ලංකාවේ පළමු වැඩවර්ජනය

ලංකාවේ ජීවත්වන අපට වැඩ වර්ජන නම් අරුමයක් නෙවෙයි. දෛනික ක‍්‍රියාවක් තරමටම වැඩවර්ජන අද අපට සමීප යි. ඔබ  සියලූ දෙනාත්  විවිධ වර්ජනවලට සහභාගී වෙලා විවිධ ඉල්ලීම් ඉල්ලා සිටින්නට ඇති. ලංකාවේ වැඩවර්ජන ඉතිහාසය ගත්තොත්, ඒවායේ වාමාංශික දේශපාලන ඉතිහාසය ගැන ඇරෙන්න ලංකාවේ සිදුවූ ප‍්‍රථම වැඩ වර්ජනය ගැන කිසිවක්ම දන්නේ නැහැ. මේ කතා කරන්න යන්නේ මිට වසර 112කට පෙර ලංකාවේ විධිමත්ව පවත්වන ලද ප‍්‍රථම වැඩවර්ජනය පිළිබඳව යි.

මෙම වැඩවර්ජනය කළේ කරත්තකරුවන් බව කිව්වොත් ඔබ මඳක් පුදුමයට පත් වේවි. මේ අපි කතා කරන්න යන්නේ 1906 වර්ෂය ගැන යි. එකල අගනුවර කම්කරු ජනතාව නිදහස් අරගලකාරී අදහස් දරන පිරිසක් බව ප‍්‍රකට වී තිබුණා. වැවිලි අංශය වර්ධනය වී තිබුණු මෙම අවධියේ භාණ්ඩ ප‍්‍රවාහනය කළේ ගොන්බැඳි කරත්ත වලින්. භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා කරත්තවලට වූ ඉල්ලූම ක‍්‍රමයෙන් වැඩිවන්නට පටන්ගැනුණා. 1901 දී ගොන් කරත්ත සංඛ්‍යාව 7000ක් පමණ වුව ද වසර නවයක් තුළ එය 23000 දක්වා ඉහළ නැඟ තිබුණා. කොළඹ නගරයේ සියලූම භාණ්ඩ ප‍්‍රවාහනය කළේ කරත්තවලින් බැවින් කරත්තකරු වාණිජ ලෝකය සමග දැඩි ලෙස සම්බන්ධ වී සිටි අතර, නගරයේ ප‍්‍රභූ පුද්ගලයන් ගේ හොඳ හිත දිනාගෙන රාජකාරි කිරීමට ද ඔවුන් වග බලා ගත්තා.

ට‍්‍රෑම් රථ ධාවනය ආරම්භ වීමත් සමග මෝටර් රථවලින් ගමන් කිරීම ද පටන් ගැනුණි. මහා මාර්ගවල වාහන ධාවනය කිරීම විධිමත් ලෙස පවත්වාගෙන යාම අවශ්‍ය කරුණක් විය. මාර්ග පහසුව සලකා කොළඹ නගර සභාව විසින් කරත්ත කරුවන්ට අලූත් නීතියක් පනවන ලදී. කරත්තයක් දක්කාගෙන යන අවස්ථාවේ බෝන් ලීයේ හෝ කරත්තය උඩ වාඩි වී යාම මෙම නීති අනුව තහනම් විය. මෙම නීතියට හසු වන කරත්ත කරුවන්ට දඩ ගෙවන්නට සිදුවන නිසා පොලිස් නිලධාරීන්ට අල්ලස් ගැනීමට අවස්ථාව උදාවන බව කරත්තකරුවන් ප‍්‍රකාශ කළා. නගර නීතිය වැඩකරන ජනතාවට එල්ල කළ මරු පහරක් ලෙස සැලකුණා. මේ නිසා ඔවුන් පාලක පන්තිය වෙත විරෝධය පළ කළත් එයින් ද ප‍්‍රයෝජනයක් වුණේ නැහැ. බැරිම තැන දී පන්දහසක් පමණ කරත්තකරුවන් 1906 අගෝස්තු මස දහතුන් වැනි දා මහා වැඩ වර්ජනයක් දියත් කිරීම ඇරඹුවා. කොළඹ නගරයේ බඩු ප‍්‍රවාහනය සම්පූර්ණයෙන්ම අක‍්‍රීය වුණු අතර අපනයන භාණ්ඩ කොළඹ වරායට ගෙන ඒම සහ ආනයන භාණ්ඩ කොළඹ නගරයෙන් ඉවත් කරගැනීම ඇනහිට තිබුණා. ප‍්‍රාදේශීය සිල්ලර වෙළඳාමට ද මේ නිසා බාධා ඇති වූවා.

රටේ වැදගත්ම මහාමාර්ග ප‍්‍රවාහන ක‍්‍රමය බලාපොරොත්තු නොවූ ආකාරයෙන් බිඳවැටීම නිසා වූ වෙනස පොදු ජනතාවට තදින්ම බලපාන්නට වුණා. ඒ විතරක් නෙවෙයි, සමහර ආයතන සතුව තමන්ගේ කරත්ත තිබුණත් වාණිජ අවස්ථාවේ ඒවායින් ප‍්‍රයෝජන ගැනීමට ද ආයතන හිමියන් බිය වුණා. වැඩ වර්ජකයින් පොලිසියේ අවවාද ගණනකට නොගත් අතර ඔවුන් පොලිසියට උසුළු විසුළු කළා.

එක් කරත්තකරුවෙකු බෝන් ලීය මත නැගී හිටගෙන, ජනයාගේ ඔල්වරසන් හඬ මැද ප‍්‍රීති ඝෝෂා පවත්වමින් විදියක් ඔස්සේ තම කරත්තය දක්වා ගෙන ගියත් පොලිස් නිලධාරින් නිහඬව සිද්ධිය දෙස බලා සිටින අන්දම  විශේෂත්වයක් වුණා. තවත් කරත්තකරුවෙක් විය ගහ උඩට නැග ගී ගයමින් කොළඹ නගර සභා ගොඩනැගිල්ල වටා තමා කරත්තය ඉතා වේගයෙන් දක්කාගෙන ගියේ අවට රැුස්ව හුන් අය ප‍්‍රීති ඝෝෂා කරද්දී යි. අනෙක් කම්කරුවන් ද කරත්තකරුවන්ගේ සටනට සම්පූර්ණ සහයෝගය දුන්නා. පැනවූ නව නීතියට විරුද්ධව සටන් කරපල්ලා යැයි ඔවුන් කෑ ගැසුවේ පවතින තත්ත්වය තමනට වාසිදායක යයි සිතමින්. කරත්තකරුවන් ආණ්ඩුවටත් පොලිසියටත් විරුද්ධව සටන් කරන වීරයන් පිරිසක් ලෙස කවුරුත් සලකන්නට වුණා.

වැඩවර්ජනය අවස්ථාවේ රාජ්‍ය ආරක්ෂාව ඇතුළුව ප‍්‍රවාහනය කළ එක්තරා වෙළෙඳ ආයතනයකට අයත් කරත්ත දෙකකට අරගලකාරීන් පහර දෙන්නට වුණා. කොළඹ නගරය පුරා දක්නට ලැබුණේ කලහකාරී හැසිරීම්. පුවත්පත් පවා මෙම වැඩවර්ජනයට සහාය දෙමින් කොළඹ නගර සභා පාලනයට හා පැනවූ නීතියට නිර්දය ලෙස පහර ගසන්නට ද වුණා. පොලිස් පරීක්ෂකවරයෙකු හැටියට සේවය කොට පසුව පොලිසියෙන් ඉල්ලා අස් වී, කලහකාරියෙකු ලෙස ද කීර්තියක් ඇතිව සිටි ජෝන් කොතලාවල ද කරත්තකරුවන්ගේ සටනට සහයෝගය ලබා දුන්නා. වැඩවර්ජනය දිග්ගස්සමින් පාලක පංතියට විරුද්ධව සටන් කොට, ඔවුන්ට නිසි පාඩම උගන්වන ලෙස ඔහු කම්කරුවන්ට පවසා සිටියා. එය වෙනත් අයුරකින් පවසනවා නම් අවසානයේ කොතලාවල මෙම මහා වැඩවර්ජනයෙහි නායකයෙකු ලෙස පිළිගැනීමක් දිනාගත්තා.

කරත්තකරුවන්ට විරුද්ධව පැන වූ නීතිය අසාධාරණ බව කොතලාවල විසින් යටත් විජිත භාර ලේකම් වෙත ලියා යැවීමත් සමග අරගලය උණුසුම් වූයෙන්, සර් විලියම් බ්ලේක් නැමැති ආන්ඩුකාරවරයා යටත් විජිත කාර්යාලය වෙත ලිපියක් මඟින් දැනුම් දුන්නේ මේ පිළිබඳ කොමිෂන් සභාවක් පත් කළ බව යි. වැඩ වර්ජනය හමුවේ දණ ගැසූ ඉංග‍්‍රීසි ආණ්ඩුව කම්කරුවන්ගේ පිළිකුලට ලක් වූ අතර නීතිය ඉවත් කරගන්නා ලදී.

ඉන්පසු සියලූම කම්කරුවන් ආපසු සිය රැකියාව ආරම්භ කර තිබුණා. කම්කරු සටන් ඉතිහාසය තුළ වැඩ වර්ජනයකින් විශිෂ්ට ජයක් අත්කරගත් පළමුවැනි අවස්ථාව මෙය බව සඳහන් වෙනවා. සේවක දුක්ගැනවිලි පිළිබඳ යම් ද සහනයක් ලබා ගැනීම සඳහා වැඩවර්ජනය දියත් කිරීම සුදුසුම ක‍්‍රමය බව කම්කරුවන් විසින් පිළිගන්නා ලද්දේ මින් පසුව යි.

සුගත් චන්දන, උප සභාපති, සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරින්ගේ සංගමය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435