රේගු වෘත්තීය සමිති සටන දිනයි

මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් තනතුරින් ඉවත් කළ රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය වෙනුවෙන් රේගුවේ සියලූ වෘත්තිය සමිති පෙරට ආවේය. අසාධාරණව තනතුරින් ඉවත් කිරීමට ලක් වූ ඇය වෙනුවෙන් මේ වෘත්තීය සමිති අදහස් දැක්වූවා පමණක් නොව වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග පවා දියත් කරමින් චාර්ල්ස් මහත්මිය ඉවත් කිරීම පිටුපස ඇති කතාව ද රටට කියා සිටියේය. කරුංකා, ගම්මිරිස්, බීඩි කොළ ජාවාරම් සහ පූට්ටු වාහන ව්‍යාපාරිකයන් ඇයට කළ තර්ජන ගැන කතා රටටම ඇසෙන්නට මේ රේගු නිලධාරීහු කියා සිටියහ. මේ නිසා මුළු රටේම අවධානය පසුගිය දිනවල යොමු වූයේ මේ ඊනියා යහපාලනයේ ගොදුරක් බවට පත් වූ රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය දෙසටය. රේගු නිලධාරීන් සැම කෙනෙක්ම පාහේ කියන්නේ ඇය අවංක නිලධාරිනියක් බවයි. එවැනි නිලධාරිනියක් ඉවත් කළේ ජාවාරම්කරුවන්ගේ වුවමනාවට දේශපාලන බලපෑම් මත බව රේගුවේ සියලූ වෘත්තීය සමිති රටට කියා සිටි කරුණයි.

පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය වෙනුවෙන් රේගුවේ සියලූ වෘත්තීය සමිති පෙරට පැමිණ දියත් කළ සටනට වෙනත් වෘත්තීය සමිති පවා එක් වීමට සූදානමින් සිටියේය. රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව රේගු වෘත්තීය සමිති සතියක පමණ කාලයක සිට දියත් කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිසා රේගු කටයුතු අඩපණ විය. කන්ටේනර් නිෂ්කාශනය බොහෝ දුරට ඇනහිටිණි. රේගුවේ ආදායම් පවා අහිමි වී රාජ්‍ය ආදායමට පාඩු සිදු විය. භාණ්ඩ නිෂ්කාශනය බොහෝ දුරට අඩපණ වීම නිසා රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වීමේ අවදානමක් ද මතුව තිබුණි. ඒ නිසා පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය ස්ථාන මාරු කිරීමට වගකිවයුත්තන් ඒ නිසා රටට විශාල ආර්ථික හානියකට ද මග පාදා තිබුණි. මේ නිසා මුලින් දැඩි ස්ථාවරයක සිටි මුදල් ඇමැති මංගලට අකමැත්තෙන් නමුත් පසුව මුදුමොලොක් වීමට සිදු විය. ඇමැති මණ්ඩලයට ගොස් ඇය ඉවත් කිරීම ඉල්ලා අස් කරගන්නට සිදු විය. ඒ අනුව අවසානයේ පී.එස්.එම්. චාර්ල්ස් මහත්මියව නැවත රේගු අධ්‍යක්ෂ ජනරාල් පුටුවේ හිඳුවන්නට ද සිදු විය. මෙලෙස රේගු වෘත්තීය සමිති සටන දිනුවේය. එහෙත් එය තාවකාලිකව විය හැකිය. හේතුව එහෙත් ඇය ඉවත් කිරීමේ අනතුර පහව ගොස් නැති බව අප අමතක නොකළ යුතුය.

රේගු වෘත්තීය සමිති සටනට සහාය පළ කරමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ සහ තොග වෙළෙන්දෝ ද පෙරට පැමිණියහ. ඔවුන් ද මාධ්‍ය හමුවක් පවත්වා රේගු වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය නිසා ඔවුන්ට සිදුව ඇති බලපෑම ගැන රටට කරුණු කියා සිටියේය. ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇති වී බදු මිල ඉහළ යෑමේ අවදානමක් ද මතුව ඇති බව ඔවුහු කියා සිටියහ. ඒ අනුව පෙරේදා (05 දා) පිටකොටුවේ තොග වෙළෙඳසල් වැසී ගියේය. එනම් රේගු වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ග හේතුවෙන් පාඩු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ සහ තොග වෙළෙන්දෝ තමන් මුහුණපා සිටින කනගාටුදායක තත්ත්වය කෙරෙහි රජයේ අවධානය වහා යොමු කරන ලෙස බලකරමින් එදින කොළඹ පිටකොටුවේ තොග වෙළෙඳසල් වසා දමා ඔවුහු විරෝධතාවක නිරත වූහ. වසා දමා තිබූ එම වෙළෙඳසල් ඉදිරිපිට එමගින් එදිනෙදා ජීවිකාව කරගෙන යන පිරිස් වැඩ නැතිව රැුඳී සිටි අයුරු දැක ගත හැකි විය. රටට තිබෙන ප‍්‍රශ්න මදිවාට රජය නිකන් අනවශ්‍ය ප‍්‍රශ්නයක් ද ඇති කරගත් බව බොහෝ දෙනෙක් කියා සිටියහ. එහෙත් මෙහි බලපෑම සහ පීඩාව විඳීමට සිදුවන්නේ අතිමහත් බහුතර මහජනතාවටය. ඒ අනුව මෙය අවසානයේ සියලූ ජනතාවට බලපාන කරුණක් බවට පත්ව තිබිණි. මේ නිසා රටේ සියලූ දෙනා මේ ගැන සිටියේ කේන්තියෙනි. තරහෙනි. ආණ්ඩුව කෙරෙහි ක‍්‍රමයෙන් අප‍්‍රසාදය ද නැගී එන්නට විය. මුලින් දැඩිව සිටි මංගල පසුව මුදුමොලොක් වන්නට සිතුවේ මේ නිසා විය හැකිය.

රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මියව පෙරේදා නැවත පත් කිරීමට පෙර මුදල් ඇමැති මංගල සමරවීර මහතා සමග රේගු වෘත්තීය සමිති නියෝජිතයින් පැවැත්වූ සාකච්ජාවක් අසාර්ථක වී තිබිණි. චාල්ස් මහත්මියව රේගු අධ්‍යක්ෂක ජනරාල් ධුරයෙන් ඉවත් කර විශ‍්‍රාමික නාවික හමුදා නිලධාරියකු එම තනතුරට පත් කිරීමට කැබිනට් මණ්ඩලයට පසුගිය සතියේ පැවැති රැස්වීමේ දී යෝජනා කර තිබිණි. එහෙත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙයට එකඟ වී නැති බව ද දැනගන්නට ඇත. පසුව රේගු වෘත්තීය සමිති සටන හමුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (5) පැවැති කැබිනට් රැුස්වීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර රේගු අධ්‍යක්ෂක ජනරාල් චාර්ල්ස් මහත්මිය ඉවත් කර විශ‍්‍රාමික නාවික හමුදා නිලධාරියකු පත් කිරීමට ගත් තීරණය ඉවත් කර ගන්නා බව ප‍්‍රකාශ කළ බවට මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අතරම පී.එස්.එම්. චාර්ල්ස් මහත්මියව ඉවත් කිරීමට හේතු වූයේ යයි කියන හේතු ද මංගල සමරවීර මුදල් ඇමැතිවරයා විසින් ඇමැති මණ්ඩලයට කියා ඇති බව ද දැන ගන්නට තිබේ.

පෙරේදා පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය නැවත රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කළ බවට ප‍්‍රකාශ වුවද රේගුවට මුදල් අමාත්‍යාංශයෙන් නිල දැනුම් දීමක් ලැබී නොතිබුණු නිසා එවැනි දැනුම් දීමක් ලැබෙන තෙක් සිය වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය දිගටම කිරීමට රේගු වෘත්තීය සමිති මුලින් තීරණය කර තිබිණි. ඒ වන විට රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය ඉවත් කිරීමට එරෙහිව රේගු වෘත්තීය සමිති සතියක පමණ කාලයක සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරතව සිටියේය. කවරක් නමුත් ඒ වන විටත් මාධ්‍ය වාර්තා කළේ රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කටයුතු කළ පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය යළි එම ධුරයේ පිහිටුවීම සඳහා එදින (05) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණු බවයි. මුලින් නිල දැනුම් දීමක් නොතිබුණත් පසුව මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ මොහොමඞ් අලි හසන් මහතා ඒ සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවට නිල දැනුම් දීමක් කිරීමෙන් පසු සිය වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය එදින රාත‍්‍රියේ අවසන් කළ බව රේගු අධිකාරි සංගමයේ සභාපති උදිත ජයසිංහ මහතා මේ ලියුම්කරුට කීවේය. මේ අනුව පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය ඊයේ (06)උදේ මුදල් ඇමැති මංගල සමරවීර මහතා හමු වූ අතර මුදල් ඇමැතිවරයා මේ සිද්ධිය ගැන ඊයේ සවස 3.00 ට මාධ්‍ය හමුවක් ද පැවැත්වීය.

පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය නැවත රේගු අධ්‍යක්ෂ ජනරාල් පුටුවේ වාඩි කළත් රේගු වෘත්තීය සමිති පෙරට පැමිණ රටට කියූ කතා ඉතා බරපතළය. ඒ අනුව රේගු වෘත්තීය සමිති කියන දේශපාලන අනුහස් සහිත කරුංකා, ගම්මිරිස්, බීඩි කොළ ජාවාරම්කරුවන් සහ පූට්ටු වාහන ව්‍යාපාරිකයන් ඇයට එරෙහිව දිගටම බලපෑම් කරනු ඇතැයි ද සිතිය හැකිය. ඒ බලපෑම් වෙනත් ස්වරූපයන්ගෙන් ද පැමිණිය හැකිය. ඒ අනුව එම බලපෑම් ඇතැම් විට මුදල් අමාත්‍යාංශයේ පැත්තෙන්ම පැමිණිය හැකිය. උදාහරණයක් ලෙස පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය සිය රාජකාරි වගකීම් හරි හැටි ඉටු නොකළ බව සහ රේගුවේ ආදායම් ඉලක්ක හරි හැටි සපුරා නොගත් බව වැනි කරුණු ඉදිරිපත් කළ හැකිය. එහෙත් ඒ සඳහා රටේ ආර්ථික තත්ත්වය සහ රජයේ බදු ප‍්‍රතිපත්තිවල බලපෑම ද සැලකිය යුතුව තිබේ. එනම් රට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය හමුවේ වාහන ආනයනය ඇතුළු ආනයන භාණ්ඩ වෙනුවෙන් පනවා ඇති බදු ඉහළ නැංවීම නිසා එම භාණ්ඩ ආනයන අඩු වී ඇත්නම් එමගින් අයවන රේගු බදු ආදායම ද නිසැක වශයෙන්ම අඩු වේ. රේගු ආදායම් ඉලක්ක සපුරා ගැනීමට මේවා අහිතකර ලෙස බලපානු ලබයි. ඒ නිසා ඒ සියල්ල රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය පිට පටවන්නට පුළුවන් කමක් නැත. කෙසේ හෝ දැන් රටට අවශ්‍ය කරන්නේ රේගු වෘත්තීය සමිති රටට කියා සිටි ඔය කියන ජාවාරම්වලට එරෙහිව දියත් කළ රේගු පරීක්ෂණ නිසි පරිදි සිදු කිරීමයි. එසේ පරීක්ෂණ නිසි පරිදි සිදු කර එම ජාවාරම්කරුවන්ට එරෙහිව සහ ඊට සහය දුන් රේගු නිලධාරීන් සිටී නම් ඔවුන්ට ද එරෙහිව අවශ්‍ය නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමයි. රේගු වෘත්තීය සමිති කියන ඔය ජාවාරම්කරුවන්ට රේගු නිලධාරීන්ගේ සහයෙන් තොරව එම ජාවාරම් කිරීමට ද පුළුවන්කමක් නැත. ඒ නිසා මේ පිටුපස ඇතැම් රේගු නිලධාරීන් ද සිටිනවා විය හැකිය. ඒ නිසා ඔවුන්ට එරෙහිව ද පරීක්ෂණ සිදු කළ යුතුය. ඒ අනුව රේගුව හරියට වැඩ කරන්නේ නම් රේගු වෘත්තීය සමිති කියන රටට බදු මුදල් අහිමි කරන කරුංකා, ගම්මිරිස්, බීඩි කොළ සහ පූට්ටු වාහන ජාවාරම් කිරීමට අපහසු වනු ඇත. මේ නිසා පී.එස්.එම්. චාර්ල්ස් මහත්මියට එරෙහිව ඇති තවමත් පහව ගොස් නැති අනතුර රේගු වෘත්තීය සමිති විසින් හඳුනාගෙන ඇති බවට කිසිම සැකයක් නැත. එසේ නම් එයට එරෙහිව ගත හැකි හොඳම ක‍්‍රියාමාර්ගය වන්නේ ඔවුන්ම කියන එම ජාවාරම් රේගුව හරහා සිදු නොවීමට ගත හැකි සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගැනීමත් රේගුව පැත්තෙන් තවදුරටත් තිබෙන අඩුපාඩු හදා ගැනීමට පියවර ගැනීමත්ය. ඒ සඳහා ද රේගු වෘත්තීය සමිති එක්සත්ව, එක්සිත්ව ක‍්‍රියා කිරීම අතිශය වැදගත්ය.

චාල්ස් මැතිනිය යකඩ ගැහැනියක්  එහෙත් රේගුවේ මාෆියාව බලවත්  – මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර

රේගුව හරහා මේ ජාවාරම් කිරීම මහින්ද රාජපක්ෂ කාලෙදීයි පටන් ගත්තේ. අපේ ආණ්ඩුව පත් වුණාට පසුව අපේ ආණ්ඩුවේ ඇතැම් අයත් මේවාට සම්බන්ධ වී ඇති බවට ඉඟි තිබෙනවා. එහෙත් පරීක්ෂණවලින් තහවුරු වෙන තෙක් ඒ නම් හෙළි කරන්න බැහැ. පරීක්ෂණවලින් තහවුරු වුණොත් ඒ නම් එදාට හෙළි කරනවා. චාල්ස් මැතිනිය යකඩ

ගැහැනියක්. එහෙත් ඇයටත් වඩා මේ මාෆියාව බලවත් ඒකයි ඇයටත් වඩා ශක්තිමත් කෙනෙක් පත් කරන්න අදහස් කළේ. එහෙත් ඒ නිසා ඊට වඩා ප‍්‍රශ්න ඇති වෙන නිසා මම ඒ තීරණය ඉවත් කර ගත්ත. දැන් ඇයව නැවත පත් කර තිබෙනවා. ඇය මාසයක් දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දේවි පරීක්ෂණවල ප‍්‍රගතිය ගැන. මෙතුමිය නාවික අංශයක් රේගුවට ඉල්ලා තිබෙනවා. එයත් අපි ලබා දීමට කටයුතු කරනවා. අපි කිසි විටෙකත් එතුමියට බලපෑම් කළේ නෑ.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (06)සවස මුදල් අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුව අමතමින් මෙසේ කීවේය.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (06) සවස මුදල් අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුව අමතමින්. චාල්ස් මහත්මියද පසෙකින් වෙයි.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435