ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය හිමිකම්  හා තිරසර සංවර්ධනයේ  අපේක්ෂා

ජාත්‍යන්තර වසංගතවේද සංගමයේ පළමු ගිනිකොණදිග ආසියාතික කලාපීය කණ්ඩායම් රැස්වීමේදී  සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥ විද්‍යාලයේ 24වන වාර්ෂික අධ්‍යයන සැසියේදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් සාකච්ඡා මණ්ඩපයක් සංවිධානය කර තිබුණි. එහි තේමාව වන්නේ “කාන්තාවන්ගේ සෞඛ්‍යය තහවුරු කිරීම හා තිරසර සංවර්ධනය සඳහා හිමිකම් සහතික කිරීම” යන්නයි.

ශ්‍රී ලංකාවේ සෑම මවක ම තම දරුවා ප්‍රසූත කරන්නේ සෞඛ්‍ය පහසුකම් සහිත ස්ථානයක ය. එහෙත්, කාන්තාවන්ගේ සහ තරුණ පුද්ගලයන්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය හිමිකම් සම්බන්ධයෙන් කැපීපෙනෙන ගැටලුවක් දක්නට ලැබේ. ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සහ හිමිකම් යනු කාය ව්‍යවච්ඡේද විද්‍යාවට වැඩි දෙයකි. එය වනාහි පුද්ගලයකුට අනන්‍යතාව, ශාරීරික ඒකීයත්වය සහ දරුවන් හදනවා ද, කීදෙනෙකු ද, කවදා ද යන්න පිළිබඳ තෝරාගැනීම් කිරීමට තිබෙන හැකියාව සමග සම්බන්ධ ය. එය ජාතික සංවර්ධන ක්‍රියාවලිය සමග විශාල සම්බන්ධයක් සහිත ය. එසේම, තිරසර සංවර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා රට සතු ධාරිතාව සමග ද දැඩිව බැඳේ. මෙම හිමිකම් ඔසවා තැබීම සඳහා සියලු කාන්තාවන් සහ ගැහැණු ළමයින් හට උපත් පාලනය ද ඇතුළු පරිපූර්ණ සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සහ ඒ වෙත ප්‍රවේශය තිබිය යුතු ය.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් අද දින ජාත්‍යන්තර හා දේශීය විශේෂඥයන්ගෙන් සමන්විත සාකච්ඡා සභාවක් පවත්වන ලදී. එය පවත්වනු ලැබුවේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ විද්‍යාලයේ 24වන වාර්ෂික අධ්‍යයන සැසිය සමගාමීව පැවැත්වුණ ජාත්‍යන්තර වසංගතවේද සංගමයේ පළමු ගිනිකොණදිග ආසියාතික කලාපීය කණ්ඩායම් රැස්වීමේදී ය. “ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවෙන් ඔබ්බට: කාන්තාවන්ගේ සෞඛ්‍යය තහවුරු කිරීම හා තිරසර සංවර්ධනය සඳහා හිමිකම් සහතික කිරීම” නම් තේමාවෙන් පැවැත්වුණ මෙම සාකච්ඡා සභාවේදී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ සහ පියවීමට ඇති පරතරයන් කෙරෙහි අවධානය යොමු කරන ලදී.

ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (ICPD) යනු, 1994දී කයිරෝහිදී පැවැත්වුණ රැස්වීමකි. එහි රැස්වුණ ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍යයන් 179ක් විසින් කාන්තාවන්ගේ ප්‍රජනන සෞඛ්‍යය හා හිමිකම් ජාතික සහ ගෝලීය සංවර්ධන ප්‍රයත්නයන්හිදී මධ්‍ය වේදිකාවට ගැනීම සඳහා වූ විප්ලවීය ක්‍රියාකාරී වැඩසටහනක් සම්මත කරගන්නා ලදී. ප්‍රජනන සෞඛ්‍යය සහ කාන්තාවන් සවිබලගැන්වීම එකිනෙක සමග බැඳී පවතින බව හා තිරසර සංවර්ධනය සඳහා ඒ දෙක ම අවශ්‍ය බව එමගින් පිළිගන්නා ලදී.

මෙහිදී පිළිගැනීමේ කතාව පවත්වමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නැකෙන් මහත්මිය මෙසේ පැවසුවා ය: “ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට මෙම මාසයේදී අවුරුදු 25ක් සපිරෙනවා. කාන්තාවන්ගේ සෞඛ්‍යය පැත්තෙන් ලොව පුරාමත්, ශ්‍රී ලංකාවේත් බොහෝ ප්‍රගතියක් සිදු වී තිබෙන මුත්, බොහෝ අභියෝගයන් ඉතිරි වී තිබෙනවා. සියලු කාන්තාවන් හා තරුණ ජනයා හට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවාවන් හා තොරතුරු වෙත ප්‍රවේශය ඇති බව තහවුරු කිරීම සඳහා මෙම අභියෝග ජයගත යුතුයි. ඔවුන්ට තම හැකියාවන් පූර්ණ කරගනිමින් නීරෝගී සහ ගෞරවනීය අන්දමින් ජීවත් විය හැකි වන්නේ එමගිනි. 2030 වසර වන විට තිරසර සංවර්ධන න්‍යායපත්‍රය සඳහා එය පූර්ව අවශ්‍යතාවකි.”

සෑම වසරක ම ශ්‍රී ලංකාවේ කාන්තාවන් 360,000ක් ගැබ්ගනිති. මෙම ගැබ්ගැනීම් අතරින් තුනෙන් එකක් සැලසුම් නොකළ ගැබ්ගැනීම් ය. ගැබ්ගැනීමක් සැලසුම් නොකළ හා අනපේක්ෂිත වූ විට, එමගින් කාන්තාවට සහ ඇගේ පවුලට එය අතිරේක බරක් විය හැකි ය. එහෙත්, වර්තමානයේදී විවාහක කාන්තාවන්ගෙන් 35%ක් ම උපත් පාලන ක්‍රම භාවිතා කරන්නේ නැත.

මෙම අවස්ථාවේදී අත්දැකීම් බෙදාගනිමින්, මැලේසියාවේ කාන්තාවන් සඳහා ආසියා ශාන්තිකර සම්පත් සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ (ARROW) විධායක අධ්‍යක්ෂ, සිවන්තනී තනේන්තිරන් මිය මෙසේ පැවසුවා ය: “ප්‍රතිසන්ධිරෝධක ගැන තිබෙන මිථ්‍යා සහ වැරදි අදහස් දුරලීම වැදගත් වෙනවා. ගැබ්ගැනීම් සැලසුම් කිරීමේ අවශ්‍යතාව බැරෑරුම් ලෙස සැලකිය යුතුයි. මවක් තම ගැබ්ගැනීම සඳහා සූදානම් වීම ඉතා වැදගත් වෙනවා. එය භාවමය සහ ශාරීරික වශයෙන් මෙන් ම සමාජමය සහ ආර්ථික වශයෙන් ද සිදු විය යුතුයි. මාතෘත්වය රසවිඳීමට සහ දරුවාට අවශ්‍ය උපරිම තත්වය ලබාදීමට එය අවශ්‍යයි.”

දේශීය සාකච්ඡා සභාව මහාචාර්ය හේමන්ත සේනානායක මහතා (සභාපති, ප්‍රසව හා නාරිවේද මහාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය), මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ මිය (සභාපති, ප්‍රසව හා නාරිවේද මහාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය), ටීනා සොලමන්ස් මිය (ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, සායනික මනෝවිද්‍යාව, වෛද්‍ය පීඨය, ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය) යන විද්වතුන්ගෙන් සමන්විත විය. සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ, රිට්සු නැකෙන් මිය (නියෝජිත, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල) සහ ආචාර්ය සුජාතා සමරකෝන් මිය (මහජන සෞඛ්‍ය විශේෂඥ සහ නිරීක්ෂණ සහ ඇගයීම් විශේෂඥ, ප්‍රයිස් වෝටර්කූපර්හවුස් සමාගම, ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව සඳහා දේශීය අරමුදල් නියෝජිතායතනය, ශ්‍රී ලංකාව) විසිනි.

ප්‍රතිපත්ති සම්පාදකයන්, විද්‍යාර්ථීන්, සිවිල් සමාජය, මාධ්‍ය සහ වෙනත් පාර්ශ්වකරුවන් අතර සෞඛ්‍ය වෘත්තිකයන්, විවෘත සංවාදයක් සඳහා මෙම සාකච්ඡා සභාව විසින් වේදිකාවක් සපයන ලදී. 2030 වසරේ තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය, ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව සහ විශ්වීය සෞඛ්‍ය ආවරණය හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ ඉදිරි ගමන කෙරෙහි එහිදී අවධානය යොමු විය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435