රුපියල බාල්දු වුණාම ඔබට වෙන්නේ මොකද්ද?

වෙළෙඳපොළ බලවේග මත තීරණය වන විනිමය අනුපාතයක් පවතිද්දී ඇමෙරිකන් ඩොලර් එකට සාපේක්ෂව රුපියලේ අගය අඩු වැඩි වීම ස්වාභාවිකය. නමුත් විශාල අගයකින් රුපියල බාල්දු වීම අස්වාභාවික විශේෂිත තත්ත්වයකි.රුපියල බාල්දු වීම රටට, රටේ ආර්ථිකයට සහ මහජනතාවට යහපත් ආකාරයට මෙන්ම අයහපත් ආකාරයට බලපායි.රුපියල බාල්දු වීමෙන් අපනයනකරුවන්ට, දේශීය නිෂ්පාදකයන්ට, ඩොලර්වලින් මුදල් ඉතිරි කරන්නන්ට ඩොලර්වලින් වැටුප් ලබන්නන්ට සහ විදේශීය සංචාරකයන්ට වාසි සැලැසේ.

රුපියල බාල්දු වීම නිසා භාණ්ඩ අපනයනයේ යෙදී සිටින ව්‍යාපාරිකයන්ට වෙනදා අපනයන කරන භාණ්ඩ තොගයට වෙනදාට වඩා වැඩි රුපියල් ප්‍රමාණයක් ලැබේ. ඒ අනුව රුපියල බාල්දු වීමෙන් ඔවුන්ට වැඩි රුපියල් ප්‍රමාණයක් උපයා ගැනීමට අවස්ථාව සැලැසේ.

රුපියල බාල්දුවීම නිසා ආනයනය කරන භාණ්ඩවලත් ආනයනය කරන අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන නිෂ්පාදනය කරන භාණ්ඩවලත් මිල විශාල වශයෙන් ඉහළ යයි. මේ නිසා දේශීය අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන භාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදකයන්ට ආනයන භාණ්ඩවලට වඩා අඩු මුදලට ඔවුන්ගේ භාණ්ඩ නිෂ්පාදනය කර අලෙවි කර ගැනීමට හැකිවේ. දේශීය ව්‍යාපාරිකයන්ට විශේෂයෙන් කෘෂි කර්මාන්තයේ නියැළෙන අයට තිබෙන ගැටලුව වන්නේ ආනයන කරන භාණ්ඩ අඩු මිලට දේශීය වෙළෙඳපොළට පැමිණීමයි. දැන් රුපියල බාල්දුවීම නිසා ආනයනය කරන භාණ්ඩ දේශීය වෙළෙඳපොළට ආවත් ඒවායේ මිල වැඩිය. මේ නිසා ඒවා සමඟ තරග කරන්නන්ට දේශීය නිෂ්පාදකයන්ට හැකියාව තිබේ.

ශ්‍රී ලංකාවේද ඩොලර්වලින් මුදල් ඉතිරි කරන අය සිටිති. රුපියල බාල්දුවීම ඔවුන්ට වාසිදායකය. ඩොලර් රුපියල්වලට පරිවර්තනය නොකර ඩොලර්වලින්ම ඒවා ඉතිරිකර තබා ගැනීමෙන් ඔවුන්ට අනාගතයේ ඩොලර් එකකට වැඩි රුපියල් ප්‍රමාණයක් ලබා ගැනීමේ අවස්ථාව උදාවේ.

ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවලද ඩොලර්වලින් වැටුප් ලබන ශ්‍රී ලාංකිකයෝ සිටිති. රුපියලේ අගය බාල්දුවීමෙන් වැඩි රුපියල් අගයක් වැටුප් ලෙස ඔවුන්ට ලබා ගැනීමට පුළුවන් වේ.

මීට අමතරව රුපියලේ අගය බාල්දුවීම ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ටද වාසිදායක වේ. විදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔවුන් ශ්‍රී ලංකාවේදී මුදල් වියදම් කරන්නේ රුපියල්වලිනි. දැන් ඔවුන්ට අඩු ඩොලර් ගණනක් වැය කර හෝටල් කාමර ලබා ගැනීමටත් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමටත් අවස්ථාව සැලසේ.

රුපියල බාල්දුවීම භාණ්ඩ ආනයනය කරන ව්‍යාපාරිකයන්ට අවාසිදායක වන අතර දේශීය වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවාවල මිලද ඉහළ යෑමට එය හේතුවක් වේ. එසේ රජය විදේශ රටවලින් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීමේදීද මෙය අවාසිදායක ආකාරයට බලපායි. එසේම එය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත කෙරෙහිද අයහපත් ආකාරයට බලපායි. අපේ රටේ ආණ්ඩුව වරින් වර විදේශ රටවලින් ලබාගෙන ඇති ණය මුදල් වාර්ෂිකව ගෙවිය යුතුවේ. රුපියලේ අගය අවම වීම නිසා ණය වාරික මුදල් හා පොලිය ගෙවීම සඳහා වැඩි රුපියල් ප්‍රමාණයක් වැය කිරීමට සිදුවේ. එය අවාසිදායක තත්ත්වයකි.

රුපියල බාල්දුවීම නිසා භාණ්ඩ ආනයනය කරමින් සිටින ව්‍යාපාරිකයන්ට දැන් ඇමෙරිකන් ඩොලර් එකකට වෙනදාට වඩා වැඩිපුර ගෙවීමට සිදුවේ. අප පරිභෝජනය කරන භාණ්ඩවලින් සියයට පනහක් පමණ එක්කෝ සෘජුව විදේශ රටවලින් ආනයනික භාණ්ඩ වේ. නැතිනම් විදේශ රටවලින් ගෙනෙන අමු ද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරනු ලබන ඒවා වේ.

භාණ්ඩ ආනයන සඳහා ව්‍යාපාරිකයන්ට අමතර මුදලක් ගෙවීමට සිදුවීම භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යෑමට හේතුවේ. රුපියල බාල්දු වීම නිසා ව්‍යාපාරිකයන්ට විදේශ රටවලට ගෙවීමට සිදුවන අමතර වියදම ඔවුහු භාණ්ඩවල මිලට එකතු කර පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමට ක්‍රියා කරති. පසුගිය කාලයේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ශීග්‍රයෙන් ඉහළ ගිය අතර එය ඉතාමත් අයහපත් ආකාරයට රටේ ආර්ථිකය කෙරෙහි බලපෑවේය. නමුත් පසුගිය සති දෙක තුළ තෙල් මිල පහළ යෑම යම් අස්වැසිල්ලක් විය. නමුත් දැන් තෙල් සහ ගෑස් ආනයනය කිරීම සඳහා වැඩි රුපියල් ප්‍රමාණයක් ගෙවීමට සිදුවන නිසා නැවත වතාවක්ද දේශීය වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑමට ඉඩ තිබේ. එමෙන්ම තෙල්වල සහ ගෑස්වල මිල ඉහළ ගියහොත් එය තවත් වටයකින් භාණ්ඩ හා සේවා ගණනාවකට මිල ඉහළ යෑමට හේතුවේ.

සාමාන්‍යයෙන් අපේ රට ආනයනය අපනයනය අභිභවා යයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් විදේශ විනිමය සංචිත අප සතුව පවතින්නේ අවම ප්‍රමාණයකි. රුපියලේ අගය බාල්දුවීම විදේශ විනිමය සංචිත කෙරෙහි තවදුරටත් අයහපත් ආකාරයට බලපායි.

ලෝක වෙළෙඳපළේ තෙල් මිල අඩුවීමෙන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ත්‍රස්ත ක්‍රියා අවම වීමෙන් රටේ ආර්ථිකයේ සහ ජන ජීවිතයේ කිසියම් ස්ථාවරයක් ගොඩනැඟෙමින් පැවැතිණි. රුපියලේ අගය විශාල අගයකින් බාල්දුවීමෙන් සහ ත්‍රස්තවාදී ක්‍රියා වැඩිවීමෙන් ස්ථාවර වෙමින් පැවැති ආර්ථිකයට හා ජනජීවිතයට අයහපත් බලපෑමක් පසුගිය සමයේ එල්ල වී තිබිණි.

මූලාශ්‍රය – මව්බිම

වැඩබිම

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435