ලස්සන වියැකුණු අලුත් අවුරුද්ද

බක්මහ අවුරුදු උත්සවය හින්දු ඉතිහාසයේ ඈත ඉදල එන ලොකු උත්සවයක්. ඒ අනුව වසර පටන් ගන්නේ මේ උත්වයත් එක්ක. අලුත් අවුරුද්ද ලබන්නේ ඒ නැකත් දිනයට. හිරු දෙවියන්ගේ බලය හරියට ලබා ගැනීමට කරන පිදේනියක් ලෙස නම් කරන්න පුළුවන්. හිරුගේ උදව්වෙන් මහට සරු අස්වැන්නක් ලැබීමත් පූජාවට එක කරුණක්. මහට තමා හරි විදියට වැස්ස ලැබෙන්නේ කියලයි එදා වී ගොවිතැන කළ අය විශ්වාස කළේ. ඒ වෙනුවෙන් හිරුට පූජාවක් කළ යුතු වුනා.

මේක ගමකට යොමු වුන වැඩක්. ගමක් කියන්නේ විවිධ ලෙසට වැඩ බෙදාගත්ත පවුල් සමූහයක්. ඒ ඒ වැඩ වලට පවුල් වෙන් වෙලා ඒ ඒ වැඩ සංවර්ධනය කරමින් ගම දියුණු වුනා. ගමට මුල් වෙන්නේ ගොවිතැන බාර මහ ගෙදර උදවිය යි. පසු කාලෙක ගොවි කුලය කියල නම් වුනේ ඒ උදවිය. ඒ ඒ පවුල් වලට ඇති රාජකාරිය තුළ ඇති උපාය උපක්‍රම වැඩි දියුණු වෙමින් ගමන් කිරීමේ උවමනාව උඩ ඒ ඒ අය ඒ ඒ කුල තුළම අවාහ විවාහ වීමට පෙළඹුනා. පසුව එය සම්ප්‍රදායයන් ලෙසට දිගට යන ක්‍රමයක් බවට පත් වෙලා, තන්ත්‍රයක් ලෙසට සැළකුනා. එකම කුලයේ අය ඒ කුලයෙන්ම විවාහ කරගත යුත්තේ තම රාජකාරියේ රහස්, දියුණු දැනුම රැක ගැනීම උඩයි. අවුරුද්දට මේ හැම ගෙදරක්ම උත්සවයකදී නියමිත වැඩ කොටස කළ යුතුයි. මහ ගෙදර වුනේ ගොවිතැන කරට ගත් උදවියගේ නායකයාගේ ගෙදරයි. කම්මල්කාර, හකුරු කාර, පට්ටි බාර, මල්ගම්මන, බෙර ගෙදර, නැටුම්කාර අදී ලෙසට සෑම අයටම උත්සවයේ වැඩ කටයුතු වෙන් කරල සම්ප්‍රදාය ඉටු කරමින් වැඩ කළා.

මුලු ගමම මේ ලෙසට එකතු වෙලා, බත් බුලත්, නැටුම් ගැයුම්, කෑම බීම නොඅඩුව සලස ගෙන පොදු උත්සවයක් සකසා ගැන්මෙන්, සමහරු කියන හැටියට සූර්ය මංගල්‍යයක් පවත් වන්නට කටයුතු යොදා ගන්නවා. එදා මෙලෙසට කළත් දැන් ඒ විදියට යෙදෙන ගම් සභාවක් හෝ වෙන සම්බන්ධයක් ගම තුළ නෑ. ඒ වෙනුවට දේශපාලන නායකයන් ගම් වලට ආරූඪ කරල උත්සව පවත්වනවා. එහෙම නැතිව මේ ගමේ උත්සය සාර්ථක කර ගැනීමට පොදු ජන වැඩ කටයුතු වල යෙදුන සම සමාජ නායකයන්ට නම් පුළුවන් වෙනවා. එහෙම නැත්නම් සයිකල් තරග වලට, මැරතන් තරග වලට, තෙල් ගාපු ගසේ උඩට බඩගෑම ආදී ක්‍රීඩා වලට මුල් තැන දෙන අවරුදු නම් විශේෂයෙන්ම නගර වල පැවැත් වෙනවා. පැරණි සම්ප්‍රදායයන් අනුව ගෙන යන්නට පන්සල් වලට ආරාධනා එන තැනුත් තිබෙනවා. එයට උර දෙන හාමුදුරුවරුනුත් පැරණි ලෙසට පොදු දෙයක් දියත් කර ගැනීමට වෙහෙසෙන අවස්ථා තිබෙනවා. වැඩියෙන් කෙරෙන්නේ රේස් වලට යොමු වන සෙල්ලම් වලට යොමු වුන උත්සව පැවැත්වීමයි. එයින් ගම් මට්ටමේ හැකියාවන්, පාරම්පරිකව ගෙන ආපු හපන්කම් නැති වෙලා යන්න ඉඩ තියෙනවා.

රූපවාහිනී ආයතන මේ ගැන උනන්දුවෙන් පැරණි ගම් කාරයින්ගේ ගෙවල් වලට ගිහින්, ඒ අයත් හවුල් කරගෙන උත්සව පැවැත්වීමට දැන් දැන් යොමු වෙන බව පෙනෙනවා. මෙදා කොරෝනා නිසා ඒ අවස්ථාවත් නැති වුනා.

ලංකාව තුළ ගම් හැටියට තිබුන ආයතන හැම තැනම වෙනස් වෙලා. බොහෝ විට ගමේ මහගෙදර උදවිය දැන් නගර වලට ගිහින්, නැතිනම් පිටරට ගිහිල්ලා. සම්ප්‍රදායන් දන්න අය මිය පරලොව ගිහිල්ල. මුළු ගමම අලුත් සම්ප්‍රදායන්ට යට වෙලා. එයට වග කිවයුතු රූපවාහිනියත්, ගුවන් විදුලියත් විසින් ආරූඪ කරපු විචිත්‍ර අවුරුදු උත්සවයන් ඔවුන්ට උදා වෙලා. ඉහල හැගීම් වලට වෙලාවක් නෑ, ආසාවක් නෑ. රස දැක්ම පහල මට්ටමට බැහැල. ඒවායින් සටන් සහිත චිත්‍රපට බලන්න පුළුවන්. උදේට එකක්. හවසට තව එකක්. දිනයේ ඔක්කොම වැඩ කටයුතු රූපවාහිනිය සමග ගෙවා නිම කරගන්න පුළුවන්. නියමිත වෙලා වලට කළ යුතු දේවලුත් රූපවාහිනියෙන්ම කර දීමට සලසල පෙන්වන නිසා සියල්ල හොදින් කරනවා කියල තර්ක කරන්නත් පුලුවන්. ඒත් තර්කයෙන් ඇත්ත ඇති සැටියෙන් හොයන්න බෑ. මුලුමනින්ම ඇත්ත ලබා ගන්නට උත්පාත ථිති භංග ක්‍රමයට හිතල බලන්න ඕනා. ඇත්ත තර්කයෙන් දැනගන්න පුළුවන් නම් කොරෝනා ලෙඩේට අහුවූන ඇමරිකාව මේ තරම් සුන්බුන් ගොඩක් බවට පත් වෙන්නෙ නෑනෙ. ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංගමයට බැන්න එක හරි. මොකද ලෝක සංවිධාන තිබුන පලියට ඇත්ත ඇති සැටියෙන් ඒ අයට හොයන්න බෑ. තර්ක නම් කරයි. ඒ තර්ක හරි. ඒත් ඇත්ත එය නෙවෙයි.

මං කැම්පස් යන කාලයේ මගේ සිතට කා වැදුන කවියක් තිබුනා. “තර්කය හරි යැයි සිතූ මම මගේ දෙවියන් මරා දැමීම, …ආපසු මා දෙවියන් සොයා ආ විට තර්කය දත් විලිස්සමින් බලා සිටි නිසා දෙවියන් ඇස් ඇර බැලුවේ නැත” කියල. ගුණදාස අමරසේකර වෙන්න ඇති එය ලිව්වේ. මට මතක නෑ. මං ඉංජිනේරු විභාගය පාස් වුනාට ආචාර්ය උපාධිය කළේ ගණිතයේ ඉහල තලයකට ගිහින් විශ්වයේ පැවැත්ම සොයා බැලීම. ඒක ඉහලින් පිළි අරන් මට ආචාර්ය උපාධිය ලැබුණ. මං දැන් දන්නව ඒ මං සෙවූ ගණිත ලෝකය, දහස් ගණන් අවුරුදු වලට පෙර ඇත්ත ඇති සැටියෙන් දුටු බුදුන්ගේ උත්පාත, ථිති, භංග රීතියට යටත් බව. අපි දියුණු වෙලා පියාඹා යන අතර ලස්සන ලෝකය පාළු වෙලා යනවා. මේ මහ ගෙදර පාළුයි. ඒ කොරෝනා නිසාම නෙමෙයි. ඉස්සර තිබුන ලෙන්ගතුකම් මිනිස්කම් අඩුවෙලා ගිහින්. ඇත්ත, කුල, ජාති භේද නැති විය යුතුයි. ඒත් මිනිස් යාළුකම් රැකගත යුතුයි. අවුරුද්ද ලස්සන අදහසක්. මිනිසා මූලිකව දැක්ක ඇත්තක් සටහන් කර ගැනීමක්.

මේ වගේ ලෙඩ එදත් තිබුණ. ඒත් ගම එකට එකතු වෙලා ලස්සනට හොද හිත ඇති කරල යහපත් ලෙසට ජීවත් වුනා. වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වීම වඩාත් ලස්සන විය යුතුයි. ඇයි එහෙම වෙලා නැත්තේ?

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435