ලංකාවේ විදෙස් බැංකු දේශීය සේවකයින් දොට්ට දැමීම අරඹයි

ලංකාව තුළ ක‍්‍රියාත්මක විදේශීය බැංකු විසින් දේශීය සේවකයින්ගේ රැකියා අවස්ථා අහිමි කරමින් සිටින බව ලංකා බැංකු සේවක සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.

රට තුළ ක‍්‍රියාත්මක විදේශීය බැංකු විසින් තම මෙහෙයුම් ලාභයන් ඉහළ දැමීම පරමාර්ථ කොට ගනිමින් සේවක කප්පාදුවක් සිදුකිරීම ලංකා බැංකු සේවක සංගමය ලෙස අප තරයේ හෙලා දකින්නෙමු.

මෙලෙස සේවකයින් කප්පාදු කිරීමේදී සේවකයාට අක‍්‍රමික ආකාරයේ බලහත්කාරයක් මගින් සේවයෙන් ඉවත්ව යෑමට කටයුතු සලස්වා ඇත. අනිවාර්ය විශ‍්‍රාම ගැන්වීමේ ක‍්‍රමය (Compulsory Retirement Scheme – CRS)සහ ස්වේච්ඡා විශ‍්‍රාම ගැන්වීමේ ක‍්‍රමය (Voluntory Retirement Scheme – VRSයනාදී වශයෙන් වන්දියක් ලබාදී සේවකයින් ඉවත් කිරීම සිදුකරනුයේ සේවකයාට පැවරූ රාජකාරිය අවසන් බව පවසමින්ය.

සේවකයාට පවරා ඇති රාජකාරී කොටස් වෙනත් සේවකයින්ට අනුයුක්ත කර හෝ වෙනත් පාර්ශවයන් වෙත පවරා මෙලෙස සේවකයාට පැවරූ රාජකාරිය අවසන් බැවින් විශ‍්‍රාම ගන්නා ලෙසට බලපෑම් සිදුකිරීම සේවකයාට රැකියාවෙන් ඉවත්ව යෑමට කටයුතු සැලසීමක් වන බැවින් එය අක‍්‍රමික සේවයෙන් ඉවත් කිරීමකි.(Contractive Termination) එබැවින්, ලංකා බැංකු සේවක සංගමය මෙම අත්තනෝමතික ක‍්‍රියාවලියට දැඩි ලෙස විරෝධය පළකර සිටිමු. තවද, ස්ථීර පදනමින් බඳවාගත් සේවකයින් අක‍්‍රමික අයුරින් බලපෑම්කර නියමිත කාලයට පෙර සේවයෙන් ඉවත් කිරීමට සූක්‍ෂම අයුරින් කටයුතු සිදුකිරීම විරැකියාව අඩු කිරීම සම්බන්ධයෙන් වන රාජ්‍ය ප‍්‍රතිපත්තියටද මුළුමනින්ම පටහැනි වූ ක‍්‍රියාවකි.

ශ‍්‍රී ලංකාව තුළ තීරණාත්මක මැතිවරණ කාලසීමාවක දේශීය වැඩකරන ජනතාව දැඩි අපහසුතාවයට පත්කරමින් දියත්වන මෙවන් කුමන්ත‍්‍රණකාරී සිදුවීම් වහාම නතර කරන මෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා, මුදල් ඇමතිතුමා, කම්කරු ඇමතිතුමා වෙත මෙන්ම විදේශීය බැංකු පාලනාධිකාරිය වෙතද සංගමය බලකර සිටින්නෙමු.

මේ පිළිබඳව අදාළ බැංකු පාලනාධිකාරියට මෙන්ම කම්කරු කොමසාරිස් ජනරාල්තුමා වෙතද සංගමය ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර, විදේශීය බැංකු තුළ මෙම අත්තනෝමතික ක‍්‍රියාවලිය වහාම නතර නොවන්නේ නම් බැංකු පද්ධතියේ ආරක්ෂාව මෙන්ම සේවකයාගේ       රැකියා සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ද දැඩි වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව රජය ඇතුළු සියලූ පාර්ශවයන් වෙත අනතුරු අඟවා සිටින්නෙමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435