ලංකාවේ කාන්තාවන්ට එරෙහි අපරාධ ගැන ඔබ දන්නේ මොනවාද ?

ලංකාවේ දිනකට කාන්තාවන්ට එරෙහිව වාර්තා වෙන ලිංගික අපරාධ ගණන 7 ක් පමණ වෙනවා. එසේම විවිධ හේතූන් මත වාර්තා නොවන සිද්ධීන්ද බොහෝ තිබෙනවා. පසුගියදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වූ දත්ත අනුව පසුගිය වසර 5 තුළ වැඩිහිටි කාන්තාවන්ට එරෙහිව ලිංගික අපරාධ 13000කට වැඩි ගණනක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා. මීට අමතරව ගැහැණු ළමයි සම්බන්ධයෙන් ස්ත්‍රී දූෂණ සිද්ධි 7000කට වැඩි ගණනක් පසුගිය වසර 5තුළ පොලිසියට වාර්තා වී තිබෙනවා. එසේම ළමයින් සම්බන්ධ අනෙකුත් ලිංගික අපරාධ වැරැදි 10,000ක් පමණ වාර්තා වී තිබෙනවා. මේවායින් බහුතරයක දී අපරාධයට ලක් වී තිබෙන්නේ ගැහැණු දරුවනුයි. මේ අනුව බැලූ කල පෙනෙන්නේ පසුගිය වසර 5 ඇතුළත කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට එරෙහිව ලිංගික අපරාධ 30,000කට ආසන්න ගණනක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා.

එසේ වුවත් අප දන්නා යථාර්ථය වන්නේ ඇතැම් කාන්තාවන්, ගැහැණූ ළමුන් මෙන්ම පිරිමි ළමුන් ද තමන්ට වෙන ලිංගික අපරාධ ගැන පැමිණිලි කරන්නේ නැති බවයි. බොහෝ විට ලැජ්ජාව, බය, සංස්කෘතික සීමාවන්, නීතිය පිලිබඳ විශ්වාසයක් නොමැති වීම, දුප්පත්කම සහ වෙනත් කරුණු නිසා ලංකාවේ ඇතැම් එවැනි සිද්ධි විශාල ප්‍රමාණයක් වාර්තා වෙන්නේ නැහැ .

එයට අමතරව පොලිසියට පැමිණිලි කරන බොහෝ දෙනෙකුට ද යුක්තිය ඉෂ්ට වෙන්නේ නැහැ. පසුගිය වසර 4ක් ඇතුළත (2015-2018) අතර කාලයේ උසාවියෙන් වැරැදිකරුවන් කරනු ලැබූ අය අතරින් කාන්තාවන්ට, ළමුන්ට හා අනෙකුත් අයට එරෙහි ලිංගික අපරාධ සම්බන්ධයෙන් වැරැදිකරුවන් කරන ලද ප්‍රතිශතය බන්ධනාගාර සංඛ්‍යාලේඛන පදනම් කර ගෙන අප ගණනය කර බැලුවා. අපට පැහැදිලි වුනේ පුද්ගලයකු වරදකරුවකු කර ඇත්තේ ළමුන් සම්බන්ධ ලිංගික අපරාධ නඩුවල දී අඩුම තරමින් 7% අඩු ගණනක දී බවත්, කාන්තාවන් සම්බන්ධයෙන් 13%කට අඩු ගණනක දී බවත්ය. වැරැදිකරුවන් නීතියෙන් ගැලවීම නිසා මෙවැනි අපරාධ දිගින් දිගටම වැඩිවීමත්, මිනිසුන්ට නීතිය සම්බන්ධයෙන් ඇති විශ්වාසය නැතිව යාමත් සිදු වෙනවා.
එසේම ලිංගික අපරාධ සම්බන්ධයෙන් පොලිසිය සහ උසාවි වෙත යෑමේ දී ඒ ආයතන තුළත් ලිංගික අපරාධවල වින්දිතයන් කෙරේ සංවේදී ක්‍රමවේදයන් නැහැ. බොහෝ වින්දිතයන්ගේ අත්දැකීම වන්නේ උසාවි සහ පොලිසිය තුළ ද එම අත්දැකීම වරින් වර විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කිරීමට සහ ප්‍රශ්න ඇසීමට වසර ගණනාවක් තිස්සේ කිරීමට සිදු වීමෙන් බොහෝ මානසික පීඩාවලට ලක් වීමයි. ඇතැම් වින්දිතයන් කියන්නේ තමන්ට “දෙවැනි වරට උසාවිය තුළ සිදු වූ ලිංගික අපරාධයට ලක් වීමට සිදු වන බවයි”.

මෙවැනි දෑ සිදු නොවීමට නම් එවැනි අපරාධවලට ලක් වී ඒ ගැන පැමිණිලි කරන කාන්තාවන් සම්බන්ධයෙන් වඩාත් සංවේදී වැඩපිළිවෙලක් තිබිය යුතුයි. ඒ අයගේ මානසික තත්ත්වය තේරුම් ගැනීමත්, අවශ්‍ය මානසික සහාය ලබා දීමත් නීතිය හසුරුවන ආයතනවලින් පළමුව සිදු කළ යුත්තේ මේ නිසයි.

ලිංගික අපරාධවලට ලක් වෙන බොහෝ දෙනා මානසික වශයෙන් වැටීමකටත් ලක් වෙනවා. සිදු වෙන ඇතැම් දේවල් ප්‍රකාශ කරන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙසම ඇතැම් විට ලබා දෙන ප්‍රකාශ පරස්පර වීමේ ඉඩ ප්‍රස්ථාවන් ද තිබෙනවා. එහි ප්‍රතිඵලය වැරැදිකරුවන් නිදහස් වීමත් සිදු වෙනවා. එසේම තවත් කාරණයක් වන්නේ ලිංගික අපරාධය සිදු වී වසර ගණනාවකට පසුව ප්‍රකාශ ලබා දීමේ දී හරිහැටි මතකයක් නැති වීම නිසා පරස්පර ප්‍රකාශ කිරීමයි. මේ නිසා ද වැරැදිකරුවන් නිදහස් වෙන අවස්ථා තිබෙනවා.

එසේම තවත් අවස්ථාවල අප දැක තිබෙන්නේ ලිංගික අපරාධවල වින්දිතයන් වන ගැහැණු දරුවන්ගේ පාසැල් ගමන නැවැත්වීම, සමාජයේ එවැනි අය කොන් කිරීම වැනි අවස්ථාවන්ය. එවැනි අවස්ථා අවම කිරීමට අප සමාජයක් ලෙස කැප වී තිබෙන ප්‍රමාණය ඉතාම අල්පයි.

එසේම තවදුරටත් ලිංගික අපරාධවල ගොදුරු බවට පත් වෙන වින්දිතයන්ට නතර වීමට ඇති රාජ්‍ය ආයතන, සහතික කළ පාසැල් ආදියේ පහසුකම් ආදිය ඉතා සීමිතයි. මේ නිසා එවැනි අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කරන අය කබලෙන් ලිපට වැටීමට වෙන අවස්ථා බොහෝ තිබෙනවා.

තවද ගෘහස්තව කාන්තාව තම සැමියා අතින් ලිංගිකව අපයෝජනයට ලක්වීම ගැන කිසිවෙකු කතා කරන්නේ නැහැ. බොහෝවිට කසාදය යනු ඇතැම් පිරිමින්ට තම ලිංගික තෘප්තිය ලබා දීමට වහලියක් නීතිය මඟින් හිමි කර ගැනීමක් වැනියි. බිරිඳගේ කැමැත්ත අකමැත්ත නොවිමසා ඇයව අවශ්‍ය පරිදි තම ලිංගික අවශ්‍යතා ඉෂ්ට කරගැනීමද ස්ත්‍රී ලිංගික අපයෝජනයකි. නමුත් මෙම අපයෝජනය නීතිමය විවාහය ඇතුළත සිදුවන නිසා නීතිය ඉදිරියට පැමිණෙන්නේ නැති තරම්. නීතිය සරණ යන කාන්තාවටද නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගෙන් එයට ලැබෙන ප්‍රතිචාරය නම් ඒවා කසාදය ඇතුළේ බේරාගත යුතු ප්‍රශ්න බවයි. එබැවින් බොහෝ බිරිඳන් මෙම ලිංගික අපයෝජනය තනිවම විඳ දරා ගන්නවා. නමුත් එය එසේ විය යුතු නැහැ. බිරිඳක් යනු සැමියෙකුගේ ලිංගික වහලියක් නොවේ.

තවද ශ්‍රී ලංකාව තුළ පවතින පුරුෂ මූලික ආධිපත්‍ය දරණ දේශපාලන ප්‍රවාහය තුළ බලය යොදා බොහෝවිට කාන්තා ලිංගික අපයෝජන ඇතුළු සියලු ආකාරයේ අපයෝජන් යට ගැසෙනවා. අපි සියලු දෙනාම දන්නා පරිදි කාන්තාවන් ලිංගික වහලුන් කර ගත්, දැරියන් විශාල ලෙස ලිංගිකව අපයෝජනය කළ, ශ්‍රී ලාංකික කාන්තාවන් පමණක් නොව විදේශීය කාන්තාවන්ද ලිංගිකව අපයෝජනයට ලක් කළ පිරිමි දේශපාලඥයින් උසාවියෙන් පවා යම් අවස්ථාවල සහන ලබනවා. කෙටියෙන්ම ඇතැම් විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී කාන්තා දේශපාලඥවරියන් පිරිමි දේශපාලඥයන් විසින් අමතන්නේ ලිංගික භාණ්ඩ ලෙසයි.

එමෙන්ම මෙය සිදුවන්නේ අපේ සමාජයේ කොයි තරම් අපි සංස්කෘතිය, සදාචාරය වැනි දෑ ගැන කතා කරත්, සුවිශාල සදාචාරාත්මක පරිහානියක් තිබීමයි. ශ්‍රී ලංකාව තුළ ‘අධි පුරුශෝත්තම’ ක්‍රියාවන් හා මත දේශපාලඥයින්, ජනමාධ්‍ය පමණක් නොව ඇතැම් ආගමික නායකයන්ද දිගින් දිගටම පැතිරවීම නිසා කාන්තාවට එරෙහිව හිංසනය, අපයෝජනය, ප්‍රචණ්ඩත්වය ශ්‍රී ලංකාව තුළ දැන් සාමාන්‍යකරණය වෙලා. එසේම ලිංගික අපයෝජනවලින් ආරක්ෂා වීම සහ ඒවාට විරුද්ධව පැමිණිලි ගැනීම සම්බන්ධයෙන් දැනුම දරුවන්ට පමණක් නොව බොහෝ වැඩිහිටින්ටත් නැහැ. මෙය සිදුවන්නේ අපේ සමාජයේ ලිංගික අධ්‍යාපනය වැනි කරුණු සම්බන්ධයෙන් ඇති අතිශය සෘණාත්මක අදහස් නිසායි. එවැනි අදහස් ආගමික නායකයන් වෙතින් පවා පැමිණීමේ ප්‍රවනතාවය ඉතා කණගාටුදායකයි.

මෙවැනි දෑ සම්බන්ධයෙන් පොදුවේ බොහෝ දෙනෙක් දැනුවත් නැහැ. නමුත් ඒ නොදැනුවත්කමට දොස් කීමෙන් පලක් නැහැ. අප සෙවිය යුත්තේ අපත් දැනුවත් වී අනෙකුත් අයත් දැනුවත් කරමින්, මෙවැනි ලිංගික අපරාධ, අපයෝජන, සහ හිරිහැර නවත්වන්නේ කෙසේද? ඒ වෙනුවෙන් ඔබට, මට කළ හැක්කේ කුමක්ද? ලිංගික අපයෝජනවල ලක් වෙන අයට කොන් නොකරන, ඒ අයට ගරුත්වයෙන් යුතුව සලකන සමාජයක් බිහි කිරීමට අඩුම ගණනේ අපට හැකිනම් මේ සිදුවන අපරාධ වැඩි ගණනක් පොලිසිය වෙත වාර්තා කර ගැනීමටත්, සිද්ධි වැඩි ගණනකදී නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කර ගැනීමටත් උදවු වේවි.

මූලාශ්‍රය – දේදුනු සංවාද

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435