ලෝකය දිනුවත් ඇය, ‘ඇය‘ නම්?

මේ දිනවල ලාංකේය සමාජජාලා තුළ බොහෝ සෙයින් සංසරණය වන පුවතක් මෙන්ම සංවාදයට ලක්වූ තේමාවක් වනුයේ ‘ලෝක විවාහක රූ රැජින‘ ලංකාවෙන් බිහිවීමයි. ඉකුත් සතියේ අමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්හි පැවති ‘ලෝක විවාහක රූ රැජින තෝරාපත් කර ගැනීමේ උළෙලේදී අවුරුදු 27ක එක්දරු මවක වන කැරොලයින් ජූරි එකී කිරුළට හිමිකම් කීවාය. එහෙත් අපගේ අවධානයට යොමුවිය යුත්තේ රටේ නම ජාත්‍යන්තරය තුළ සලකුණු කළ මෙම අවස්ථාව පිළිබඳ ලාංකේය සමාජය තුළ මතුවූ අදහස් උදහස් කෙරෙහිය.  ඒවා ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට වර්ග කළ හැකිවිය.

  1. තරාතිරම නොබලා රටක් ලෙස ලැබූ ජයග්‍රහණය පිළිබඳ සතුටුවීම හා සුභ පැතීම.
  2. ඇය ස්ත්‍රීයකවීම නිසාම අතිශය පුද්ගල කේන්ද්‍රීය අපවාදයට ලක්වීම.

පළමුවැන්න පිළිබඳ අප කිසිවෙකුටත් විවාදයක් හෝ ගැටළුවක් පැවතිය නොහැකිය. එහෙත් දෙවැන්න කෙරෙහි අවධානය යොමුකරන විට එය එසේ වන්නේ මන්ද යන පැනය ඉතිරි වේ.

“ගැහැණියක ලෙස ඇය ඇඟ ලෝකයට පෙන්වීම ගැන පිරිමියෙකු ලෙස ඇයගේ ස්වාමි පුරුෂයා ලජ්ජාවට පත්විය යුතුය“ යන්න ෆේස්බුක් සමාජ ජාලය තුළ මෙම ලියුම්කරුට දැකගන්නට හැකිවූ එක් පෝස්ටුවකි. ඊට ලැබී තිබුණේද කදිම ප්‍රතිචාර ගොන්නකි. ඇය පිරිමින් සමග යහන්ගතවීමෙන් මෙම ජයග්‍රහණය ලැබූ බව, ඇයගේ ශරීරයේ පච්චයක් කොටා තිබීම, මවක ලෙස විනයක් හෝ හැදියාවක් නොවීම ආදී චරිත සහතික ලබාදීම්ද, පේන කීම්ද හිඟයක් නොවීය. මෙම තත්ත්වය පිළිබඳ අප ආපසු හැරී බැලීමේදී වැටහෙනු ඇත්තේ කුමක්ද?

නිදහස ලබා දශක ගණනාවක් පසුවී ගොස් තිබුණද, ලෝකයේ දියුණුම තාක්ෂණික මෙවලම් පරිහරණය කරනු ලැබුවද, සංස්කෘතික අනන්‍යතාවන්  හෝ හර පද්ධතීන් දේශ සීමා අභිබවා අභියෝගයට ලක්වෙමින් පවතිද්දී වුවද, ලාංකේය ජන මනස තාමත් සමීපව ඇත්තේ නූතන මානුෂීය හර පද්ධතීන් දෙසට නොව පුරාතන ගෝත්‍රික සමාජය වෙත බවය. ‘නිරූපනය‘ කලාවක් ලෙස කතිකාවට ඇතුළත් නොවී ඇති තත්ත්වයක් තුළ වුවද, ස්ත්‍රීය තවත් මනුෂ්‍යෙයකු ලෙස සමානව සැලකීමේ හැකියාව හෝ අහිමිවී ඇත්තේ මන්ද? ස්ත්‍රී පුරුෂ සමාජභාවයම ප්‍රශ්නයක් හෝ උභතෝකෝටිකයක් ලෙස සලකන්නට සිදුව ඇත්තේ මන්ද? මෙවැනි සංදර්භයක අප ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ කතිකාවේ ප්‍රාථමික අවධිය පිළිබඳ යළි සිතා බැලිය යුතුමය.

ස්ත්‍රීන්ට  එරෙහි ප්‍රචණ්ඩත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳ විධිමත් නිර්වචන

ස්ත්‍රීන්ට එරෙහි සියලු ආකාර වෙනස්කම් පිටුදැකීමේ සම්මුතිය (සීඩෝ සම්මුතිය) මගින් වෙනස්කම් පිළිබද ප්‍රශ්නය ඉස්මතු කිරීම තුළින් කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අඩිතාලමක් සපයා ඇත.

එහි කාන්තාවන්ට එරෙහි වෙනස්කම් නිර්වචනය කොට ඇත්තේ මේ අයුරිනි.

” කාන්තාවන් විසින්, ඔවුන්ගේ විවාහක / අවිවාහක බව නොතකා, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව මත පදනම්ව මානව හිමිකම් සහ දේශපාලන ආර්ථික, සමාජීය, සංස්කෘතික, සිවිල් හෝ වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක මූලික නිදහස හඳුනාගැනීම, භුක්ති විඳිම හෝ භාවිත කිරීමේ හැකියාව හානි කිරීමේ හෝ අහෝසි කිරීමේ අරමුණ හෝ අභිප්‍රාය ඇතිව, ලිංගිකත්වය මත පදනම්ව සිදුකරන යම් වෙනස්කම, බැහැර කිරීම හෝ සීමා කිරීම”

එක් පසෙකින් “ලෝක විවාහක රෑ රැජින“ පිළිබඳ ආඩම්බර වන අතරේම ස්ත්‍රීයක ලෙස ඇය ලෝකයට තම නිරුවත පෙන්වා හෑල්ලුවට ලක්වී ඇතැයිද, ඇය යහපත් කුල කතක් නොවනු ඇතැයිද එක විටෙක ප්‍රකාශයට පත්වීම මෙම උභතෝකෝටිකයේ තරම තහවුරු කරයි.

පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳව හඳුනාගෙන එය නිර්වචනය කළ ප්‍රථම ජාත්‍යන්තර ලේඛනය වන්නේ 1993 වසරේ ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියයි. (මෙය වියානා ප්‍රඥප්තිය ලෙසද හැඳින්වේ).

එහි පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය මෙසේ නිර්වචනය කොට ඇත

1 වන වගන්තිය

ශාරීරික, ලිංගික හෝ මානසික අනතුරක් හෝ දුක් පීඩාවක් හෝ ඇති කරන හෝ ඇති කිරීමට හැකියාවක් ඇති ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කොට ගත් ඕනෑම ප්‍රචණ්ඩ ක්‍රියාවකි. එවැනි ක්‍රියා සිදු කරන බවට බිය ගැන්වීම පෙළඹවීම හෝ පොදු හෝ පෞද්ගලික ජීවිතයේ නිදහස හිතුමතේ අහිමි කිරීමද මෙයට ඇතුළත්ය.

2 වන වගන්තිය

ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට මෙහි දැක්වෙන සියලුම දෑ අඩංගු වන අතර ඒවාට පමණක් සීමා නොවේ.

පහර දීම, නිවසේ ගැහැණු දරුවන් අපයොජනයට ලක් කිරීම, දෑවැදි සම්බන්ධ ප්‍රචණ්ඩත්වය, වෛහික දූෂණය, ස්ත්‍රී ලිංග අවයව ඡේදනය හා කාන්තාවන්ට හානිකර එවැනි සම්ප්‍රදායික සිරිත්, සැමියා නොවන අයගෙන් සිදු වන ප්‍රචණ්ඩත්වය මෙන්ම සූරාකෑමට අදාළ ප්‍රචණ්ඩත්වය ඇතුළත් පවුල තුළදී හෝ අධ්‍යාපනික ආයතනයකදී හෝ වෙනත් ස්ථානයකදී සිදුවන ශාරීරික, ලිංගික සහ මානසික ප්‍රචණ්ඩත්වය.

දූෂණය, ලිංගික අපයෝජනය, සේවා ස්ථානයකදී සිදු වන ලිංගික අතවර සහ බිය වැද්දීම්, නීති විරෝධී ලෙස ස්ත්‍රීන් ප්‍රවාහනය සහ බලයෙන් ගණිකා වෘත්තියේ යෙදවීම ඇතුලත්වූ සාමාන්‍ය ප්‍රජාව තුළදී සිදු වන ශාරීරික, ලිංගික සහ මානසික ප්‍රචණ්ඩත්වය. සිදු වන ස්ථානය කෙබඳු වුවද, රජය විසින් අනුමත කරනු ලබන හෝ ඉවසා සිටින ශාරීරික, ලිංගික සහ මානසික ප්‍රචණ්ඩත්වය.

මෙම ප්‍රඥප්තිය මඟින් ප්‍රචණ්ඩත්වය පිළිබදව පුළුල් අර්ථකථනයක් ලබා දෙයි.

සම්ප්‍රදායික හෝ ආගමික හේතූන් මත කාන්තාවන්ට මුහුණ පෑමට සිදු වන ප්‍රචණ්ඩත්වයෙන් ඔවුන් ආරක්ෂා කිරීමට රජයට ඇති වගකීම පැහැර හැරිය නොහැකිය.

මේ සියලු කරුණු කාරණාවන් මධ්‍යයේ අත්හළ නොහැකි කොන්දේසිය වන්නේ කොපමණ නීති රීති, ආචාර ධර්ම පැවතුණද ඒවා දරාගන්නට හැකි තරමේ සමාජ සංවර්ධන අවධියක් අප පසුකර ඇත්ද යන්නය. ‘කඳ ටයිටැනික් වුවද ඔළුව මනමේ‘ වර්ගයේ මිනිසුන් අති බහුතරයක් සිටින සමාජයක මෙම සංස්කෘතික දැනුම හා අවබෝධය යනු හුදු වගන්ති හෝ අණ පනත් මගින් තහවුරු කළ හැකි දෙයක් නොවේ. එය ක්‍රමික සමාජ කතිකාවක, බුද්ධිමය මැදිහත්වීමක, අඛණ්ඩ සමාජ ක්‍රියාකාරකම් ජාලයක ඵලයක් වනු ඇත. ඒ නිසාම ඇය ලෝකයක් ජයගෙන පැමිණියද, ඇය “ඇය“ම වීම ඇයගේ ප්‍රශ්නයක් නොව ලාංකේය අවවර්ධිත පුරුෂ කේන්ද්‍රීය බල ව්‍යුහයේ ගැටළුවකි.

පී.ඩබ් මුතුකුඩආරච්චි

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435