ලංකාවේ කම්කරු පංති සටනේ ‘මැලේ’ සෙබළිය

මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට එරෙහිව කොළඹ වෑකන්ද ප්‍රදේශයේ වාමාංශික රැස්වීමකි.

එවක වාමාංශික දේශපාලන වේදිකාවේ ඉතා ජනප්‍රිය කථිකයකුව සිටි එච්.ජී.එස්.රත්නවීර එම රැළිය අමතා කතා කරමින් සිටී.

කථිකයා විස්තර කරමින් සිටින්නේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත්කරනු ලැබීම මගින් අනාගතයේ ඇතිවිය හැකි අනතුර පිළිබඳවය. සිංහල සහ දමිළ භාෂා දෙකම රාජ්‍යභාෂා බවට පත්කළ යුතුය යන්න ඔහුගේ ස්ථාවරය විණි.

එම රැස්වීම පෙරට යමින් තිබෙන අතරවාරයේ කථිකයාගේ අදහස් අනුමත නොකරන “සිංහල පමණක් රාජ්‍ය භාෂාව විය යුතුය” යන මතයේ සිටින තැනැත්තෙක් හදිසියේම වේදිකාව අසලට පැමිණ දිගින් දිගටම ඔහුට බාධා කරයි.

එම ක්‍රියාව දෙස මඳ වේලාවක් බලා සිටි ශ්‍රී ලාංකික මැලේ කාන්තාවක් වහා ඉදිරිපත්ව එම බාධාකරන්නා අල්ලා මෙල්ලකොට නෙරපා හරින්නීය.

රැස්වීමට සවන් දෙමින් සිටි ජනතාව “මයිමූන්සහෝදරියට ජයවේවා!”යි(Maimoon) හඬ නගති.

එහෙත් ස්වල්ප වේලාවකින් සිය සහායක කණ්ඩායමක් ද කැටුව එහි ළඟා වූ ඉහත කී පුද්ගලයා රැස්වීමේ සිටි පිරිසට පහර දී එය කඩාකප්පල් කරයි.

එම ගැටුම “මයිමූන්සහෝදරිය” ලෙස ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය තුළ හඳුන්වන ලද කම්කරු කාන්තාවගේ සටන්කාමිත්වය ප්‍රදර්ශනය කෙරුණු එක් අවස්ථාවක් බව ඉහත කී රැස්වීමේදී ඇය ක්‍රියාකරන ලද ආකාරය ගැන මතක සටහනක් තැබූ එවක වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමියකු වූ ප්‍රේමලාල් කුමාරසිරි සඳහන් කළේය.

කාන්තාවන් දේශපාලන වේදිකාවල කතා පැවැත්වීම පමණක් නොව අඩුතරමින් එවැනි වේදිකාවක හිඳ ගැනීම පවා බෙහෙවින් දුර්ලභ කාලයක ‘මුස්ලිම් කාන්තාවක්’ වූ ඇය ඉහත කී පරිදි දේශපාලන රැස්වීමක කථිකයන් ආරක්ෂා කිරීම සඳහා සටන්කාමීව ඉදිරිපත්වීම ඉතාම දුර්ලභ දසුනක් විය.

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයෙහි සිංහල නොවන වෙනත් ජනවාර්ගික කණ්ඩායම්වලට අයත් කාන්තාවන් අතරින් කම්කරු හෝ වෙනත් දේශපාලන සටන්වලට හවුල් වී ඇති සංඛ්‍යාව ස්වල්පයකි.

විසිවෙනි සියවසේ තුන්වෙනි දශකයේ (1930) පටන් වාමාංශික දේශපාලනයට සහ කම්කරු සටන්වලට සම්බන්ධ වූ ‘මයිමූන්’ එවැනි සටන්කාමී අතලොස්සක් කාන්තාවන් අතර එක් චරිතයකි.

‘මයිමූන්’ දේශපාලනමය වශයෙන් නැගී සිටියේ දහනව වැනි සියවසේ අගභාගයේ පටන් පුබුදුවෙමින් පැවති මුස්ලිම් පුනර්ජීවන ව්‍යාපාරය මගින් සකස් කරන ලද සමාජ චින්තනයේ ආභාෂයෙනි.

හෙන්ඩර්සන්ස් (Hendersons) සමාගමේ කම්කරු කාන්තාවක් වූ ඇය, කොම්පඤ්ඤ වීදිය,වෑකන්ද ප්‍රදේශයේ මැලේ ප්‍රජාව අතරින් බිහි වූ සටන්කාමී කාන්තාවක් වූ අතර, දෙවන ලෝක මහා සංග්‍රාමය අවධියේ පටන් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් වෘත්තීය සමිති සහ දේශපාලන අරගලයන්හි නිරත වූවාය.

ඔරාබි පාෂා සහ සිද්දි ලෙබ්බේ

දහනව වැනි සියවසේ අගභාගයේ සහ විසිවෙනි සියවසේ මුල්භාගයේ සිදුවීම් කිහිපයක් එවක ලංකාවේ (Ceylon) ජීවත් වූ ‘මුසල්මාන්’ ප්‍රජාව අතර එක්තරා දේශපාලන ප්‍රබෝධයක් ඇති කිරීමට හේතුවිය.

එයින් පළමුවැන්න ඊජිප්තුවෙන් පිටුවහල් කරන ලද ඔරාබි පාෂාගේ (1839 -1911) සම්ප්‍රාප්තියයි.

ඊජිප්තු යුද හමුදාවේ කර්නල්වරයකු වූ ‘අහ්මඩ් ඔරාබි පාෂා’ එම හමුදාවේ ඉහළ පදවි තුර්කි ජාතික ඒකාධිකාරියක් වීමට එරෙහිව කැරලිගැසීම සහ ‘ජාතිකවාදී සංවිධානයක්’ ගොඩනැගීම ඔහු එරටින් පිටුවහල් කිරීමට හේතු වී ඇත.

පළමුව, යුද හමුදා අධිකරණයක් මගින් ඔහු මරණීය දණ්ඩනයට යටත් කරනු ලැබුවද අනතුරුව එහි වෙනසක් සිදුකරමින් ලංකාවට (Ceylon) පිටුවහල් කරනු ලැබිණි.

ඔරාබි පාෂා 1883 දී ලංකාවට ළඟාවූ අතර, 1901 දී ආපසු සියරට බලා යනතෙක් කොළඹ සහ මහනුවර නගරවල ජීවත් විය.

කොළඹ සහිරා විද්‍යාලය

එම කාලය ඇතුළත ඔහු කොළඹ සහ මහනුවර ජීවත්වී ඇති අතර ලංකාවේ සිටිය දී මුස්ලිම් ජනයාගේ අධ්‍යාපනය නංවාලීම වෙනුවෙන් සිය අවධානය යොමුකර ඇත.

මුස්ලිම් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ආරම්භ කොට ඇති කොළඹ සහිරා විද්‍යාලය (1892) එම දිරිගැන්වීමේ එක් ප්‍රතිපලයක් වේ.

සහිරා විදුහල ඉතිහාසගත වී තිබෙන්නේ දහනව වෙනි සියවසේ අගභාගයේ සහ විසිවෙනි සියවසේ මුල්භාගයේ දී ලංකාවේ ජාතික නිදහස් ව්‍යාපාරයක අවශ්‍යතාව පිළිබඳ මතවාදය දැල්වූ නායකයකු ලෙස සැලකෙන ‘සිද්දි ලෙබ්බේ’ (මොහොමඩ් කාසිම් සිද්දි ලෙබ්බේ) සහ ඔරාබි පාෂාගේ ප්‍රයත්නයක ප්‍රතිපලයක් වශයෙනි. මෙයින් වසර 127 ට පෙර 1897 දී සහිරා විද්‍යාලය ආරම්භ කිරීමේ උත්සවයට පවා ඔරාබි පාෂා සහභාගී වී ඇත.

එම වකවානුවේ සිදුකරන ලද මෙහෙය වෙනුවෙන් ඔරාබි පාෂා නමින් කොළඹ නගරයේ මාවතක් ද නම්කරනු ලැබ ඇත.

සිංහල බෞද්ධ සහ දමිළ හින්දු නායකයන් මෙන්ම ඉහත කී මුස්ලිම් නායකයන් ස්වීය වූ බුද්ධිමය ප්‍රබෝධයක අවශ්‍යතාව අවධාරණය කරනු ලැබ තිබෙන්නේ යටත්විජිත ලංකාවේ කිතුනු පාලන බලය, තමන්ගේ ආගමික සම්ප්‍රදායයන් ආක්‍රමණය කරන්නේය යන තේරුමෙනි.

ජාතික නිදහස් ව්‍යාපාරයේ පුරෝගාමීන්

අනගාරික ධර්මපාලගේ සිංහල බෞද්ධ, ආරුමුග නවලර් සහ පොන්නම්බලම් සහෝදරයන්ගේ හින්දු පුනර්ජීවන මෙන්ම සිද්දි ලෙබ්බේ සහ ඔරාබි පාෂා විසින් නායකත්වය දෙන ලද මුස්ලිම් බුද්ධිමය ව්‍යාපාරය පසුකාලීන ලංකාවේ ජාතික නිදහස් ව්‍යාපාරයට සරුපස සකස් කරන ලදැයි ආචාර්ය කුමාරි ජයවර්ධන තක්සේරු කරන්නීය. (ලංකාවේ කම්කරු පන්ති ව්‍යාපාරයේ නැගීම – කුමාරි ජයවර්ධන)

එහෙත් අධ්‍යාපන වරප්‍රසාදය සහිත පිරිමි දරුවන් කෙසේවෙතත්, මෑතක් වනතෙක් කාන්තාවන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙන් ඈත්කර තැබූ පරිසරයක, විධිමත් අධ්‍යාපන පසුබිමක් නොමැති ‘මයිමූන්’ වැනි මුස්ලිම් කාන්තාවක් වෘත්තීය සමිති සහ දේශපාලන කටයුතුවලට සක්‍රීය ලෙස මැදිහත්වීම ඇතැමුන් තුළ ඇති කරනු ලැබ තිබෙන්නේ එක්තරා කුතූහලයකි.

‘මයිමූන්’ වෘත්තීය සමිති ක්‍රියාකාරිනියක මෙන්ම ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකාවක් ද වූවාය.

1940 දශකයේ පටන් දේශපාලන කටයුතුවල නිරතවෙමින් සිටි මයිමූන්, 1956 බණ්ඩාරනායක රජය විසින් සිංහල රාජ්‍යභාෂා පනත ඉදිරිපත් කරන ලද අවස්ථාවේ ලංකා සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය විසින් ඊට විකල්පයක් වශයෙන් ඉදිරිපත් කරන ලද “භාෂාද්වයට සමතැන් දීමේ” පිළිවෙත වෙනුවෙන් සටන් වැදුණාය.

“එක භාෂාවක් රටවල් දෙකක්- භාෂා දෙකක් එක රටක්”යන වාමාංශික සටන්පාඨය වෙනුවෙන් පෙනී සිටි ‘මයිමූන්’ එම මතවාදයට එරෙහි කණ්ඩායම් සමඟ ශාරීරික වශයෙන් ගැටෙමින් ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පවා එඩිතර විනැයි ලංකාවේ වාමාංශික සහ කම්කරු සටන් ඉතිහාසය පිළිබඳව ලියන ප්‍රේමලාල් කුමාරසිරි සඳහන් කරයි.

‘මයිමූන්’ එම අවධියේ වෙනත් කම්කරු සටන්වලට සහභාගී වෙමින් සහ ඒවාට නායකත්වය දෙමින් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළාය.

දේශපාලන කැපවීම

විශේෂයෙන්ම පාර්ලිමේන්තු සහ කොළඹ නගරසභා මැතිවරණවලදී ‘මයිමූන්’ වාමාංශික දේශපාලනඥයන් වෙනුවෙන් පාරට බැස ගෙයින් ගෙට ගොස් ප්‍රචාරක කටයුතුවල නිරතවූවාය.

එපමණක් නොව, මයිමූන්ගේ දේශපාලන ජීවිතය අගය කරන්නන් සිහිපත් කරන ඇය සතුවූ සුවිශේෂී කුසලතාවක් වන්නේ, දේශපාලන වේදිකාවලට නැග සිංහල සහ දමිළ භාෂාවෙන් ඇය ව්‍යක්ත ලෙස මහජනතාව ආමන්ත්‍රණය කළ අපූරු වාග් විලාශයය.

‘මයිමූන්’ අභීත සහ වේගවත් කථිකත්වයක් සහිත කාන්තාවක් (A daring and dynamic speaker) ලෙස ද අගය කරනු ලැබ ඇත.

‘මයිමූන්’ ඉහළ පාසල් අධ්‍යාපනයක් ලැබ නැතත්, ආකර්ෂණීය වාග්මාලාවක් භාවිත කරමින්,මහජනයා බැඳ තබා ගනිමින් අදහස් දැක්වූ වේගවත් චතුර කතා ශෛලියක් සහිත කාන්තාවක් විනැයි” ඇයට සවන් දුන් වාමාංශික නායකයෝ පවසති.

යුද්ධය නිමවීමෙන් අනතුරුව කොළඹ නගරය ආශ්‍රිතව දියත් කෙරුණු වැඩවර්ජනවලදී පුරෝගාමී කාන්තා චරිත දෙකක් සෙසු කාන්තාවන් අභිබවා පෙරට පැමිණ ඇත.

ඉන් එක් කාන්තාවක් ‘පොන්සිනාහාමි’ වන අතර දෙවැන්නිය ‘මයිමූන්’ය.

‘මයිමූන්’ ඇය රැකියාව කළ කර්මාන්තශාලාව තුළ සහ කොළඹ නගරයේ වැඩ කරන ජනතාව කෙරෙහි පමණක් නොව ‘වෑකන්ද’ ප්‍රදේශයේ සිය ප්‍රජාව කෙරෙහිත් විශාල දේශපාලන බලපෑමක් සහිත චරිතයක් ද වූවාය.

‘පොන්සිනාහාමි’සහ ‘මයිමූන්’ යන දෙදෙනාගේම තවත් විශේෂත්වයක් වී තිබෙන්නේ, ඔවුන් මාක්ස්වාදී දේශපාලන පන්තිවලට සහභාගී වෙමින් සිය දේශපාලන දැනුම වර්ධනය කර ගැනීමට යොමුවීම යයි ආචාර්ය කුමාරි ජයවර්ධන පවසයි.

‘මයිමූන්’ගේ දේශපාලන සහභාගිත්වය කරුණු දෙකක් නිසා සම්ප්‍රදායික ශ්‍රී ලාංකික සමාජයට නව පණිවුඩයක් විය.

එක් අතකින් ඇය පෙරට එන්නේ පොදුවේ කාන්තා දේශපාලන සහභාගිත්වය අවම සමාජ පරිසරයක් තුළය.

දෙවනුව, ඇය කාන්තාවන්ගේ සමාජමය සහභාගිත්වය සීමා කරනු ලබන තමා අයත් මුස්ලිම් සමාජයේ දෘෂ්ටිමය පසුබිමට අභියෝගයක් වූවාය.

හෙත් ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තා සහභාගිත්වය තවමත් පවතින්නේ ඉතාම පහළ මට්ටමකය. නිදහසින් පසු ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙක් (ෆේරියල් අෂ්රෆ් සහ අන්ජාන් උම්මා) පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති අතර, දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරියන් දොළොස් දෙනා අතර එක් මුස්ලිම් කාන්තාවක හෝ නැත.

මූලාශ්‍රය – bbc

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435