිදු රැකියා ප‍්‍රශ්නයක් තනිව හෝ සාමුහිකව පාලනාධිකාරය සමග සාකච්ඡා කිරීමට නොහැකි වනු ඇත. මෙය සියලූ සේවක සේවිකාවන් – සාමාන්‍ය කම්කරුවාගේ සිට ඉහළ කළමනාකාරිත්වය දක්වා සියල්ලන්ට එකසේ බලපාන්නාවූ අතිශය මර්දනකාරී, වහල් සේවා තත්ත්වයකට මග පාදන්නකි.

මෙම නීති සංශෝධන සියල්ලේ අවසාන ප‍්‍රථිපලය වනුයේ කම්කරු පංතිය අරගල කර දිනා ගත් පැය 8 වැඩ දිනය අහිමි කරමින් තම ජීවිත කාලය සඳහා ස්ථීර රැකියාවක් කිරීමේ භුක්ති විඳි අයිතිය අහෝසි කිරීම, වෘත්තීය සමිති කි‍්‍රයාකාරීන් දඩයම් කිරීම, වෘත්තීය සමිති නැති කර්මාන්තශාලා බිහි කිරීම සහ සේවකයින් ආයෝජකයින්ගේ ගොදුරු බවට පත් කරමින් අප රටේ අනාගත තරුණ තරුණියන් වහල් ශ‍්‍රමිකයින් බවට පත් කිරීමයි. එනිසා මෙම නීති සංශෝධන මුළුමනින්ම ප‍්‍රතික්‍ෂෙප කරමින් එම පනත පරාජය කිරීමට වෘත්තීය සමිතිවල සාමාජිකයින් හෝ සාමාජිකයින් නොවන කම්කරුවන්, මානව හිමිකම් කි‍්‍රයාධාරීන් මෙන්ම පුරවැසියන්ගේ වගකීමකී.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් ජනතාව දැනුවත් කිරීම සඳහා සකස් කළ පත්‍රිකාවකින් උපුටාගන්නා ලදි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435