ලැයිං (වතුකරයේ පේලි ගෙවල්)

කෙමෙන් කෙමෙන් වැස්‌ස තුරල් වන නිසා දැන් බොහෝ අයට මීරියබැද්ද සහ කොස්‌ලන්ද අමතකව ගොස්‌ ඇත. නාය යැමෙන් යටවුණු එකී ලයින් පේලියේ සුන්බුන් තවම සොයමින් පවතිද්දී අද මා උත්සාහ කරන්නේ දිවයින පුරා ව්‍යාප්තව ඇති පේලි ගෙවල් සහ වතු කම්කරුවන්ගේ ලයින් කාමර හෙවත් ලැයිං ගැන මා ඇසින් දැක විමර්ශනය කර ඇති දේවල් ඔබ හමුවේ තබන්නයි.

19 වැනි සියවස මුලදී ශ්‍රී ලංකාව තුළ තේ වගාව ආරම්භ කළ එංගලන්තයෙන් මෙහි ආ සුද්දන් තම තේ වගාවට සාත්තු සප්පායම් කිරීමටත් සහ වතුවල බර වැඩ කිරීම සඳහාත් තෝරා ගත්තේ දකුණු ඉන්දියාවේ ජීවත් වුණු දරිද්‍රතාවයෙන් කෙල පැමිණි මිනිස්‌ කොට්‌ඨාසයකි. වතු කම්කරුවන් ලෙස අදටත් ඇමතෙන මෙම ඉන්දියානු සම්භවයක්‌ ඇති අය එදා ඉංග්‍රීසින් විසින් බුරුතු පිටින් නැව්වල සහ බත්තල්වල පටවා ලංකාවට ආනයනය කර ඇත්තේ අඩු වැටුපකට වැඩි වැඩක්‌ ලබා ගැනීමේ අභිලාෂයෙන් බව රහසක්‌ නොවේ.

තේ වත්තටම මායිම්ව හෝ වගාව මැද තනන ලද කුඩා කාමර පේළියක මොවුන් පදිංචි කරවූ සුද්දා පැළ තවාන් දැමීම, පාත්ති සැකසීම, පැළ සිටුවීම, වල් නෙළීම, දලු කැඩීම මෙන්ම අනෙක්‌ සියලුම රාජකාරී මොවුන් මත පැටවීය. ඒ කම්කරු පවුලක ඇහැට කනට පෙනෙන දැරියක්‌ තරුණියක්‌ හෝ කාන්තාවක්‌ සිටියේ නම් ඇයව තම බංගලාව වෙත ගෙන්වා ගෙදරදොර අස්‌පස්‌ කර අතුපතු ගෑම, රෙදි සෝදවා ගැනීම වැනි දේ මෙන්ම සුද්දිය සිය රට ගිය කල්හි ඇය කෙරෙන් තම ලිංගික ඇවැසිතා සපුරා ගැනීමටද මැළි නොවීය. ඒ වෙනුවෙන් කෑමබීම හෝ කාරුණික වදන් හැරුණු විට ඔවුනට ලැබුණු වෙනත් විශේෂ දෙයක්‌ නොවීය. නමුත් එවන් කාන්aතාවන් නිසා ඔවුන්ගේ සැමියාට පියාට හෝ සොයුරාට නම් විශේෂ වරදාන හෝ අවස්‌ථා ලබාදීමට සුද්දා මැළි නොවීය. ඒ කංකානිකම හෝ කාවල් තනතුරුයි. කංකානි යනු කම්කරුවන්ගේ වැඩ බලන සුපවයිසර් තනතුරයි. කාවල් යනු මුරකරුට දෙමළින් කියන වචනයයි. කාවල් තම රස්‌සාව කරනු පිණිස වත්ත පුරා ඇවිදීමට හෝ නිතර බංගලාව රැකීම පිණිස ඒ අවට ගැවසිය යුතු නිසා සුද්දාට රිසි සේ කාවල්ගේ බිරිය හෝ දැරිය වත්ත පහළට ගෙන්වා ගැනීමටත්, එසේ නැත්නම් ලැයිමට රිංගා ගැනීමටත් අවස්‌ථාව හිමි විය.

සුද්දා විසින් තම බංගලාවේ කෝකි හෙවත් අරක්‌කැමි රස්‌සාව දුන්නේ ලැයිමේ ජීවත් වුණු ඉතාම හිතෛෂිවන්ත අයෙකුටයි. ඉහුම් පිහුම් වලට අමතරව රහස්‌ රැකීම, කාන්තා බිලි සැපයීම, කාම කටයුතු සඳහා පහසුකම් සැපයීම වැනි දේද කෝකියාගේ රාජකාරිවල කොටසකි. රටට නිදහස ලැබීමෙන් පසු තේ වතු විකුණා හෝ රජයට පවරා සුද්දන් සිය රටට ගියද, ඉන්පසු වතු පාලනය අතට ගත් අපේ කලු සුද්දන්ද අනුගත වුණේ කලින් සිටි සුද්දන්ගේ ක්‍රියා පටිපාටියටමය. ඔවුන්ද රිසි සේ ඉන්දියානු කම්කරුවන්ගේ ශ්‍රමය සූරා කෑ අතර ලැබූ සෑම අවස්‌ථාවකදීම ඇහැට කනට පේන ගැහැනුන් තම බංගලාවලට ගෙන්වා ගත්තේය. අදටත් එය බොහෝ වතුවල එදා මෙන්ම අඩුවක්‌ නැතිව සිදුවෙයි. උඩරට තේ වතු ආශ්‍රිතව පමණක්‌ නොව පහතරට ඇති ගාල්ල නෙළුව, අකුරැස්‌ස, දෙණියාය සිංහරාජ අඩවි වැනි පළාත්වල ඇති තේ වතුවලද මේ ලයින් කාමර හෙවත් පේළි ගෙවල් අදටත් දකින්නට ඇත. ඉන්දියානු සම්භවයක්‌ ඇති දමිළයන් මෙන්ම පහතරට තෙත් කලාපවල ඇති ලැයිංවල සිංහල සහ මුස්‌ලිම් කම්කරුවන්ද ජීවත් වෙති. එමෙන්ම පානදුර, අගලවත්ත, කළුතර, මතුගම, හංවැල්ල, අවිස්‌සාවේල්ල, රත්නපුර ආදී පළාත් වල දක්‌නට ඇති රබර් වගා කරන විශාල වතුවලද කම්කරුවන් සඳහා මෙම පේළි ගෙවල් තනා දී ඇත. පොල් වගාව ඇති මීගමුව, හලාවත කුලියාපිටිය, වෙන්නප්පුව, කුරුණෑගල ආදී පළාත්වල ඇති වතුවලත් මෙම පේළි ගෙවල් දකින්නට ඇත.

උඩරට ලැයිංවල ජීවත් වන ඉන්දියානු සම්භවයක්‌ ඇති කම්කරුවා හැමදාම ගත කළේ අවිනිශ්චිත වේදනාකාරී ජීවිතයකි. අව්ව, වැස්‌ස, පින්න, මීදුම, සීතල වැනි කාලගුණ තත්ත්වයන් සහ හිසරුජාව, බඩේ අමාරුව, මාස්‌ සුද්ධිය යනාදිය ඔවුන්ට අදාළ නැති ප්‍රස්‌තුතයන්ය. ඒ මොන දෙයක්‌ ආවත් හිස සිට දෙපතුළ දක්‌වා වැහෙන ඝන ඉටි කොළයකින් ලැමිනේට්‌ වී ඔහු හෝ ඇය තේ වත්තට බැසිය යුතුය. නැත්නම් එදා කුළී මුදල් නැත. කූඩැල්ලන්, මැක්‌aකන්, ටික්‌කන් කොතෙක්‌ ඇඟ වසා ලේ උරා බීවත් ලැයිංවල අය බූට්‌ස්‌ සපත්තු පළඳිනවා මා දැක නැත.

වළට වැටුණු ඉබ්බා වළේ ඇති පෙඳ පාසි පමණක්‌ කමින්, පල් වතුර බොමින් වළ තුළම දුක්‌ විඳ මැරී යනවා සේම වැඩිහිටි වතු කම්කරුවාද භ්‍රමණය වන්නේ බොහෝ විට තමා කඹුරන වත්ත සහ ලැයිම වටා පමණි. නමුත් දැන් දැන් එම රාමුව කඩාගෙන ලෝකය දෙස බලන්නට කැමති තරුණ පිරිසක්‌ වතු අතරින් බිහි වෙමින් පවතී. මුණියන්ඩිලා, ධර්මන්ලා, රාමලිංගම්ලා දැන් වතු වල නොඉපදෙයි. ඒ වෙනුවට සුරේෂ්, රවී, ප්‍රදීප්, දයා, සංකර්, ජොනී, රාජන්, පවන්, නිරංජන්, රූබන් වැනි අය ඉස්‌මතු වෙති. මොවුන් සියල්ලෝ තරුණයෝය. ඒ අය අව්වේ වැස්‌සේ දුක්‌ විඳිමින් තේ ගස්‌ වටේ කැරකෙන්නට කැමැත්තක්‌ නොදක්‌වයි ඔවුන් කැමති බජාර් එකට හෙවත් නගරයට පැමිණ රස්‌සාවක්‌ කිරීමටයි. ඒ අනුව අද කොළඹ පිටකොටුවේ රෙදිපිළි සාප්පුවල, විදුලි උපකරණ අලෙවිසැල් වල පරිගණක ආයතනවල, තොග කඩවල සහ හෝටල්වල වැඩ කරන අයගෙන් බහුතරයක්‌ මේ උඩරට ලැයිං කාමරවලින් බිහිවුණු අයයි.

“වතුවල කොල්ලෝ අවංකයි, වැඩට දක්‌ෂයි, උනන්දුයි” යන මතය අද සිංහල සහ මුස්‌ලිම් ව්‍යාපාරිකයන් අතර මුල් බැහැගත් මතයකි. එනිසා නගරයේ මහ පරිමාණ වෙළෙන්දන්ගෙන් මොවුනට ඇත්තේ මහත් ඉල්ලුමකි.

එදා මෙන් ලෙච්චමීලා, ලක්‌ෂ්මිලා, පසුවදීලා, මුනියම්මලා අද වතුවල නැත. ඒ වෙනුවට කලාවසුදා, වසන්තී, සුජී, ප්‍රින්සි, ජීවා වැනි තරුණියෝ එමට දක්‌නට ලැබේ.

“අනේ අපේ බබා බලා ගන්නයි, ගේදොර අස්‌පස්‌ කරල රෙදි ටික හෝදගන්නයි කවුරුත් නැහැ. බැරිද වතුකරේ පැත්තෙන් පොඩි ආය කෙල්ලෙක්‌ හොයල දෙන්න. එසේත් නැත්නම් අපේ වත්තෙ වැඩටයි, බබාලා ඉස්‌කෝලෙ එක්‌කන් යන්නයි පොඩියන් කෙනකු හොයල දෙන්නකෝ” කියා උඩරට පැත්තේ වෙසෙන මිතුරෙකුට හෝ නෑයෙකුට ආයාචනා කළේ බොහෝ ඉස්‌සරය. දැන් පොඩියන්ලා කඩ සාප්පු වල සේල්ස්‌මන් වැඩ සහ පර්චසිං වැඩ සොයා කොළඹට ඇදෙද්දී, සුජීලා, දේවීලා සහ ජීවලා නගරයට එන්නේ කොමිනියුකේෂන්වල සහ රූපලාවන්‍යාගාරවල සේවය කිරීමටයි. එමෙන්ම කැරෝකේ, රාත්‍රී සමාජ ශාලාවල සහ ස්‌පා නමැති සම්බාහන මධ්‍යස්‌ථානවල වැඩ කරන වතුකරයේ නව යොවුන් කෙල්ලන්ද මට අනන්තවත් මුණ ගැසී ඇත

හින්දු අවුරුද්ද, දීපවාලිය මහ සිව රාත්‍රිය, නත්තල ආදී ආගමික හෝ ජාතික උත්සවදාට පෙර රාත්‍රියේ ඔබ දුම්රියේ කන්ද උඩරට බලා ගමන් කර ඇත්නම් එදාට එහි සියයට 90 ක්‌ම දක්‌නට ඇත්තේ නිවාඩුවට තම නිවෙස්‌ බලා යන වතුකරයේ තරුණ තරුණියන් බව ඔබට කියන්නට ඇවැසි නැතැයි සිතමි.

මා මුලින්ම උඩරට වතුකරයේ පේළි ගෙයකට හෙවත් ලැයිමකට ගියේ මට වයස අවුරුදු 13 ක්‌ පමණ කාලයේදී අපේ තාත්තා සමගිනි. එමෙන්ම මා අවසන් වරට ලැයිං පේළි නිවසකට ගියේ පසුගිය මාසයේ අධික වර්ෂාවට නාය යන අවස්‌ථාවන්හිදීය. එම අවස්‌ථා දෙක අතර ගතවූ වසර 35 ක කාලයක්‌ තුළ මම විටින් විට සිය පාරකට වඩා ලැයිං කාමරවලට ගොස්‌ රිංගා ලැග චාටර් වී අප්‍රමාණ අත්දැකීම් ලබා ඇත්තෙමි.

තාත්තා සමග මා මුලින්ම ලැයිමකට ගිය ගමන ඉතා අපූර්ව බව මට දැන්ද සිතේ. ඒ 1979 වසර විය යුතුය. අම්මා තාත්තා ඇතුළු අපි පවුලේ සියලු දෙනා පාසල් නිවාඩු සමයේ විවේකය ගත කිරීම සඳහා හැටන් සහ තලවකැලේ අතර ඇති කොටගල නම් සුන්දර ගමේ මනරම් කඳුවැටියක්‌ පාමුල තනා තිබූ කුඩා තානායමක්‌ කුලියට ගෙන අවට සිරි නරඹමින් සිටියෙමු. අම්මා අක්‌කලා දෙන්නා සහ නංගීව තානායමේ තියා මාත් තාත්තාත් සීතල කෙටි පාරක්‌ ඔස්‌සේ ඇවිදගෙන නගරයට ආවේ තාත්තාට අවශ්‍ය යම් දේවල් ටිකක්‌ මිලට ගැනීමටයි. කොහේ ගියත් තම මිතුරෙක්‌ හමුවන අපේ තාත්තාට එදාත් නගරයේ අවල්හලක්‌ ඉදිරිපිටදී අලස්‌ නම් වූ පැරණි මිතුරෙක්‌ මුණගැසුණි.

“එඩී මම දන්න තැනක හොඳ කිතුල් පැණි තියෙනවා. ඕනිනම් ගන්න පුළුවන්” කියා තාත්තාට කිතුල් ගස්‌ මතක්‌ කළ අලස්‌ අංකල් අපවද රැගෙන විනාඩි කීපයකින් ලැයිං කාමර පෙළකට අවතීර්ණ විය. කුඩා නිවෙස්‌ දෙපස සහ ගෙයි පඩි මත වාඩි වී සිටි ගැහැනුන් ළමුන් අප දෙස බලන්නට වූයේ අමුතු සතුන් තිදෙනෙක්‌ දෙස බලන අයුරුන් යයි කුඩා මට සිතුණි. මා අසා ඇති පරිදි අපේ තාත්තා අතපය හොඳට හුරු බොක්‌සිං ක්‍රීඩකයෙකු මෙන්ම තැනේ හැටියට ඇණේ ගසන්නට දන්නා පැණවතෙකු නිසාත් මගේ සිතට බයක්‌ නම් ඇති නොවුණි. නමුත් තැන් තැන්වල කල්ලි ගැසී සිටි නපුරු පාට මිනිසුන් සහ බුලත් කෙළින් කට රතු කරගත් පුද්ගලයන් දකිද්දීත් හැම තැනම ඇති විෂ්ණු, කතරගම, ශිව, ගණ, සූනියම් ආදී නපුරු පාට දේව රූප පිළිම ආදිය මා දෙස රවා බලනවා පෙනෙද්දීත් මට සිතුණේa මොන කෙහෙම්මඟුලකට අපි මෙහෙ ආවාද කියායි.

අලස්‌ අංකල් ගමන බාල කර අපෙන් මඳක්‌ වෙන්වී එක්‌ තරුණයෙකුගේ කණට කර මොනවාදෝ අහනවා මම දුටිමි. තරුණයා තවත් කාටදෝ කතා කළ අතර ඒ අය තවත් කීප දෙනකුට කතා කරන්නට වූහ. ගත වූයේ නිමේශයකි. සැණින් තිස්‌ හතළිස්‌ දෙනෙක්‌ එහි පැමිණ අප වට කර ගත්හ. ඔවුන් මහ හයියෙන් කෑ ගසමින් එදා හැසිරුණේ ඔවුන්ගේ වැයික්‌කියට අප සොරකමේ හෝ මංකොල්ල කෑමට පැමිණියා සේය. එක්‌වරම සෙනග දෙබෑ කරමින් හොඳ හයේ හතරේ උස මහත හැඩි දැඩි වයස්‌ගත පුද්ගලයෙක්‌ පැමිණ දෙමළින් අපගෙන් මොනවාද අසන්නට විය. තාත්තාද ඔහුට දෙමළින්ම පිළිතුරු දෙන්නට විය. උඩුකය නිරුවත් යටට සිවුරක පාට රෙදි කඩක්‌ පමණක්‌ ඇඳ මුහුණ පුරා සුදු රැවුලක්‌ වවා ගෙන ගෙළ වටා ඇට මාල, කහ නූල් ආදිය පැළඳ සිටි මේ තැනැත්තා එම ප්‍රජාවට නායකත්වය දෙන ආගමික පූසාරියෙක්‌ බව මට සිතුණි. ඔහු අලස්‌ අංකල්ව අතින් අල්ලාගෙන අසලම තිබූ කුඩා කුටියකට ඇතුළු විය.

“පුතා බය නැතිව ඔහොමම ඉන්න”

කියා මාව දොරකඩ අසල තිබූ බංකුවක ඉන්දවූ තාත්තා පූසාරියා සහ අලස්‌ අංකල් සමග ඒ කුටියට ඇතුළු විය. ත්‍රීශූල්, තියුණු කඩු හෙල්ලක්‌ සහ දුණු ඊතල ආදිය එල්ලා තිබූ එම කෝවිල මට ගෙන දුන්නේ මහත් බියකි. නමුත් බය වෙන්න එපා කියා තාත්තා කියූ නිසා මම තාත්තාව විශ්වාස කොට වෙන්න යන්නේ මොනවාදැයි නිසලව බලා සිටියෙමි. ගතවූයේ විනාඩි කීපයකි. කෝවිලේ සීනු නාද විය. හතර අතෙන් ලැයිම්වාසීන් එතනට එක්‌ රොක්‌ වෙන්නට පටන් ගති. ඉනික්‌බිති පුසාරියා ඔවුන්ට මොන මොනවාදෝ කියන්නට විය. තවත් විනාඩි කීපයකින් අප තිදෙනා වෙනුවෙන් මහත් උත්සවයක්‌ පිළියෙල වුණි. ඔවුන් බෙර ගසමින් ගී කියමින් නටමින් ප්‍රීතිමත් වෙන්නට පටන් ගති. මට උණු උණු පොල් රොටී සහ කරවල තෙල්දාපුවාගෙන් රසවත් සංග්‍රහයක්‌ද ලැබුණි. ඒ අසල ලැයිං කාමරයකින් ආ තරුණ ගැහැනු දෙදෙනකුගෙනි. පැයක්‌ පමණ අප එහි ගත කළ අතර කලුවර වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී අප ලැයිමෙන් සමුගනිද්දී එහි සිටි අය අපට කිතුල් පැණි මුල් දෙකක්‌, හොඳින් ඉදුනු මැද රතු ලොකු පේර මල්ලක්‌ තේ කොළ පාර්සලයක්‌ සහ අලුත්ම ගම් බිත්තර උරයක්‌ද තෑගි කළහ. තාත්තා ඔවුන්ට මුදල් නෝට්‌ටු කීපයක්‌ දෙනු මම දුටිමි. තාත්තා මට දුන් එකම අවවාදය නම් මේ ගැන මුකුත් අම්මාට නම් නොකියන ලෙසයි.

කෙසේ වෙතත් එදින රාත්‍රියේ මම මේ ගැන ලොකු අක්‌කාට පමණක්‌ කියූ අතර පසුදා එළිවන විට පත්ත දැම්මා සේ ඒ රහස අපේ අම්මා ඇතුළු මුළු පවුලත් තානායමේ පාලකවරිය වූ ශරීනා හැමිඩෝන් ඇන්ටිත් දැනගෙන තිබුණි. පසු දිනක දැනගත් පරිදි එදා අපට එරෙහිව ආ කණ්‌ඩායම සන්සුන් කිරීම පිණිස තාත්තා කර ඇත්තේ තම උරේ එල්ලාගෙන සිටි බෑගයේ තිබූ ඉස්‌තරම් වර්ගයේ වයිට්‌ හෝස්‌ විස්‌කි බෝතලය කඩා මුලින්ම පූසාරියාටත්, ඉන්පසුව ආවේගශීලි වූ තරුණයන්ටත් මූඩිය මූඩිය බොන්නට සැලැස්‌වීමයි.

මා මෙසේ දිග කතාවක්‌ තුළින් මතු කළේ වතුකරයේ ජනයා මත්පැන්වලට ඇති මහා ගිජු බවයි. කසිප්පුවලට වඩා වැඩිපුරම ලැයිංවල සුලබව ඇත්තේ කර්මාන්ත කටයුතුවලට ගන්නා ස්‌ප්‍රීතු හෙවත් වයින් නමැති නීති විරෝධි මත්පැන් වර්ගයයි. රතුවා කියා ඔවුන් අමතන පෙරන ලද ඉස්‌කාගාර අරක්‌කු හෝ විදේශීය විස්‌කි වර්ගයක්‌ ඔවුන් සලකන්නේ අමෘතය මෙනි. අපේ තාත්තා කළ දෙය මහත් වීරකමක්‌ ලෙස මා එදා සිතුවද අද නම් එය කිසිසේත් අනුමත නොකරමි. නමුත් එදා මා ලද අපූර්ව අත්දැකීම නම් මට කවදාවත් අමතක කළ නොහැක. අදටත් මම හැටන් කොටගල පැත්තේ ගියොත් එම ලැයිං පෙළ වෙත ගොස්‌ ගම්බු මාමා, කුමාර් මාමා සහ දේවි නැන්දා යන අය හමු වී හැකි උපකාරයක්‌ කර තේ කහට කෝප්පයක්‌ බී ඒමට අමතක නොකරමි. පසුගිය වසර 35 තුළ එම වතු යායේ සිටි මිනිසුන්ගේ ආකල්ප සහ බාහිර පෙනුම බොහෝ සේ වෙනස්‌ වී තිබුණද මා නිරීක්‌ෂණය කළ කාරණයක්‌ වන්නේ භෞතිකව එනම් ගෙවල් දොරවල් පරිසරය ආදිය නම් එතරම් වෙනසකට ලක්‌ව නැති බවයි. වැඩිම වුවොත් කලර් ටෙලිවිෂනයක්‌, සිංදු අහන කුඩා හෝම් තියටරයක්‌ එසේත් නැත්නම් පීස්‌ බලන්නට ඩීවීඩී ප්ලේයරයක්‌ බොහෝ නිවෙස්‌වලට පැමිණ ඇත. වතුකරයේ තරුණයන් කැමති විෙ- කමල් හසන් රගුවරන් වැනි සටන්කරුවන් රඟන තලවර් ලීඩර් තූප්පාකි වැනි ක්‍රියාදාම චිත්‍රපට බලන්නටත් වේග රිද්මයේ දමිල ගීත අසන්නටත්ය.

මුදල් ඔට්‌ටුවට කුකුළන් කෙටටීම, ගංජා සුරුට්‌ටු ඉරීම, බුරුවා වැනි සූදු කෙලීම සෑම පේලි ගෙවල් සංකීර්ණයකම අඩු නැතිව සිදුවෙයි. එදා මෙන්ම අදත් ලැයිංවල ගැහැනු, වැඩ ඇරී ගෙදර ආ කල තනපටය හෝ දිය රෙද්දකින් පමණක්‌ සැරසී ඉහුම් පිහුම්වල යෙදීම, දරුවන්ට කවා පොවා ගෙදර වැඩ කිරීම සුලබ දසුනකි. සෑම ගෙදරකටම හෝ පවුලකටම වාගේ හොඳට තරවුණු එළිච්චියක්‌ හෝ එළිච්චියන් දෙතුන් දෙනෙක්‌ සිටින නිසා ඔවුනට උදේ හවස එළු කිරි වලින් අඩුවක්‌ නැත. රොටි ගැන කීමට ඇත්තේද එයයි. වත්තේ අයිතිකරු හෝ පාලකයන් විසින් සැම පවුලකටම පිටි මුට්‌ටයක්‌ සැපයීම ලැයිං පේළිවල නොලියවුණු සම්ප්‍රදායයකි. එනිසා මොනා නැතත් ඔවුන්ගෙන් බහුතරයකට බඩගින්නට රොටියක්‌ පුච්චා ගැනීමේ පහසුකම් ඇත.

ළිඳෙන් එළියට ආ ගෙම්බා නව ජල තටාග සොයා යන්නාක්‌ මෙන් වතුකරයේ සම්මතයෙන් බැහැරව දියුණු වූ තරුණයන් කීපදෙනෙක්‌වද මම පෞද්ගලිකව දනිමි. ප්‍රාදේශීය දේශපාලනය හරහා ජාතික දේශපාලනයට පිවිසි දිගා ඉන් එකෙකි. ඔහු තම වර්ගයා වෙනුවෙන් හ`ඬක්‌ නගන බව මම දැක ඇත්තෙමි. එමෙන්ම පිටකොටුවේ රෙදි තොග කඩ හිමි තරුණ ව්‍යාපාරිකයන් කීප දෙනෙක්‌ම ඇති අතර ඔවුන් මුලින්ම බජාර් එකට ආවේ ගෝලයන් හෙවත් සේල්ස්‌මන් හෙල්පර්ලා ලෙසිනි.

ලියන්නට කරුණු බෙහෝ තිබුණද ඒ හැම එකකින්ම කියන්නට ඇත්තේ කඳුකරයේ ඇති ලැයිංවල සැප නැත. දුක ඇත යන්න පමණකි. ඉන්දියාවෙන් ලංකාවට ගෙනා කම්කරුවන්ට පින් සිදු වෙන්නට අද රජ සැප විඳින ඒත් මුල අමතක කළ අමනයන්ද එමටවත් අප රටේ ඇත. බොහෝ වතුකරයේ අය සිංහල කියවන්නට ලියන්නට නොදන්න නිසා මේ ලිපිය ඔවුන්ට වැඩක්‌ නැති බව සිතමින් මෙම ලිපිය හමාර කරමි.

මිත්‍ර ශ්‍රී කරුණානායක – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435