ලිංගික නැඹුරුතාව පීඩනයට බලපත්‍රයක් නොවේ!

ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම්ව, ලිංගික නැමියාව මත පදනම්ව වෙනස් කොට සැලකීම හෝ කෙනෙකු පීඩාවට පත්කිරීම නොකළ යුතු බැව් අමතුවෙන් කිව යුතු නොවේ. එය මනුෂ්‍යත්වයට එරෙහි බරපතළ අපරාධයක් බවද පැහැදිලිය. එය පිළිගන්නා අතරේම වුවද, විහිළුව, අතපසුවීම්, නොතකා හැරීම් ආදී අතිශය සුළු යයි කිව හැකි ඉඩ ප්‍රස්ථාවන් අතරේ වුවද,ගැඹුරින් කියවිය හැක්කේ වෛරී ප්‍රකාශනයන්ට මෙන්ම එදිනෙදා සාමාන්‍ය ව්‍යවහාරය තුළද, මෙම ප්‍රචණ්ඩත්වය කෙතරම් ව්‍යුහගතවී ඇත්ද යන්නය. මේ දිනවල ප්‍රධාන හිරු, දෙරණ වැනි ධාරාවේ ජනප්‍රිය නාලිකාවල අමාත්‍ය මංගල සමරවීර ඉලක්ක කර ගනිමින් එල්ල කරන අවලාද හා ප්‍රහාර හමුවේ අනාවරණය වන්නේද, එකී සත්‍යයමය.

‘‘එතුමා ගැලපෙනම රට තායිලන්තය. අපරාදෙ ලංකාවෙ ඉපදුණේ“ වැනි ප්‍රකාශවල පවත්නා මුග්ධත්වය තරමටම එවැනි ප්‍රකාශ වලට තම වටිනා ගුවන්කාලයෙන් වැඩි වශයෙන් වෙන් කරන නාලිකා ප්‍රධානීන් මුග්ධ විය නොහැකිද?

විෂම ලිංගික නැමියාවන් සහිත පුද්ගලයන්ට පවත්නා මානව හිමිකම් ඒ අයුරින්ම සමරිසි පුරවැසියන්ට නොලැබෙන්නේ මන්ද? ඔවුන් මෙරට පුරවැසියන් නොවේද? ඇතැම්විට පවත්නා නීතිය හා මානව හිමිකම් අතරද, යම් ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වන අවස්ථාවන් දැකිය හැකිය.

සමලිංගිකයන්ගේ ලිංගික හැසිරීම් ශ‍්‍රී ලංකා නීතිය යටතේ දඬුවම් කළ හැකි වරදකි. නීති සාධන ආයතනවලින් ලබා දී තිබෙන අර්ථ නිරූපණ හේතුවෙන් එම හැසිරීම් ( LBT)තැනැත්තන්ගේ මානව හිමිකම් උල්ලංඝනයන් ගණනාවක් සමග බැඳී පවතියි. ශ‍්‍රී ලංකාවේ 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග‍්‍රහය (සංශෝධන) පනතේ 365 (අ) වගන්තියෙන් කියැවෙන්නේ පුද්ගලික අවකාශයන් ද ඇතුළත්ව, වැඩිහිටියන් දෙදෙනෙකු අතර සිය කැමැත්තෙන් ඇතිවන සමලිංගික සබඳතා අපරාධ වරදක් බවට පත් කර ඇති බව ය. එහෙත් මෙම නීතිය 1995 දක්වාම අදාළ වූයේ පුරුෂයන්ටම පමණි.

කෙසේ වෙතත් මෙම නීතිමය පසුබිම පිළිබඳ වැඩිදුර යමක් සටහන් කර තැබීම වටී.

1995 වසරේදී දණ්ඩ නීති සංග‍්‍රහයට සංශෝධන ගෙන ඒමේ ක‍්‍රියාවලියේදී (අ) වගන්තිය ස්ත‍්‍රී පුරුෂ සමාජභාවයේ වෙනසක් නොමැතිව අදාළ වන සේ සංශෝධනය කෙරිණි. එහිදී ‘පුරුෂයා’ යන වචනය වෙනුවට ‘ ඕනෑම තැතැන්තෙක්’ යන්න යෙදීම මගින් ස්ත‍්‍රීන් දෙදෙනෙක් අතර සිදුවන ලිංගික ක‍්‍රියාකාරකම් ද සාපරාධී බවට පත් කෙරිණි. තවද මේ අනුව වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙක් අතර ස්ව කැමැත්තෙන් අප‍්‍රසිද්ධියේ සිදුවන ලිංගික හැසිරීම් ද, 1995 වසරේ පටන් රට තුළ අපරාධ වරදකි.

ප‍්‍රසිද්ධියේ හෝ අප‍්‍රසිද්ධියේ වෙනත් තැනැත්තෙකු විසින් දැඩි අශිෂ්ට ක‍්‍රියාවක් සිදුකරන නැතහොත් එවැනි යම් ක‍්‍රියාවකට පාර්ශවකරුවකු වන හෝ, එබඳු යම් ක‍්‍රියාවක් යම් තැනැත්තෙකු විසින් කරනු ලැබීම කුට්ටනය කිරීම හෝ කුට්ටනය කිරීමට තැත්කරන කවර හෝ තැනැත්තෙකු වරදකට වරදකරු වන අතර අවුරුදු දෙකක් දක්වා දීර්ඝ විය හැකි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එම බන්ධනාගාරගත කිරීම හෝ දඩය යන දඬුවම් දෙකින්ම හෝ දඬුවම් කරනු ලැබිය යුතුය. තවද එම වරද අවුරුදු දහඅටට වැඩි තැනැත්තෙකු විසින් අවුරුදු දහසයට අඩු තැනැත්තෙකු සම්බන්ධයෙන් සිදුකරනු ලබන අවස්ථාවක, අවුරුදු දහසයට නොඅඩු වූ ද, අවුරුදු විස්සක් නොඉක්මවන්නා වූ කාලයකට බරපතළ වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමකින් හා දඩයකින් ඒ තැනැත්තාට දඬුවම් කරනු ලැබිය යුතුය. තවද ඒ වරද සිදුකරන ලද්දේ යම් තැනැත්තෙකු සම්බන්ධයෙන්ද, ඒ තැනැත්තාට සිදුකරන ලද හානි වෙනුවෙන් අධිකරණය විසින් නිශ්චය කරනු ලබන මුදලක වන්දියක් ඒ තැනැත්තාට ගෙවන ලෙස ද අධිකරණය විසින් ආඥා කරනු ලැබිය හැකිය. 365 (අ) වගන්තිය, ශ‍්‍රී ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය, 1995
‘බරපතළ/දැඩි අශිෂ්ට ක‍්‍රියාව’ යන්න ලංකාවට මුලින්ම හඳුන්වා දුන්නේ බ්‍රිතාන්‍යයන් විසින් 1883 වසරේ දණ්ඩ නීති සංග‍්‍රහය මගිනි. මෙම ‘බරපතළ/දැඩි අශිෂ්ට ක‍්‍රියාව’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි පැහැදිලිව අර්ථ දක්වා නැත. දණ්ඩ නීති සංග‍්‍රහයට අමතරව බ්‍රිතාන්‍යයන් විසින් 1842 වසරේදී හඳුන්වා දුන් තවත් නීතියක් වන පාදඩ ආඥාපනත (අයාල ආඥාපනත) ලිංගික සේවා සපයන්නන්, විශේෂයෙන්ම එවැනි සංක‍්‍රාන්ති ලිංගිකයන් අපරාධ වරදට හසු කර ගැනීම සඳහා භාවිතා වේ. තවද එය නිතර පාවිච්චි වන්නේ යහපත් මානසික තත්වයක නැති ඇතැම් නිවසක් නොමැති සහ,‘අයාලේ’ යන්නේ යැයි පෙනී යන ඇතැමුන්ට හිංසා කිරීමට සහ රඳවා තබාගැනීමට ය.

වික්ටෝරියානු යුගයේ මෙකී නීති ප‍්‍රතිපාදන 1883 සහ 1842 වසරේ පටන් ශ‍්‍රී ලංකාවේ නීතිය බවට පත් වූ නිසා ඒවා මේ වන විට අවුරුදු එකසිය තිහකට වඩා වැඩි කාලයක් තිස්සේ පැවතෙයි. එංගලන්තය විසින්ම පසුකාලීනව මෙම නීතිය අනවශ්‍ය එකක් සේ සලකා සමලිංගික සබඳතා අපරාධ වරදක් නොවන තැනට 1960 දශකයේදී පියවර ගෙන තිබියදී ශ‍්‍රී ලංකාව තවමත් මෙම යටත්විජිත නීතිය රඳවා තබාගෙන සිටීම අවධාරණය කරන්නේ ඇයිදැයි රජයට අභියෝග කර තිබේ.

සම සෙනෙහස් ස්ත‍්‍රී, ද්වීලිංගික හෝ සංක‍්‍රාන්ති ලිංගිකයන් දණ්ඩ නීති සංග‍්‍රහයේ 365 සහ 365(අ) වගන්ති යටතේ ‘අපරාධකරුවන්’ වශයෙන් අනිවාර්යයෙන්ම සැලකීම හේතුවෙන් මෙම තැනැත්තන් චිත්තවේගී සහ මානසික කම්පනය (ක්ෂතියට ලක්වීමේ අවදානම ඉහළ යයි. තවද නියත වශයෙන්ම ලිංගික ප‍්‍රචණ්ඩත්වය ද ඇතුළත් ව ඔවුන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වයන් සමාජය විසින් අනුමත කිරීම (අනුදැකීම) ඉහළ යාම ද සිදු වේ. ලිංගික ප‍්‍රචණ්ඩත්වයට අමතරව, සම සෙනෙහස් ස්ත‍්‍රී, ද්වීලිංගික හෝ සංක‍්‍රාන්ති ලිංගිකයන් වීම නිසා ලක්වන අපකීර්තිය හේතුවෙන් ඔවුන් මානසික සහ චිත්තවේගී කම්පනයන්ට ගොදුරුවීමේ අවස්ථාව ඉහළ යා හැකි අතර, මෙම නීතිය විසින් විශේෂිතව ඔවුන් අපහරණයෙන් ආරක්ෂා කරන්නේ නැති නිසා, නීතිය විසින්ම මෙම ප‍්‍රචණ්ඩත්වය අනුමත කරන බවට අවධාරණාත්මක විවාදයක් තිබේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙසට බොහෝ LBTතැනැත්තන් සේවා ලබාගැනීම වෙත ප‍්‍රවේශවීමේදී තවදුරටත් පසුබට වීම සහ වෙනස්කම්වලට ලක්වීම සිදු වේ. තවද, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විසින් පිරිනමා තිබෙන ‘නීතිය ඉදිරියේ සමානාත්මතාවය’, වරප‍්‍රසාද සහ විෂම ලිංගිකත්වය අනුදැකීම මෙන්ම මිනිසුන්ගේ ලිංගික දිශානතිය සහ ස්ත‍්‍රී පුරුෂ අනන්‍යතාවය කුමක් වුවත් සියලූ තැනැත්තන් වෙතම සම්ප‍්‍රදායික ස්ත‍්‍රීපුරුෂ සමාජභාවී භූමිකාවන් හා එකී සමාජභාවයන්ට අදාළ සම්මතයන් නඩත්තු
කිරීමට එයින් බල කිරීමත් නිසා LBT තැනැත්තන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමට, ඒවා ආරක්ෂා කිරීමට හෝ ඒවා ඉටු කිරීමට අසමත් වී තිබේ.

සමලිංගික ප්‍රජාවට පමණක් නොව සංක‍්‍රාන්ති ලිංගික තැනැත්තන්ටද බොහෝ පීඩාවටන්ට ලක්වීමට සිදුව තිබේ. ඔවුන් මුහුණ දෙන වැදගත් ගැටළුවක් වන්නේ උප්පැන්න සහතික සහ ජාතික හැඳුනුම්පත් වැනි අනන්‍යතාවය තහවුරු කිරීමේ ලේඛන ඔවුන්ගේ තමන් විසින් තීරණය කර ගෙන ඇති ස්ත‍්‍රීපුරුෂ සමාජභාවී අනන්‍යතාව පිළිබිඹු වන සේ වෙනස් කිරීමයි. මේ සඳහා අදාළ අනන්‍යතා ලේඛන සමග ඒවා ඉදිරිපත් කිරීමට සමත් වීම එදිනෙදා ගනුදෙනු සඳහා අත්‍යාවශ්‍ය වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ අංක 01 34/2016 චක‍්‍රලේඛය අනුව, ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිගැනීමේ සහතික සමග ලිංගිකත්වය සහ උප්පැන්න සහතිකයේ නම වෙනස් කිරීම මේ වන විට කළ හැකි දෙයකි. සංක‍්‍රානිත ලිංගික තැනැත්තන්ගේ අරගලයේ නිමාව මෙය නොවුණ ද එය ඔවුන්ට ප‍්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා වීමේ අයිතිය කියාපෑම වෙත යොමුවුණු ධනාත්මක පියවරකි.

ලිංගික නැඹුරුතාව කුමක් වුවද, නිවස තුළ සහ/හෝ පවුල තුළ ඇති වන ප‍්‍රචණ්ඩත්වයට මුහුණ දීම සම්බන්ධයෙන් වැදගත් වන තවත් නීතියක් ලෙස 2005 ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත හැඳින්විය හැකිය. එම පනත මුල සිටම ප‍්‍රගතිගාමී එකක් සේ සැලකුණේ පීඩාවට පත් පාර්ශවය සමග එකට වාසය කරන සහකරුට අදාළ ව එය යෙදිය හැකි නිසා ය. තාක්ෂණික අර්ථයෙන් ගත් විට මෙම නීතිය, සමලිංගික සහකරුවන් ව ප‍්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා යෙදිය හැකි වුවද, සමලිංගිකත්වය සහ සම ලිංගික සබඳතා සාපරාධී බවට පත් කර ඇති දණ්ඩ නීති සංග‍්‍රහයේ විධිවිධාන හේතුවෙන්, ඒ සම්බන්ධව පැමිණිල්ලක් ගොනු කිරීමට අවශ්‍ය සම සෙනෙහස් කාන්තාවන්ට, විෂම ලිංගික කාන්තාවන්ට හෝ සංක‍්‍රාන්ති ලිංගික කාන්තාවන් හට එය බාධාවක් විය හැකිය.

සමලිංගිකත්වය හෝ ලිංගික නැඹුරුතාව මත පදනම්ව වෙනස් කොට සැලකීම හෝ කෙනෙකු පීඩාවට පත් කිරීම අතිශය ඛේදවාචකයක් බව අවධාරණය කළ යුතුය. එය නීතිය හා මූලික අයිතිවාසිකම් අතර ගැටුමක් බැව් අවධාණය කිරීමද අගනාය.

සටහන- පී.ඩබ්ලිව් මුතුකුඩආරච්චි

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435