ලොව වටා කොරෝනා ව්‍යාප්තියේ ඉතාලිය 15 වෙනි තැන

යුරෝපයේ කොරෝනා ආසාදිතයන් වැඩිම රට වූ ඉතාලිය දැන් සිටින්නේ පහළොස් වැනි ස්ථානයේය. එරට මුළු කොරෝනා ආසාදිතයන් 247,832ක්, මරණ 35,146ක් සහ සුවය ලැබූවන් 200,229ක් වාර්තා වී ඇත. ඉතාලියේ කොරෝනා වසංගතය හිස එසැවූයේ මාර්තු මුල් භාගයේය. මාර්තු අගත් අප්‍රේල් මුලත් එරට කොරෝනා වසංගතය උච්ඡතම වර්ධනයට ලක් විය. ඒ දිනකට ආසාදිතයන් 5,000 සීමාවද ඉක්මවා යමිනි. අප්‍රේල් මැද භාගය වන විට ශීඝ්‍රයෙන් අඩු වන්නට පටන් ගත් ඉතාලියේ දෛනික කොරෝනා ආසාදිත ප්‍රමාණය ජූනි මාසය වන විට ඉතා අවම මට්ටමට පත් විය.

යුරෝපයේ කොරෝනා ආසාදිත කේන්ද්‍රස්ථානය ලෙස පැවැති ඉතාලිය ක්‍රමයෙන් යහපත් අතට හැරෙද්දී එරට වසා දැමීම් ලිහිල් කිරීමට පටන් ගත්තේය. සුරාසල්, සාප්පු සහ කේෂලාවණ්‍යාගාර මුලින්ම විවෘත කෙරිණි. ඒ මැයි මාසයේය. ව්‍යායාම මධ්‍යස්ථාන, කෞතුකාගාර, සම්බාහන මධ්‍යස්ථාන සහ වැඩියෙන් සෙනඟ ගැවසෙන ස්ථානවලට ජූනි මස කොළ එළිය වැටිණි. මේ සියල්ල සමාජ දැඩි ලෙස දුරස්ථීකරණ නියමයන් සහ සෞඛ්‍ය විධි විධානවලට යටත්ව පවත්වා ගෙන යායුතු යැයි නියමයක් ද පැනවී තිබිණි.

ආණ්ඩුව සිනමා ශාලා සහ නාට්‍ය ශාලා නැවත විවෘත කිරීමට ද අවසර ලබා දුන්නේය. ඒ ප්‍රේක්ෂකයන් දෙදෙනකු අතර මීටරයේ පරතරය පවත්වා ගෙන යෑමට සහ ප්‍රේක්ෂකයන් ගෘහස්තව 200කටත් එළිමහනේ 1,000කටත් සීමා කරමිනි. ආගමික කටයුතු නැවත ස්ථාපනය කරන ලදී. ඒ ඉහත කී නියමයන් පිළිපැදීමේ කොන්දේසියට යටත්වය. මුළු රටේම එළිමහන් පොදු ස්ථානවල දී මුඛ ආවරණ භාවිත කිරීම අනිවාර්ය කෙරිණි.

වසා දැමීම් නැති වීමෙන් ඉතාලියට අවදානමක් උදාවිය හැකියැයි එරට අගමැති ගුසෙප්පේ කොන්ටේ කීය. ඉතාලිය වසා දැමීම් ලිහිල් කළත් ආසාදිතයන් ඉහළ ගියේ නැත. එහෙත් මේ වසංගතය නැවත හිස එසැවිය හැකියැයි ඉතාලි රජය අවධානයෙන් සිටියි. ජූනි 03 වැනිදා ඉතාලි රජය යුරෝපා සංගමයේ රටවල්වලට, ශෙන්ගන් කලාපයේ රටවල්වලට සහ එක්සත් රාජධානියට යාමට සහ ඒමට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කළේය. ජූලි 01 වැනිදා සිට ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය සහ තවත් රටවල් 9කට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කළේය. බංග්ලාදේශය, බ්‍රසීලය සහ සර්බියාව ඇතුළු රටවල් 16ක සංචාරකයන්ට ඉතාලියට ඇතුළු වීම ජූලි 31 වැනිදා වන තුරු තහනම් කෙරිණි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435