ලිංගික හිරිහැර වුනොත් කටයුතු කරන්න ක්‍රම තිබෙනවා

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය අනුව ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය පදනම් කර ගෙන කිසිම කෙනෙක්  වඩා උස් හෝ පහත් වෙන්නේ නැහැ. හැම කෙනෙකුටම තමන්ට ඇවැසි විදිහට ජීවත් වෙන්න නිදහස තිබෙනවා. ව්‍යවස්ථාවේ එහෙම සඳහන් වුනත් අද බොහෝ කාන්තාවන් කියන්නේ සමාජයේදී ඔවුන්ට පිරිමින්ගෙන් බෙහෙවින් ලිංගික හිරිහැර සිදු වෙන බවයි. යම් කාන්තාවකට ඔවුන් කියන අන්දමින් සාමාන්‍ය ජන සමාජයේ නිදහසේ හැසිරීමට අවසර නැත්නම් එය මානව හිමිකම් කඩවීමක්. ඒ විතරක් නොවෙයි, වර්ෂ 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 වගන්තිය අනුව ලිංගික හිංසනය යනු දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදකි.

ලිංගික හිරිහැර කියන්නේ මොනවාද….?

පහත සඳහන් සිදුවීම් ලිංගික හිරිහැර යන විෂය කෙෂත්‍රයේ තිබුනත් අපිවත් ඒ ගැන තවම හරියට දන්නේ නැහැ. ඒ වගේම ජීවිතයේ එක් දවසක හෝ මේ අන්දමේ හිරිහැරවලට ඔබ වගේම ඔබේ දියණිය, සහෝදරිය සමහර විට මව වුනත් මුහුණ දී ඇති.

ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය අනුව කිසිම පුරවැසියෙක් වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතුය.

  • පුරුෂයන් අනවශ්‍ය ලෙස සිය සිරුරට බරවීම වීම
  • ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීම
  • කකුල පෑගීම
  • අතින් ඇල්ලීම
  • අනවශ්‍ය ලෙස සිරුරු දෙස බලා සිටීම
  • අසභ්‍ය වදන් පැවසීම
  • දුරකථන අංකය ඉල්ලා කරදර කිරීම
  • ජංගම දුරකථනයේ ඇති අසැබි දසුන් පෙන්වීමට උත්සහ කිරීම

ඉහත සිදුවීම් ඉතාම සාමාන්‍යයි. ඉහත දැක්වෙන හැසිරීම් වගේම ලිංගික ස්වරූපයේ පහරදීම්, සාපරාධී බලය යෙදවීම්, වචනයෙන් හෝ ක්‍රියාවෙන් ලිංගික හිංසනයට ලක් කිරීමත්  දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස 12 (2)  වගන්තියේ සඳහන් වේ.

පොදු ප්‍රවාහනයේ නම් යන්නම බැහැ

මුලින් සඳහන් කළ අන්දමේ හිරිහැරවලට අපේ රටේ කාන්තාවන්ගෙන් 90% ක්ම ගොදුරු වෙන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් 2017 වසරේ නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ. එයිනුත් වැඩිමනත් පිරිස රැකියාවන්හි නිතර වෙන සහ අධ්‍යාපනය ලබන කාන්තාවන් බවත් මේ වාර්තාව දක්වා තිබුණා. අපේ රටේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වන අතර, ඔවුන්ගෙන් 34%ක් රැකියාවල නිරත වෙනවා. කාන්තාවන් අතුරෙන් 50% ක් රැකියා සඳහා යන විටත්, 28% ක් අධ්‍යාපන  කටයුතු සඳහා යාමේදීත් 20% ක් වෙනත් පෞද්ගලික අවශ්‍යතා සඳහා යන අතර වාරයේදීත් පොදු ප්‍රවාහන සේවා වලදී ලිංගික හිංසනයට ලක් වෙනවා.ඒ වගේම 82% ක් තමන් සමග යන එන කාන්තාවන් ලිංගික හිංසනයන්ට පත් වෙන අන්දම දැක තිබෙනවා.

ඇත්තටම රැකියාවන්හි නිරත සහ අධ්‍යාපනය ලබන පිරිස් ගමන් ගන්නේ එකම වේලාවක. මේ කාලයේ මාර්ග තදබදය වගේම වාහනයේ සෙනගත් වැඩියි. ඒ නිසා මේ ලිංගික හිරිහැර සාමාන්‍ය දෙයක් කියන තරමටම ඔවුන් පත් කරනවා. තමන්ගේ අපහසුතාවයට යමක් කිව්වොත් ඔවුන් කියන්නේ එහෙම නම් වාහනයක් ගන්න… වගේ අපහාසාත්මක චෝදනාවන්. පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයේ දත්ත අනුව මේ විදිහට හිරිහැර විඳින කාන්තාවන්ගෙන් පිහිටක් ඉල්ලා සිටින්නේ 4 % ක් තරම් සුලු පිරිසක්.

සමීක්ෂණ වාර්තාවේ කරුණු මෙහෙමයි

මෙම සමීක්ෂණය සඳහා සෑම පළාතක්ම නි‍යෝජනය වන පරිදි වයස අවුරුදු 15 – 35 අතර කාන්තාවන් 2500ක් සම්බන්ධ කර ගත්තා. මේ අයගෙන් 90% ක්ම බස් රථ හෝ දුම්රියේ  විවිධ අන්දමින් ලිංගික හිංසනයට පත් වී සිටියා. ඒ අතර. හිංසනයන්ට මුහුණ දුන් කාන්තාවන්ගෙන් 74%ක් පැවසුවේ තමන්ගේ සිරුරෙහි කොටස් සිතාමතා ස්පර්ශ කිරීමට පුරුෂයන් යොමු වෙන බවයි. ඉන් 52%ක් පැවසුවේ විවිධ පුද්ගලයන් ලිංගික අවයවය තම සිරුරේ ස්පර්ශ කළ බවයි. අසෝබන ලෙස අසුන් ගන්නා පුරුෂයන් නින්දේ පසුවන බව අඟවා සිරුර ස්පර්ශ වන සේ හැසිරෙන බව කාන්තාවන්  52.25% සඳහන් කළා.

ඉවසාගෙන සිටිනවා මිස මොනවා කරන්නද….?

ගැහැණු වුනොත් ඉතින් ඉවසීම පුරුදු කරන්න එපායැ. අම්මා කෙනෙක් වුනත් තමන්ගේ දියණියට අවවාද දෙන්නේ ඒ විදිහටයි. බස් එකක එන කෙටි දුරක වෙන මේ සිදුවීම ගැන කෑ කෝ ගහන්න බොහොම දෙනෙක් ලැජ්ජයි. තවත් අයගේ බයක් තිබෙනවා. හදිසියේවත් මේ සිද්ධිය නිසා ඇති වෙන කලබගෑනියකදී අතවර කරන්න පැමිණි අයට හිරිහැරයක් වුනොත් තමන්ගෙන් පලිගනීවි කියලා. හැබැයි අද නම් බස්රථ ඇතුලත මොන හිරිහැර වුනත් කිසිම කෙනෙක් තවත් කෙනෙක් වෙනුවෙන් කතා කරන්නේ නැහැ. මේ නිසාම පොදු ප්‍රවාහන සේවාවන්හි සිදු වෙන ලිංගික හිරිහැර දවසින් දවස ඉහල නැගීමක් සිදු වෙනවා.

අම්මලා දියණිවරුන්ට මේ විදිහටත් අවවාද දෙනවා

බස් රථයක වාඩි වෙනවා නම් කාන්තාවක් අසලින්ම වාඩි වෙන්න කියන අවවාදය ලබා දෙනවා. ඇතැම් දියණිවරුන් සෘජුවම ඒ ප්‍රශ්නය අහනවා. අම්මේ..ඔයා බහින්නේ කොහේද…? මෙතැන කවුරුත් ඉන්නවාද…? මේ රටාවත් නුවණට හුරුයි. සමහර අවස්ථාවලදී අපිට පෙරාතුව අපි ආරක්ෂාවට තබා ගෙන සිටි කාන්තාව බැස්සොත් එතැනට එන ආදේශකයා කොහොම වෙයිද දන්නේ නැහැ. එහෙම වුනොත් ඉතිරි ගමන්මග පුදුම පීඩනයකින් ගෙවන්න වෙනවා.

පැමිණිලි කරන්න පුලුවන්

හැම දෙයක්ම දරා ගෙන හිටියත් මේ විදිහට ලිංගික හිංසනයන්ට පත් වෙනවා නම් පොලිසියේ සහය පතන්න කාන්තාවන්ට පුලුවන් බව පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය දන්වා සිටිනවා. ඒ වුනත් 74 % ක්ම තමන්ට ලිංගික හිංසනයක් වුනොත් දැණුම් දෙන්නේ කාටද යන බවවත් දන්නේ නැහැ. අනවශ්‍ය විදිහට පැමිණිලි වෙනුවෙන් යොමු නොවුනත් අත්‍යවශ්‍ය අවස්ථාවකදී ඒ බව 119 හෝ 1938 යන අංක අමතා පොලිසියේ සහාය පැතිය හැකි බව පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය දැනුම් දෙනවා. එහෙම දැනුම් දෙන විට පොලීසියට දැනුම් දෙන විට බස් රථයේ අංකය සහ මාර්ග අංකය ද සඳහන් කිරීම වැදගත්.  එවිට ගමන්  ගන්නා මාර්ගයේ පිහිටා ඇති පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් ඒ වෙනුවෙන් සහයෝගයට ඉදිරිපත් වෙනවා.

පූන්‍යා චාන්දනී (womanly)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435