ලූලා නැති බ්‍රසීලයේ ජෙයා බොල්සොනාරෝ

ලූලා නොමැති වලේ කණයා පණ්ඩිතළු යන අප ජනවහරේ මෙම  ආප්තෝපදේශයින් ගම්‍ය වන්නේ නායකත්වය සහ මූලිකත්වය ගත යුතු තැනැත්තා සිටිය යුතු තැන නොසිටීමෙන් එතැනට නුසුදුසු තැනැත්තෙකු ඉදිරිපත්ව පෙනී සිටින බවය. (පරිසරයට ආධුණික අයගේ දැනගැනීමට -ලූල්ළු සහ කණයන්- වෙල්වලට ආවේණික මිරිදිය මත්ස්‍ය විශේෂයකි).

ශ්‍රී ලාංකේයන්ගේ කනට හුරු ප්‍රස්ථාව පිරුළුකින් මෙම ලිපිය ආරම්භ කරනුයේ, පෙර නොදුටු විරූ අභියෝග රැසක් ඉතා වෙිගයෙන් සමාජ ආර්ථික සහ දේශපාලන ක්ෂේත්‍රයන් වෙත ගෙන එමින් COVID-19 වෛරස වසංගතය ලෝක ප්‍රජාවට අත්කර දී ඇති ඉරණම පිළිබඳ යම් විවරණයක් කිරීමටය. මානව ශිෂ්ඨාචාරයේ නව හැරවුම් ලක්ෂයක් වෙත ලෝකවාසීන් සියළු දෙනා නැඹුරු විය යුතු අවධියක අප දැන් ගතකරන්නෙමු.

පෙර නොදුටු විරූ අභියෝග රැසක් හමුවේ විවිධ රටවල් වලවෛරස වසංගත අර්බුදය පාලනය කරගැනීමට දේශපාලන නායකයින් කටයුතු කරන ආකාරය පිලිබඳ විග්‍රහයක් කලවිට, අවස්ථානෝචිත ප්‍රඥාව යොදාගෙන කටයුතු කලහැකි නායකයින් සිටින්නේ අතලොස්සක් බවට පෙනීයයි. විශේෂයින්ම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටවල් කිහිපයකම තේරීපත්ව සිටින රාජ්‍ය නායකයින් අනපේක්ෂිත අර්බුදවලදී අවශ්‍ය නායකත්වය නොගෙන,සැළසුමකින් තොරව අදාල විශේෂඥ උපදෙස් අභිබවමින් හිතුමතයට කටයුතු කරන තත්වය ඉතාමත් කණගාටුදායකය.

වෛරස වසංගතය මේ වනවිට දරුනු ලෙස පැතිරීයන බ්‍රසීලයේ ජනාධිපති බොල්සොනාරෝප්‍රතිචාර දක්වන ආකාරය මෙයට කදිම නිදසුනකි.ජනාධිපති බොල්සොනාරෝ මෙම වසංගතය සුළු කොට තකමින් එය සාමාන්‍ය සංනිපාතයක් යැයි හඳුන්වා රෝග ව්‍යාප්තිය අඩාල කරවීමට ක්ෂණික පියවර ගැනීමට මැළිවිය. මේ වනවිට වෛරස වසංගතය නිසා බ්‍රසීලයේ මියගිය සංඛ්‍යාව 37000 ක් ඉක්මවා ඇත.  බ්‍රසීලය දකුණු ඇමරිකාවේ ඇති ශක්තිමත් ආර්ථිකයක් සහිත ස්වාභාවික සම්පත් වලින් ගහණ විශාල රටකි. හමුදා ජුන්ටා පාලකයින්ගෙන් දැඬි දූෂිත පාලනයන්ගෙන් කඩා වැටුණු බ්‍රසීලය ආර්ථිකය නැවත ප්‍රකෘති තත්වයට ගෙනඑමින් දරිද්‍රතාවය බොහෝදුරට අඩුකරවීමට සමත් වුයේ 2003 ජනාධිපති ලෙසට තේරී පත්වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා යන ජනප්‍රිය දේශපාලනඥයාය. ඔහු වෘත්තීය සමිති නායකයෙකු ලෙසින් ජනාදරය දිනා සිටියේ ලූලා යන කෙටි නාමයෙනි. ලූලාගේ නායකත්වය යටතේ ඔහු ජනාධිපති හැටියට කටයුතු කල 2003 සිට 2011 බ්‍රසීලය සීඝ්‍ර සංවර්ධනයකට ලක්වූ අතර රටේ දිළිඳු කම පිටුදැකීමට ඉලක්ක ගත ඵලදායී වැඩසටහන් ක්‍රියාත්මක කලේය. එහෙත් ඔහුගේ අනුප්‍රාප්තිකයින්ට එම කටයුතු සාර්ථක කරගැනීමට නොහැකිව විවිධ දූෂණ චෝදනා මත බලයෙන් පහවී කුමන්ත්‍රණකාරීව තවත් දූෂිත නඩයක් බ්‍රසීලයේ බලයට පත්වී ලූලා විසින් දියත් කරන ලද ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග ආපස්සට හැරවීය.

2018 ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ජයග්‍රහණය කල හැකි දූෂණ චෝදනාවලින් තොරවූ එවකට බලයේ සිටි කිසිම දේශපාලනයෙකුට නොහැකි වූ විට, ජනප්‍රිය රැල්ලේ දේශපාලන බලවේග බ්‍රසීල හමුදාවේ හිටපු කපිතාන් වරයෙකු වන වත්මන් ජනාධිපති ජෙයා බොල්සොනාරෝ තෝරාගත්හ.

දේශපාලනයෙන් ඈත්වී සිටි හිටපු ජනාධිපති ලූලාට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට කම්කරු පක්ෂය තීරණය කළහ. ලූලාගේ ජනප්‍රියත්වය හමුවේ තැති ගත් ප්‍රතිගාමී බල කඳවුරු සියල්ලම එකතුවී ඔහුට එරෙහිව අභූත ‍චෝදනා එල්ල කරමින් අධිකරණය සහ සෙනෙට් සභාවේ නියෝජිතයින් දූෂිත ක්‍රියාමාර්ග වලට පොළඹවමින් කුමන්ත්‍රනයක් දියත් කලහ.

වසර 1978 සිට වෘත්තීය සමිති සහ විවිධ සමාජ බලවේග එකතුවී බ්‍රසීලයේ ප්‍රගතිශීලී කම්කරු පක්ෂය පිහිටුවා ගනිමින් වරප්‍රසාද ලාබීන්ගෙන් දේශපාලන බලය සවිබල ගන්වන ලද සමාජ බලවේග අතරට ක්‍රමාණුකූලව අත්පත් කරගත්හ.

එහි ප්‍රථිපලයක් ලෙසට ජනාධිපතිවරණයට ලූලාට නාමයෝජනා බාරදීම වලක්වාලමින් බ්‍රසීල ව්‍යවස්ථානුකූළ අයිතීන් අසුරාලමින් ඔහුව නොකල වරදකට සිරගත කලහ. ජෙයා බොල්සොනාරෝජනාධිපති තරඟයට ඉදිරිපත්වී ජයග්‍රහනය කල පසුව,දින 580 සිර අඩස්සියේ සිටි ලූලාව සියළු චෝදනාවලින් නිදහස් කොට මුදාහැරීමට ශේෂ්ඨ්‍රාධිකරණය 2019 නොවැම්බර් 8 වෙනිදින තීරණය කළහ. ලූලාට දූෂණ චෝදනා මත වසර 12 සිර දඬුවමක් නියම කල එම තීණ්දුවට එරෙහිව කිසිම අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩක් නොදීමට අධිකරණය වග බලාගත්හ. මෙම අයුක්ති සහගත තීණ්දුව ගැන ප්‍රභල ජාත්‍යන්තර හඬක් ගොඩ නැඟනු අතර ඔහු සිරගතව සිට කාලය පුරාම සිය අනුගාමිකයින් ලූලා සිරගතව සිටි ස්ථානය අවට කඳවුරු බැදගනිමින් විරෝධය දැක්වූහ.

අධිකරණයට දේශපාලන බලය යොදමින් විනිසුරුවරුන්ට බලපෑම් කර දේශපාලන විරුද්ධවාදීන්ට අඩන්තේට්ටමි කිරීම ලොව පුරාම සිදුව ඇති අතර එවැනි ක්‍රියා නිසා අධිකරණ ක්‍රියාවලියේ ස්වාධීනත්වය විනාශ කර කෙසේ හෝ සිය බල පරාක්‍රමය රැක ගැනීමට දේශපාලකයින්ට ලැජ්ජා භය නැත. තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදී ජේ ආර් ජයවර්ධන මහතා මැතිවරණයට පෙර සිය ප්‍රතිවාදිනිය වූ සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය නැති කලේ මේ අයුරිණි. ඊට පසුව මානව හිමිකම් පිළිබදව පෙනී සිටමින් ඝෝෂා කල මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා  මැතිවරණයට පසුතම ප්‍රතිවාදී තිස් වසරක ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් හමුදාපති සරත් ෆොන්සේකා මහතාට කලදේ, ශ්‍රී ලාංකිකයින්ට හොදින් මතක ඇත. රුධිරු ත්‍රස්ථවාදය පරාජය කල හැක, යන දැඩි ආත්ම විශ්වාසයකින් බිඳුණු මානසිකත්වයෙන් අඬපණව සිටි සියළු හමුදා කණ්ඩ දිරිමත් කරමින් සතුරා විනාශ කිරීමට සරත් ෆොන්සේකාහමුදාපති වරයා සෘජු නායකත්වයක් සපයමින් ජාතියට විශිෂ්ඨ සේවාවක් කල රණවිරුවෙකි.

LTTE කොඳුනාරටිය බිඳහෙලූ හමුදාපති වරයා සිය සේනානායකයා විසින්ම සිර ගතකර පළමු රණවිරු දඬයම කල මහින්ද රාජපක්ෂ ජනාධිිපතිවරයා ඔහුට දඬුවම් කිරීමටඋපයෝගී කරගනු ලැබුවෙි අධිරාජ්‍යවාදී පාලකයින් නීතිගත කල යුධ නීතිරීතීන්ය. ශ්‍රී ලාංකේය රණවිරුවන් යුධ විරුවන් ගණයට ලා නොහැක. ඔවුන් සියළුම ජනකොට්ඨාශ වලට බියෙන් සැකෙන් ජීවත්වීමෙි අයිතිය තහවුරු කල එඩිතර විමුක්තිකාමීරණවිරුවන් හැටියට ගරු බුහුමන් ලැබිය යුත්තාහ යන්න මෙම ලියුම්කරුගේ මතයයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයද ඒ අනුව යමින්, ජාත්‍යන්තර යුධ නීති උල්ලංඝණය කර ඇතැයි චෝදනා කරමින් අසත්‍ය තොරතුරු පදනම කර ගනිමින්විමුක්ති කාමී සෙසු හමුදා නායකයින්ඩයසපෝරා කාරයින්ට ඕනෑ පරිදි බිලි බා ගැනීමට  මගපාදා ගත්හ. ශ්‍රී ලාංකේය විරෝධාර ආරක්ෂක අංශ කිසිම සතුරු විදේශී හමුදාවක් සමඟ යුධ නොවැදුනාහ, ඔවුන් දිවි හිමියෙන් සටන් කලේ කෲර ත්‍රස්ථවාදී LTTE සංවිධානය විනාශ කොට දැමීමටය.එවන් අභීත සටනකට නායකත්වය දුන් හමුදාපති වරයාට කල හානිය සහ අවමාණය  බොහෝ දෙනෙකුට දැන් අමතකව ඇත. එබැවින් ජාත්‍යන්තර යුධ නීති උල්ලංඝනය කලා යනුවෙන් කරන චෝදනා ප්‍රතික්ෂේප කිරීමට දේශපාලකයින් වගබලා ගතයුතුව ඇත්තේ කරුනු හරිහැටි ලෝකයා හමුවෙි ඉදිරිපත් කර අපගේ රණවිරුවන්ට නිසි ගෞරවය ලබාදෙමිනි.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අභිබවමින් යහපාලන නඩය ඩයසපෝරා කාරයින්ට ඕනෑ විදියට ඉනිමං අල්ලමින් අපගේ රණවිරුවන්ගේ කීර්තිනාමය විනාශකිරීමට තවත් ඉඩකඩ සැළසූහ.

ජනාදරයට පත් දේශපාලකයින් හමුදා නායකයින් ගේ තාඩන පීඩනවලට ලක්වීම බ්‍රසීලයට පමණක් සීමා වූවක් නොවේ. ඉතිහාසය පුරාම හමුදා පාලකයින් දේශපාලනයට ප්‍රවිෂ්ඨ වීමට යොදාගත් උපාය මාර්ග විමසා බැලීමේදී ඔවුන්ගේ පාලන සමයන් වලදී පාලිත ජනතාව වෙත යොමුවූ තාඩන පීඩන සහ පාලකයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් ලඟාකරගත් වරප්‍රසාද සහ දූෂණ කටයුතු වලින් උපයාගත් ධණ සම්භාරය ගැන විමර්ශණයක් කර වටහා ගත හැක.

මෙම  ලැයිස්තුවේ මුලින්ම සිටින්නේ බුරුමයේ පාලනය උදුරාගත් සෙන්පති නේ වින්ය. ස්වාභාවික සම්පත් වලින් පොහොසත් අග්නිදිග ආසියාවේ රටක ජනතාව අත්විදින ජීවන තත්වය හමුදා පාලනයේ තරම හොදින් පැහැදිලි කර ඇත. හමුදා පාලකයින් මයන්මාරයේ (බුරුමයේ) ජනප්‍රියම දේශපාලන සංකේතය වන අවුන් සාන් සූකී, වර්තමාන රාජ්‍ය නායිකාව වසර 15 නිවාස අඬස්සියේ තබමින් ජනමතය යටපත් කර දැමීය. ඊලඟට සිටින්නේ ෆර්ඩිනන්ඩි මාකෝස්ජනතා විප්ලවයකින් පහකරන ලද පිලිපීනයේදසවෙනි ජනාධිපති වරයාය. ඔහු පිලිපීන හමුදාවේ මේජර් වරයෙකු ලෙසට දෙවැනි ලෝක සංග්‍රාමයේදී ඇමරිකන් හමුදා සමග සහයෝගයෙන් කටයුතු කරමින් යුධ ජයග්‍රහණ දිනාගත් තරුලාභී සෙබළෙකි. ( පසුකලකදී ඔහු විසින් අත්පත් කරගත් යුධ ජයග්‍රහණ වාර්තා සාවද්‍ය යැයි තහවුරු විය). හැටේ දශකයේ මුල් බාගයේ සීඝ්‍ර දියුණුවක් ලබමින් තුබූ පිලිපීනය වසර 20ක මාකෝස් ඒකාධිපති පාලන කාලය තුලදී පිලිපීනය උඝ්‍ර දරිද්‍රතාවයෙන් පෙලෙන දිළිදු රටක් බවට පත් කරලීය. මාකෝස් සිය දේශපාලන ප්‍රතිවාදියා වු ජනප්‍රිය බෙනින්ගෝ අකිණෝ විපක්ෂ දේශපාලකයා විදේශයක සිට සියරට පැමිණි මැනිලා ගුවන් තොටුපලේ ගොඩබසිද්දීම තුවක්කු කරුවෙකුගේ ඉලක්කයට ලක් කලේය.

ඉන්දුනීසියාව අග්නිදිග ආසියාවේ වැඩිම ජනගහණයක් සහිත වේගයෙන් සංවර්ධනය වන රටකි. ඕලන්දයේ සහ ජපානයේ යටත් විජිත ග්‍රහනයෙන් සියරට මුදවා ගැනීමට ජාති හිතෛෂී රණවිරුවන් පෙරමුණ ගත්හ. ඒ අතර සුකර්නෝ, හටා, සහ සුහර්තෝ නායකත්වය ගත්හ. හමුදා නායකයින් අතර සිදුවු අභ්‍යන්තර බල අරගලයකින් පසු සුකර්නෝව නෙරපා 1967දී සුහර්තෝ ජනාධිපති පදවියට පත්විය. වසර 31 ඳැඬි සුහර්තෝඒකාධිපති පාලනය අවසන්වුයේ 1998 ඉන්දුනීසියාආර්ථිකය කඩාවැටීමත් සමඟ බිහිවූ ප්‍රජාතන්ත්‍රවාදී නැගිටීමත් සමගය. සුහර්තෝගේ පාලන වකවානුවේදී රාජ්‍ය සම්පත් අවභාවිතය, ඥාති සංග්‍රහය, දූෂණය අඩුවකින් තොරව ඉන්දුනීසියාවේ සිදුවිය. ප්‍රබොවෝ සුභියන්ටෝ,සුහර්තෝගේ බෑණනුවන් ඉන්දුනීසියාවෙි හමුදාපති හැටියට පත්වී පපුවා ප්‍රාන්තයේ සිදුකල අපකීර්තිමත් මානව හිමිකම් උල්ලංඝන චෝදනා වලට ලක්විය. වර්තමානයේ ඉන්දුනීසියානූ ජනාධිපති ජෝකෝ විඩෝවෝට එරෙහිව ජනාධිපතිවරණයට දෙවරක්ම ඉදිරිපත්ව ප්‍රබොවෝ පරාජය වුයේය. හමුදා පාලනයන්ගෙන් හෙම්බත්ව සිටින ඉන්දුනීසියානූවන්ගේ හමුදා විරෝධී හුඹස් බිය ප්‍රබොවෝ සුභියන්ටෝට අවාසිදායකවී ඇත. සෙසු ජනප්‍රිය රැල්ලේ දේශපාලකයින් මෙන්  ප්‍රබොවෝද අන්තවාදී ඉස්ලාම් සංවිධාන වල කරමතින් බලයට ඒමට අසාර්ථක ප්‍රයත්නයක්ද දැරීය.

මිලිටරි ජුන්ටාවන් බඩ පිණුම් ගසන අනෙක් රට තායිලන්තයයි. ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් තක්ෂීන්ශිනවෂ්ට්‍රා සහ ඔහුගේ නැඟණිය වන යින්ලුක් ශිනවෂ්ට්‍රායන ජනාදරයට පත් දේශපාලනඥයින් දෙදෙනාටම වත්මන් රජයේ අඩන්තේට්ටම් මත සිරගත නොවී ජීවත්වන්නේ රටින් පිටිවහල් වෙමිනි. තායිලන්තයේ වත්මන් අගමැති ප්‍රයුත් චන්ඕචා හිටපු හමුදාපති වරයා ජනතාවාදී විපක්ෂ නායකයන්ට හිරිහැර කර මෙල්ල කරගැනීමට වැඩි කාලයක් ගතකරයි.

හමුදා ප්‍රජාතන්ත්‍රවාදී ගැටුම අග්නිදිග ආසියාවට පමණක් සීමා වූවක් නොවේ. පකිස්තානය, බංගලාදේශය, ෆීජී දිවයින, ඊජිප්තුව, උගන්ඩාව, නයිජීරියාව, සූඩානය සහ ඇල්ජීරියාව ඒකාධිපති හමුදා නායකයින්ගේ අදූරදර්ශී පාලනයන්ගෙන් බැට කෑ රටවල් කිහිපයකි.

හමුදා පසුබිමකින් බිහිවූ සෑම දේශපාලන නායකයෙකුම දම්පාට කණ්නාඩියකින් දැකීම සාධාරන නොවේ. ඔවුන් සියළුදෙනාටම සෑම පුරවැසියෙකුටම හිමි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට උරුමකම් කියති, එබැවින් ඔවුනට මැතිවරණ වලට ඉදිරිපත් වීමට කිසිම බාධවක් නොමැත. හමුදා පසුබිමකින් බලයට පැමිණි ප්‍රංශයේ නැපෝලියන් බෝනපාට් සෙනෙවියා රාජාණ්ඩු සහ ප්‍රභූ පැළැන්තිය විනාශ කල රට ආදර්ශමත් සිවිල් පරිපාලන ව්‍යුහයන් යුරෝපයටම හඳුන්වාදෙමින් ප්‍රංශය යළි ගොඩනැගීය. ඊජිප්තුවේ ගමේල් අබ්දෙල්නසාර් තවත් එක් ප්‍රගතිශීලී හමුදා පසුබිමකින් බිහිවු ජනප්‍රිය දේශපාලනඥයෙකි. සූවස් ඇළ ජනසතු කිරීමට මූලිකත්වය ගත්තේ නසාර් ජනාධිපති වරයාය. ඉස්ලාමීය පසුබිමක් සහිත මධ්‍යදරණී ඔටෝමාන් අධිරාජ්‍ය බිදවැටීමත් සමග නැවත තුර්කිය එක් සේසත් කර ගොඩනඟා ගැනීමට අටාටුක් සහ මොස්ටෆා කමාල් යන හමුදා නායකයින් දෙපල ප්‍රසංසණීය නායකත්වයක් ලබාදී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත්වු අපකීර්තිමත් හමුදා නායකයා ජර්මණියේ චාන්සලර් ඇඩොල්ෆ්ට් හිට්ලර්ය. පළමු ලෝක සංග්‍රාමයෙන් පරාජිත ජර්මාණුවන්ගේ මානසිකත්වය වර්ගවාදී දෘෂ්ඨි කෝණයකින් ජාතිකත්ව හැඟීම් යුදෙව්වන්ට එරෙහිව අවුළුවා බලයට පැමිණියේය. ඔහු බලයට පත්වු වකවාණුවේදී රීච්ස්ටැග් ජර්මාණු පාර්ලිමේන්තුව අනපේක්ෂිත අයුරින් ගිනි ගත්තේය. ඉන්පසුව දෙවැනි ලෝක සංග්‍රාමය අවසන් වෙනතුරු හිට්ලර් ගේ අණදීම මත සිදුවු මිනිස් ඝාතණ ප්‍රමාණය ඔහුගේ කෲරත්වය කොපමණ සහාසිකද යන්න ඉතිහාසගත කර ඇත.

වර්තමානයේ ශ්‍රී ලාංකේය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද හමුදා පසුබිමකින් ලක්ෂ 69 ජණවරමකින් බලයට පත් නායෙකයෙකි. ත්‍රස්තවාදයට එරෙහි සටනේද සෙබළෙකු ලෙස ඉටුකල විෂිශ්ඨ සේවය සහ රාජ්‍ය නිලධාරියෙකු ලෙස විශේෂයින් කොළඹ නගරය ආසියාවේ පිරිසිදුම නගරයක් බවට පරිවර්තනය කිරීමේ ඔහු ලබාදුන් නායකත්වය ජනතා ප්‍රසාදයට ලක්විය. ජනාධිපති පදවි ප්‍රාප්තියෙන් පසු ඔහුගේ තීණ්දු තීරණ වලට යම් විවේචන එල්ල වනුයේ ගල් පිළිම සහ බොල් පිළිම වෙන්කර හදුනාගැනීමේ අපහසුතාවයන් නිසා විය හැක. ජනතා විස්වාශය දෙදරීමට මුල්විය හැක්කේ, ඔහුගේ දෙටු සොහොයුරාගේ පරාජයට මග පෑදු විශේෂඥ බංකොළොත් උපදේශකයින් පාලන තන්ත්‍රයේ රොඳ බැඳ සිටීමය. ඉහත ලැයිස්තුගත අවර ඝණයේ නායකත්ව වර්ගී කරනයට නොවැටීමට ඔහු ප්‍රවේශම් විය යුතු අතර, රට ගොඩනැඟීමට ඔහු ඉදිරිපත් කල වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරමි.

බොල්සොනෝරා ජනාධිපතිවරයාගෙන් ආරම්භ කල ලිපිය  ඔහුගෙන්ම අවසන් කරමි. වත්මන් කොරෝනා වෛරස වසංගත අර්බුදයේදී සැළසුමකින් තොරව අදාල විශේෂඥ උපදෙස් නොසළකා හිතුමතයට කටයුතු කරන තත්වයක් බ්‍රසීලයේ දැක ගත හැක. ඔහුගේ අවසානය ආරම්බ වනුයේ මහත් අර්බුදකාරී ඩොනල්ඩි ට්‍රම්ප් ජනාධිපතිවරයා අනුකරණය කිරීමට පෙළගැසීමත් සමගය. මේ වන විට ජනාධිපතිබොල්සොනෝරාගේ කැබිනෙට්ටුවෙන් අධිකරණ ඇමතිවරයා සහ සෞඛ්‍ය ඇමතිවරු දෙපලක් ඉල්ලා අස්වූහ. ඇමෙරිකාවේ බ්‍රසීල තනාපති වරයා හැටියට ඔහුගේ පුතුණුවන් පත්කිරීමට දරන උත්සහය ගැන දැඬි විරෝධයක් මතුව ඇත. ඩොනල්ඩි ට්‍රම්ප්සහ බොල්සොනෝරා ජනාධිපතිවරුන් දෙදෙනාම ජාත්‍යන්තර සංවිධාන, පිලිගත් ජගත් ප්‍රතිපත්තීන් නොපිලිගෙන අත්තනෝමතිකව කටයුතු කරති. කොකාගේ සුද පෙනෙන්නේ ඌ ඉඟිලෙන විටයි යන්න අප ජනවහරේ එන තවත් ප්‍රස්ථා පිරු‍ලක් සටහන් කරමින් ලිපිය අවසන් කරමි.

ජයශ්‍රී ප්‍රියලාල්

ජූනි 06, 2020.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435